වැරදුණාවත්ද!

දාහට අරන් සීයට නෙවෙයි, රුපියලටවත් දීගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ දැන්. හිතේ අමාරුව උග්‍ර වෙන හින්දා මං ගියා සැලුන් එක පැත්තෙ සුදාගෙ. හිතේ ලෙඩේ දැනගෙනද මන්දා සුදා කිව්වා මෙහෙම: “ඔය ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් එක මිනිහයි ඉන්නෙ.” මං ඇහුවා කවුද කියල. “කවුද ඉතින් ජනාධිපති තමයි.” සුදාට විශ්වාසයි ලොක්කා. ඒත් ජනාධිපතිට පුළුවන්ද ප්‍රශ්න විසඳන්න? ඇයි බැරි? ජනාධිපති ජේ.ආර්. කිව්වානේ මට කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගෑනියෙක් කරන්නයි විතරයි කියල. මට දැනුණා සතුටක්. අන්තිමේ හරි ප්‍රශ්න විසඳගන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා.

මං කල්පනා කළා ජනාධිපතිතුමා හම්බවෙන්න. කොහොමද ජනාධිපතිතුමා හම්බෙන්නෙ මං? “මොනවා අහනවාද? යන්න ජනාධිපති මන්දිරේට.” කවුද එහෙම කිව්වෙ? කවුරු නමුත් ජනාධිපති මන්දිරේට ගියපු කෙනෙක් වෙන්න ඕන. ජනාධිපති මන්දිරේ ස්විමිං පූල් එකේ බල්ටි ගහපු මිනිහෙක් වෙන්නත් බැරි නෑ. මං ගියා මහපාරට. මට ඕන වුණේ ජනාධිපති මන්දිරේට යන්න. ඒත් පාරෙ හම්බුණු මිනිහෙක් කිව්වා දැන් ජනාධිපති මන්දිරේ ඇතුළට යන්න දෙන්නෙ නෑ, හම්බෙන්න ඕන නම් එතුමා සහභාගි වෙන ජන රැලියකට යන්න කියල. මටත් හිතුණා ඒක හැබෑමයි කියල. ජනාධිපති මන්දිරේට අපි වගේ සොක්කන්ට යන්න දෙනවාද! මං පාරේ ලයිට් කණුවල, තාප්පවල, කඩ කෑලිවල අලවලා තියෙන ජන රැලි පෝස්ටර් බල බලා ගියා. “අද කරන්දෙණියට ජනාධිපතිතුමා එනවා.” මං උනන්දු වන දේ දැනිලාද කොහෙද කඩේට දුම්වැටියක් උරන්න ආපු මනුස්සයෙක් කිව්වා.

මං කරන්දෙණියට ආවේ පාරේ ගියපු බයික් මල්ලි කෙනෙකුට අත දාලා. බස්වල එන්න සල්ලි තියෙනවා නම් ජනාධිපතිතුමා හම්බවෙන්න ඕන නෑනෙ. කරන්දෙණියේ මහ සෙනඟක්. පන්සලේ සල්පිල් දවස වගේ සෙනඟ තෙරපෙනවා. හුඟක් හිටියේ ගෑනු. ගෑනු දැන් ජනාධිපතිතුමාට ආසයි. ජනාධිපතිතුමා ගෑනුන්ට ආසයිද මන්ද! මොනවා වුණත් උගත් මනුස්සයෙක්නෙ. එහෙම කෙනෙකුට කවුද හිස නොනමන්නෙ! වේදිකාව ළඟට යන්න මං උත්සාහ කළේ. ඒත් අහලකටවත් යන්න බෑ එතන. බැරිම තැන මං නැග්ගා ළඟ තියෙන පුවක් ගහකට. ඒත් පුවක් ගහේ දෙබලයක්. මං ගහෙන් බැහැලා ස්ටේජ් එක පේන මානෙක නැවතුණා. අන්තිමේ රතිඤ්ඤා කම්හලක් පුපුරවාගෙන ආවා ජනාධිපතිතුමා. “සහෝදරවරුනි, අපි පිහිටුවන ආණ්ඩුව අපේ දරුවො ණය නොවන ආණ්ඩුවක්. ගණිකා වෘත්තිය නීතිගත කරන ආණ්ඩුවක්. අමුල් හැරුණාම වෙන තැනකට රාජ්‍ය දේපොළ විකුණන්නැති ආණ්ඩුවක්.” මට ටිකක් සැක සංකාවක් ඇති වුණා ජනාධිපතිතුමාගේ කතාවට. මේ ජනාධිපතිතුමාම ද කථා කරන්නෙ? මං ආයෙත් ඇහුන්කම් දුන්නා. “සහෝදර සහෝදරියනි, අපි මොවුන් හොරා කාපු සල්ලි ආයෙත් එකතු කරනවා. රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි තවම තියෙනවා ස්විස් බැංකුවල.” මං මගේ ඉස්සරහින් හිටපු මිනිහෙක්ගෙ ඔළුව පැත්තකට කරලා කථිකයා දිහා බැලුවා. දෙයියනේ! මේ ජාතික ජනබලවේගෙ නායකතුමානෙ.

මං ආපහු යන්න ඉඩ ගත්තා. මගේ අතින් තල්ලු වුණු මිනිහෙක් කෝපයෙන් කෑගැහුවා “කොහෙද මනුස්සයෝ යන්නෙ?” කියල. උත්තර දෙන්න ඕන හින්දා මං කිව්වා මිනිහාට “මං ආවේ ජනාධිපතිතුමාගේ කතාව අහන්න!” කියල. මිනිහා සැර බැල්මක් දාලා කිව්වා “මේක තමයි ඕයි ජනාධිපතිතුමාගේ කතාව!” කියල. මං ආයෙත් හැරිලා බැලුවා කථිකයා දිහා. කථා කරන්නෙ පොයින්ට් එක තියෙන කළු මහත්තයෙක්. වරින්වර දෙපැත්තට ඔළුව හැරෙව්වා එයා. අත උස්සන විධියෙන්ම කථා කරද්දි ආයේ සැකයක් නැති වුණත් වෙන්ඩ ජනාධිපති කෙනෙක් මං වේදිකාවේ දැක්කා. ඒ එක්කම වෙන්ඩ අගමැතිනියකුත් ළඟපාත හිටියා සිංහල දන්නැති.

ඇල්පිටියේ ඉස්පිරිතාල හන්දියේ තාප්පෙ ගහලා තිබුණු පෝස්ටර් වැල මං කියවගෙන කියවගෙන ගියා. ඒකෙ තිබුණා තවත් ජන රැලියක් ගැන. “මොකක්ද මහත්තයා බලන්නෙ ළං වෙලා?” මගෙ කන ළඟින් ඇහුණෙ මැදි වියේ මනුස්සයෙක්ගේ කටහඬක්. මං බැලුවා හැරිලා. සුදාගේ සැලුන් එකේදි මෙයා හම්බුණා නේද මට? “මං මේ ජනාධිපතිතුමාගේ රැලියක් තියෙනවාද බලනවා,” මං කථා කළා. “ජනාධිපතිතුමා එන තැනද බැලුවේ? ඇයි අප්පා අර පිටිගලට එන්නෙ අද හැන්දෑවේම.” මනුස්සයා බොරුකාරයෙක් වෙන්න බෑ. බොරුකාරයො හඳුනන්නත් බෑ අද. මං කල්පනා කළා පිටිගලට යන්න. වැදගත් වෙන්නෙ ජනාධිපතිතුමා හමු වන එක නේද!

පිටිගලට ආවේ කොහොමද මන්දා මං. සමහර විට වීඑයිට් එකක වෙන්න ඇති. මේ දවස්වල ප්‍රයිවට් බස් වීඑයිට් වගේනෙ. කාන්තාවන්ටත් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැතුව. බන්ධුල ලොක්කා බස්වල යන්න නීති පද්ධතියක් හදලා තියෙනවානෙ, අර සෙමිලක්සරි බස් නැවැත්තුවේ නැතුවට. පිටිගල අතුකෝරල හාඩ්වෙයාර් එක ළඟ මං බැස්සෙ ටවුමට යන්න බස් වැඩ කරන්නෙ නැති හින්දා. එච්චර සෙනඟක් ටවුමෙ. ආව වෙලාව පහු වෙලාද මන්දා. දැනටම කථා පවත්වනවා ඇහෙනවා. අර ඇහෙන්නෙ ජනාධිපතිතුමාගේ කතාවද? “මිත්‍රවරුනි, මං ජනාධිපතිකම් හොය හොය යන්නෙ නෑ. මං පස්ස දොරෙන් ජනාධිපතිකම් ගන්නෙ නෑ. මං ජනාධිපති වෙන්නෙ ජනතාවගේ උත්තරීතර ජන වරමින්මයි!” බැලුවා මං ආයෙත් වැරදිලාවත්ද කියල. වේදිකාවේ පෙනුණෙ මට සත පහක මුහුණක්. සත පහක් ඉස්සරත් පෙනුණා වේදිකාවල. ටීවී එකේ. මෙයා නම් කථා කරනවා ඉංගිරිසිත්. අහලවත් නැති ඉංගිරිසි. “වී ආ නොට් අ පාර්ට් ඔෆ් ඉන්ඩියා. වී හැව් අවර් ඕන් සවර්නිටි. වී නෙවර් බෝ අන්ඩර් දෙයාර් ෆීට්. බිකෝස් වී ආර් පීපල් ඩිරයිඩ් ෆ්‍රොම් කිං රාවණා. නොට් ෆ්‍රොම් රාම!” මට තේරුණා එක දෙයක්. මෙයා ජනාධිපති වෙලා නෑ තවම. ස්ටේජ් එක ළඟින් එළියට එද්දි මං විසිවෙච්ච මනුස්සයෙක් කෑගැහුවා කලින් වගේම: “ඕයි! මේ අපේ ජනාධිපතිතුම!”

මට බඩගින්නක් දැනුණා. හන්දියේ රෑ කඩෙන් – දවල්ටත් ඒක රෑ කඩේ – මං ඕඩර් කළා කොත්තුවක්. කොත්තුව මේසෙටත් ආවා. කෝකටත් වේටරයාගෙන් ගාණ ඇහුවා කොත්තුවේ. “එක්දාස් පන්සීයයි!” වේටර් තැනගේ කතාව ඇහුවාම මාරු වුණා මං හීන් සීරුවේ කොත්තුව අත්හැරලා. ඉර මුදුන් වෙන්න හුඟ වෙලාවක් තිබුණත් අව් රශ්මිය දැනටම පටන්ගෙන. මං කල්පනා කළා ගෙදර යන්න. ඒත් බස් ටිකට් එක ගන්න සල්ලි තියෙනවාද? ටිකට් නැතුව බැරිද යන්න? යන්න තිබුණා ළමයෙක් නම් තවම. ළමයි හොරා යනවා කොන්දලා ගණන් ගන්නෙ නෑ. ඒත් මැදි වියේ මිනිහෙක් නිකන් ගිහින් අහුවුණොත් වස ලැජ්ජාව. ඊටත් තත්ත්වය වැටෙනවා බිංදුවට. තත්ත්වයක් තියෙනවාද වැටෙන්න? තත්ත්වෙ කොහොමද පෙට්‍රල් පෝලිම්වල නිදි වරද්දි? මං පය ඉස්සුවා පයින් යන්න. ඒ එක්කම නැවැත්තුවේ පාරේ ගිය වීඑයිට් වාහනයක්. “මහත්තයා, මේ පාරෙන් යන්න පුළුවන්ද ඉත්තපානට?” මං බැලුවා කවුද කළු වීදුරුවෙන් ඔළුව දැම්මෙ කියල. අව් කන්නාඩියක් දාගත්තු ආරක්ෂක නියාමකයෙක් වගේ. “යන්න පුළුවන්. ගොළුවාමුල්ලට ගිහින් අවිත්තාව හරහා යන්න පුළුවන්.” මං ආයෙත් දෙපයට බර දෙද්දි ආයෙත් ඇරුණා වාහනේ වීදුරුව. “තමුන්නැහැ යන්නෙ මේ පාරේ නම් අපට පුළුවන් ලිෆ්ට් එකක් දෙන්න!” වීඑයිට්වල යන අය කථා කරනවාද එහෙම? මට හිතුණා කොච්චර දෙයක්ද කියල. ඇරත් වීඑයිට්!

මං පස්සෙ දොරෙන් නැග්ගා ඇතුළට. හප්පා එච්චර සැප වාහනයක්! “ඔබතුමන්ලා කවුද මේ?” අහන්න ඕන ප්‍රශ්නයක්ද ඒක? “මේ ඉන්නෙ අපේ ජනාධිපතිතුමා.” මට කථා කළ පුද්ගලයා දුන්නු උත්තරේට ගල් ගැහුණා මං. ලේන්සුවෙන් දාඩිය පිහිදගෙන මං බැලුවා ජනාධිපතිතුමා දිහා. ජනාධිපතිතුමා හිටියේ අව් කන්නාඩි දෙකක් පැළඳගෙන, නැෂනල් ඇඳුමක් ඇඳලා. ඒත් නැෂනල් එකේ බෙල්ල වටේ කරපටියක්. නෑ, සාටකයක්. සුන් වුණාද මගෙ බලාපොරොත්තු? මං ආයෙත් නිරීක්ෂණය කළා ජනාධිපතිතුමාව. රැවුල වවපු බොඩි බිල්ඩර් ටයිප් ජනාධිපතිතුමෙක් දැක්කාමයි. එක පාරක් වැරදුණු මිනිහාට හැම පාරෙම වරදිනවාද? ගේ ළඟ හන්දියෙන් නෙවෙයි මං බැස්සෙ. බහිද්දි නම් බොඩි බිල්ඩර් ජනාධිපති අත වැනුවා මෙහෙම කියාගෙන: “අපි ආයෙ හම්බවෙමු ළඟදිම!”

බැස්ස තැන මං වටපිට බැලුවේ නෑ. වටපිට ඕන නෑ. ඇවිදගෙන ගියා මං ඉස්සරහාට. ඔව්, දිගටම ඇවිදගෙන ගියා ඉස්සරහාට. නතර වුණේ දෙපා සිරිකොතේ. මං සිරිකොත ප්‍රධාන ගේට්ටුවලින් ඇතුල් වෙලා ලොකු මහත්තයාගේ නිල කාමරයට ඇතුල් වුණා. “වාඩිවෙන්න!” හිනාවක් නැති ඇමතුමක්. “ඉක්මන් කරන්න. මට තියෙනවා මීටින් එකක්!” මේ වජිර අබේවර්ධන ඇමැතිතුමානෙ. ෂහ්! හැමදාම වගේ ජාතික ඇඳුම ඇඳගෙන නීට් එකට. මතකයි මට අර මාස්ක් දාන විධිය පෙන්නපු හැටි ඔබතුමා. “කඩදාසි ටික මේසෙ උඩ තියෙනවා. කාරණේ ලියන්න!” ඇමැතිතුමාට හදිස්සියි. හදිස්සිද ඡන්දෙ ඉල්ලන කාලෙ? නෑ, ඡන්දෙන් නෙවෙයිනෙ ආවේ. ඡන්දෙ දාන්න බල්ලාට. මට ඇහුන්කම් දෙන්න බැරිද මොහොතක්? ඔරලෝසුව බලන්න එපා ඇමැතිතුමා. හදිස්සියි මටත්. හදිසි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ. කරකියාගන්න බෑ කිසි දෙයක්. “ලියලා ඉවරද?” ඉවර කරන්න බෑ ලියලා. ඉතින් ලියන්නෙ නෑ. කෙළවරක් නෑ ලියන්න ගියොත්. ඒත් එකක් ලියන්න ඇහැකි මට. ලියන්නද මං ඒක? ලියන්නම්, ආයෙ එන්න අදහසක් නැති හින්දා:

“ජීවත් වෙන්න බෑ යකෝ! උත්තරයක් දීපන් මොනවා හරි!”

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment