ආණ්ඩුව අපහසුතාවට ලක් කළා ගම්මන්පිල ඉල්ලා අස්විය යුතුයි – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්

208

කොවිඞ් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය අඩාළවී ඇති මොහොතක තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව විෂය භාර ඇමැතිවරයා එහි වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

කොවිඞ් අර්බුදය හේතුවෙන් අප රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙම අසීරු අවස්ථාවේදී පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත් කිරීම සම්බන්ධව අප පක්‍ෂයේ දැඩි අවධානය යොමුව ඇත.

ජනතාවාදී රජයක් ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හිදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාළ විෂය භාර අමාත්‍යවරයා කටයුතු නොකිරීම මත රජයට මෙවැනි වූ අසීරු තත්ත්වයකට පත්වීමට සිදුව ඇති බව අපගේ දැඩි අවධානයට ලක්ව ඇත.

ජනතාව කොරෝනා උවදුර මත දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල් මිල වැඩි කිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකළ යුතු තත්ත්වයක් බවත් මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත් අපගේ මතයයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ සුවිශාල ජන අරගලයකින් පසු පැවැති අධිරාජ්‍ය ගැති ආණ්ඩුව පළවාහැර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතාවාදී රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් අප මව්බිමේ සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙවන් අවස්ථාවකදී වුවමනාවෙන්ම අප පක්‍ෂය හා එහි නායකයන් අප‍්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇතිකරනු ලබන්නේ දැයි සාධාරණ වූ සැකයක් අප වෙත ඇතිවී ඇති බව ප‍්‍රකාශ කරනු කැමැත්තෙමු.

විෂය භාර අමාත්‍යවරයා මෙයට සෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් අපි ප‍්‍රකාශ කරමු.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment