කෝටි 600ක අයිස් – කුඩු ගාලු මුහුදේදී අත්අඩංගුවට

145

අයිස් කිලෝ 130යි

හෙරොයින් කිලෝ 48යි

පාර්සල් 178ක අසුරලා

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 600කට අධික වටිනාකමෙන් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගාල්ලට නුදුරු ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (05 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් අතර එය රැගෙන එමින් සිටි ජාවාරම්කාරයන් 06 දෙනකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවෝ ගාල්ල, මාතර හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එම සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ පාර්සල් 178ක මෙම අයිස් සහ හෙරොයින් අසුරා තිබිණි. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 130ක් වන අතර හෙරොයින් ප්‍රමාණය කිලෝ 48ක් බව පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් රැගත් බහුදින ධීවර යාත්‍රාව ඊයේ පෙරවරුවේ ගාල්ල වරාය වෙත ගෙනැවිත් තිබූ අතර එය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ දැඩි පරීක්‍ෂාවට ද ලක් කෙරිණි.

මෙහිදී මාධ්‍ය අමතමින් නාවික හමුදාපතිවරයා කියා සිටියේ දීර්ඝ කාලයක් තිස්සේ නාවික හමුදා සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මහ මුහුදේ කළ විමර්ශනය ඉතාම යහපත් ප්‍රතිඵල අත්කර දුන් බවයි.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් ජාතියට මහා සේවයක් කළ බවද නාවික හමුදාපතිවරයා කියා සිටියේය.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව හෝ ජාවාරම් පිළිබඳව තොරතුරු වෙතොත් එය පොලිසියට හෝ නාවික හමුදා වෙරළාරක්‍ෂක නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන මෙන් ද නාවික හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment