සන්ධානය හදන්න බැරිවුණේ මෛත්‍රී නිසා – අධිකරණ නියෝගයට පෙර මෛත්‍රීට ජනතා වාරණයක් තිබුණා – අමරවීර

59

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනැගීමට නියමිතව තිබූ නව සංධානය බිහිකිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා බව නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

නව සන්ධානයට එක්වීමට හිටපු මන්ත්‍රීවරුන් හා පක්‍ෂ නායකයන් පවා මෛත්‍රිපාල සිරිසේන මහතාව නායකත්ව මණ්ඩලයට ගැනීමට කැමැති නොවූ බව ද අමවීර මහතා පෙරේදා (4 දා) නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

වැඩිදුරටත් කතා කළ අමරවීර මහතා මෙසේද කීය. හිටපු ජනාධිපතිවරයා නිසා නව සංධානය ගොඩනැගීමට නොහැකි වුණා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්‍ෂය භාර ගන්න විට මන්ත්‍රීවරු 140ක් පමණ සිටියා. අද දෙන්නෙක් ඉන්න තැනක් කරලා.

පක්‍ෂ අනුශාසක වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අධිකරණයට ගොස් පක්‍ෂය බේරගන්න වාරණ නියෝගයක් ලබා ගත්තා. ඒ ගැන අපි සතුටු වෙනවා. අධිකරණ නියෝගය ලැබීමටත් පෙර පක්‍ෂ නායකත්වයට එරෙහිව ජනතාව වාරණයක් සිදුකර තිබුණා යැයි අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කළ නිදහස් පක්‍ෂ හිටපු භාණ්ඩාගාරික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, හිටපු ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ද සහභාගි වූහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment