ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හය වටයට

504

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් මූලික වටය යටතේ ඊයේ (27 වැනිදා) පැවති අවසාන තරගයෙන් ද ලකුණු 82 ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේය.

ඒ අනුව “බී” කාණ්ඩය යටතේ එකම අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව සුපිරි හය වටය සඳහා ප්‍රවේශ වන අතර ස්කොට්ලන්තය එතෙක් රැකගෙන ආ අපරාජිත බව ශ්‍රී ලංකාවේ දක්ෂතා ඉදිරියේ ඊයේ බිඳ වැටිණි.

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හය වටයට

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 245 කට සීමා වුවද ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය හමුවේ ස්කොට්ලන්ත පිතිකරුවන්ට හිස එසවීමට ඉඩක් නොලැබුණි.

කෙසේ වෙතත් ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 8 ක් ලකුණු 100 කට බිඳ වැටී තිබියදී ඔවුන් වෙනුවෙන් සැනසිලිදායක පිතිහරඹයක නිරත වීමට ක්‍රිස් ග්‍රීව්ස් සහ ක්‍රිස් සෝල් දෙදෙනා සමත් වූ අතර එම සම්බන්ධතාවය ලකුණු 55ක්ව තිබියදී ක්‍රිස් සෝල් දුවද්දී දවා ගැනීමට ලහිරු කුමාර සහ ධනංජය ද සිල්වා සමත් වූහ.

අනතුරුව තම අර්ධ ශතකය ලබා ගැනීමට ක්‍රිස් ග්‍රීව්ස් සමත් වුවද ඔහු සමග ලකුණකට දුවන්නට ගොස් අලස්ඩෙයාර් ද දැවී යෑමත් සමග ස්කොට්ලන්ත ඉනිම නිමා වූයේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 2 ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් ද කසුන් රාජිත, දසුන් ශානක සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු

85 කදී ලකුණු 75 ක් ලබා ගත් අතර එම ඉනිමට අලංකාර හතරේ පහර 10ක් ඇතුළත් කර ගැනීමට පැතුම් සමත් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 4 වන කඩුල්ල ලෙස පැතුම් දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 63 කින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කිරීමට දායක වූයේය.

පසුගිය තරග 5 පුරාම අර්ධ ශතක ඉක්මවා ලකුණු ලබා සිටි දිමුත් කරුණාරත්න මෙම තරඟයේදී ලකුණු 7 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් 1 ලකුණකට දැවී ගියේය.

කඩුලු 4 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුළු 3 ක් ලකුණු 4 ක් ඇතුළත දැවී යෑමෙන් ශ්‍රී ලංකාවට විශාල ලකුණු ප්‍රමාණයකට යෑමට තිබූ අවස්ථාව මගහැරී ගිය අතර නායක දසුන් ශානක ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 245/10 (49.5)

පැතුම් නිශ්ශංක 75, චරිත් අසලංක 63, සධීර සමරවික්‍රම 26, ධනංජය ද සිල්වා 23

ක්‍රිස් ග්‍රීව්ස් 32/4 ක්‍රිස් සෝල් 46/2, මාර්ක් වැට් 52/3,, ස්කොට්ලන්තය 163/10

ක්‍රිස් ග්‍රීව්ස් නොදැවී 56, ක්‍රිස්ටෝපර මැක්බ්‍රයිඩ් 29,

මහීෂ් තීක්ෂණ 41/3, වනිඳු හසරංග 42/2

advertistmentadvertistment
advertistmentadvertistment