ආර්ථික පීඩනයෙන් බැටකන ජනතාවගේ පෝෂණය නඟාසිටුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි

69

ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ
අසූඅටවැනි පක්‍ෂ සංවත්සර සමුළුවේදී කියයි

ආර්ථික පීඩනය තුළින් බැටකන ජනතාව මුදා ගැනීමට හා ඔවුනගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇතැයි ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම පක්‍ෂයේ 88 වන සංවත්සරය අමතමින් පැවසීය.

මතුගම ශ්‍රවණාගාරයේදී පැවැති එම සංවත්සර සමුළුව අමතමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේද කීය.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමට නොහැකිව දරිද්‍රතාවයට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගිහිං. පසුගිය වසරේදී අප රටේ සියයට 14.3 ක්වූ මන්දෝපෝෂණ වර්ධනය මේ වසර වනවිට සියයට 31 දක්වා වැඩි වී ඇතැයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා. මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. දිගින් දිගටම මන්දපෝෂණය ඉහළ යෑම හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන්ගේ මොළය වර්ධනය අඩුවීම හේතුවෙන් අනාගතයේදී මොළය නැති මිට්ටන් ජාතියට උරුම වේවි.

මේ වන විට අප රටේ මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය ඉහවහා ගිහිං. රටේ සාමාන්‍ය ජන ජීවිතය දැඩි කඩාවැටීමකට ලක්වෙලා. දරුවන්ට සම්බෝල හා පරිප්පු සමග දවසට වේලක් කන්න දෙන්න දෙමාපියන්ට හැකියාවක් නෑ. දරුවන්ට කන්න දෙන්න කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදෙන්න වෙලා. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නොමැතිවීම හේතුවෙන් අනිවාර්යයෙන්ම දෛනිකව බෙහෙත් ලබා ගත යුතු රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාව මරණයේ දැඩි අවදානමකට ලක්වෙලා.

රජය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නැතැයි පැවසුවත් ධනපතියන්ගේ සුඛවිහරණය සඳහා සුඛෝපභෝගී වාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා පසුබට වන්නේ නෑ.

එසේම ලාංකීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතියට රජය තවදුරටත් විධිමත්ව පහසුකම් සලසා දිය යුතුයි. දිනෙන් දින අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන රාජ්‍ය ප්‍රතිපාදනයන් කපා දැමීමට කටයුතු කිරීම අනාගත පරපුර මන්දබුද්ධික තත්ත්වයට පත්කරලීමට හේතු වෙනවා.

ඉදිරි වසර මැතිවරණ වසරක් වෙන්න ඉඩකඩ තිබෙනවා. ජනතාව තම අපහසුතාවට, දුක්ගැනවිල්ලට කන්නොදෙනා විසඳුම් ලබානොදෙනා දේශපාලන අධිකාරීන් ප්‍රතික්‍ෂේප කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව ද ලංකා සමසමාජ පක්‍ෂය සෑම විටම ආර්ථිකය

නඟාසිටුවමින් ජනතාවගේ බඩගින්න නිවාලමින් වඩාත් නිවැරදි යහපත් තත්ත්වයකට මුළුමහත් ජනසමාජයේ ප්‍රගමනය උදෙසා කැපවූ පක්‍ෂයක්. අප සැම එක්ව වඩාත් නිවැරදි යහපත් ජන සමාජයක් ගොඩනැඟීමට කටයුතු කරමු. මෙම සාංවත්සරික උත්සවය සංවිධානය කළ ලංකා සමසමාජ පක්‍ෂයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා ටනීෂා ලක්මාලි සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ වත්මන් අර්බුදය හේතුවෙන් දුකට, පීඩාවට පත්ව ඇති අප ජනසමාජයේ ප්‍රගමනය උදෙසා අප සැමදෙනා එක්ව කටයුතු කිරීම සැමගේම වත්මන් සමාජ මෙහෙවර බවත් ඒ වෙනුවෙන් අප සැම වසර අසූඅටක ඉතිහාසයේ දූෂිත ක්‍රමවේදයන්ට දායක නොවූ ලංකා සමසමාජ පක්‍ෂය යටතේ එක්ව කටයුතු කරමු කියාය.

මෙම අවස්ථාවේදී වසර සියයක ජන්ම දිනය සමරන, තම ජීවිත කාලයම ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කැප කළ පානදුරේ විල්සන් අපොන්සු මහතා වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් උපහාරයක් ද පිළිගැන්විණි.

මෙම අවස්ථාවට විදෙස් තානාපති කාර්ය මණ්ඩල, පක්‍ෂයේ නි. ලේකම් රවීන්ද්‍ර ප්‍රදීප් කුලසේන, ලංකා දෘෂ්‍යබාධිත සංගමයේ ලේකම් සම්පත් තුෂාර, කලාකරු ලක්‍ෂ්මන් මෙන්ඩිස්, කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මතුගම විශේෂ-අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment