අරිප්පුව මෙරට මුතු කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක්…

මල්වතු ඔය දෙපස පුරාවිද්‍යා සාධක එමටයි…

ක්ෂේත්‍ර මතු කරගැනීම අපහසුයි…

මුත්තාරිප්පුතුරෙයි බලකොටුව වටිනා පුරාවිද්‍යා ස්ථානයක්..

ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් නෑ…

මල්වතු ඔය දෙපසින් ඉපැරැණි ගඩොල්, මැටි බඳුන්, කූක්‍ද්ක්‍ද සටහන් සහිත ගල් පවුරුත් හමු වෙලා…

මන්නාරම් පිටි වැල්ලෙ උරුමය සොයා යන ගමන – 05

ගවේෂණ කණ්ඩායම කලපුවට ඔබ්බෙන් වූ උස් බිමේ ඉදිරියට පර්යේෂණ කටයුතු කරගෙන ගියේය. කලපුව දෙසට පැතිරුණු වැලි කඳුවලින් ද ඉපැරැණි මැටි බඳුන් සාධක සොයාගැනිණි. කාර්ස්වෙල්ගේ සිතියමට අනුව බොහෝවිට ඔහු කැණීම් සිදු කර ඇත්තේ මේ ඉසව්වෙන් කිලෝ මීටරයක් පමණ දකුණු දෙසට විය යුතු බව තිලංක සිරිවර්ධනයන් තම සගයන්ව දැනුවත් කරනු ඇසිණි. එමෙන්ම මේ ජනාවාසය විශාල දුරකට විහිදුණු වෙරළ ජනාවාසයක් ලෙස පැවැති බවට සාක්‍ෂි හමු වන බව ද ඔහු පැහැදිලි කළේය. මාන්තායි පැරැණි ජනාවාසයට අමතරව විශාලතම ජනාවාසය වංකාලේ පැරැණි වෙරළ ගම්මානය බව ඔහුගේ අදහස විය. චෝල ආක්‍රමණ සහ පොළොන්නරු රාජධානියේ මුල් භාගයේ ආර්ථිකමය වශයෙන් දියුණු ප්‍රදේශයක් ලෙස වංකාලෙයි හැඳින්විය හැකි බව ද තිලංක සිරිවර්ධනයන් පැවසීය. පලන්දීපයේ වීරදේව විදේශීය ආක්‍රමණය, පරාක්‍රමබාහු පාලනයේ සටන්වල සැලකිය යුතු ප්‍රමාණයක් ද තවත් දශක කිහිපයකට පසුව කාලිංඝ මාඝ ගේ පාලනය යටතේ මන්නාරමට හිමිව තිබුණු ස්ථානය ගැන ද අවධානය යොමු කළ යුතු බව හේ පැහැදිළි කළේය.

මන්නාරම දූපතත්, මල්වතු ඔයත් අතර කලපු හෝ වගුරුවලින් තොර වැලි සහිත වෙරළක් දකින්න ලැබෙනුයේ වංකාලේ ප්‍රදේශයේ පමණි. ගවේෂණ කටයුතු සිදු කෙරෙන මේ ස්ථානයෙන් ඔබ්බට වෙරළ වගුරු ස්වරූපයක් ගත්ත ද ඒ මෑත කාලීන සකස්වීමක් ලෙස හඳුනාගත හැකිය. එහෙයින් මාතොට ට දකුණින් තොටුපළක් විදිහට මෙහි උපයෝගීතාව ඉහළ තැනක තිබෙන්න ඇති බව ද විශ්වාස කළ හැකිය. මේ ආශ්‍රිතම වෙරළබඩ වෙනත් වෙරළ ජනාවාස සාධක ද තිබිය හැකිය. එහෙත් එම පරිසරය ඝන වැලි තට්ටුවකින් වැසී පවතින බැවින් පුරාවිද්‍යා සාධක මතු කරගැනීම අසීරුය. පුරාවිද්‍යා සාධක මතු කරගැනීමට පස් තට්ටු අතර වැසුණු ක්‍ෂේත්‍ර මතු වූ ස්ථාන සොයාගත යුතුය. එවැනි ක්‍ෂේත්‍ර මතු වූ ප්‍රදේශයක් ලෙස ‘අරුචි ආරුව’ හැඳින්විය හැකිය.

අරුචි ආරුව, (මල්වතු ඔය) මන්නාරමේ ජීවනාලිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එහෙයින් වංකාලෙයි පුරාවිද්‍යා භූමියෙන් පිටමං වූ අපි මල්වතු ඔය දෙසට ගමන් ආරම්භ කළෙමු. සෙමෙන් ඉදිරියට ගමන් කරන වෑන් රථයේ වීදුරු කවුළුවෙන් එපිටට මගේ දෑස් පියාසර කෙරිණි. අවට පරිසරය තුළ ඉදිවෙමින් පවතින ගොඩනැඟිලි ඇස ගැටෙනවිට මගේ සිත පත්තු විය. ඒ අතීත උරුමය එම විසල් ගොඩනැඟිලි අතර යට වෙන බව හැඟුණු නිසාය. එහෙත් කම්පා වෙනවා විනා වෙන විකල්ප නැත. අපේ රටේ නායකයන්ට අතීත උරුමයන් ගැන වගක් නැත. ඔවුන්ට අවැසි භූමිය කුණු කොල්ලයට ඉන්දීය සමාගම් සහ වෙනත් විදේශීය රටවලට විකිණීමය. ඒ ගැන කතා කිරීම දුකකි. ඵලක් නැති කතාවකි. වංකාලේ පසු කරමින් කිලෝ මීටර් ගණනාවක් වෑන් රථය ඉදිරියට ගමන් කර තිබිණි. තවදුරටත් වගුරු බිම් පරීක්‍ෂා කිරීම ප්‍රතිඵල රහිත බව පර්යේෂකයන් සාකච්ඡා කරන අයුරු සිහිනෙන් මෙන් කන වැකිණි. එහෙයින් අපගේ ඊළඟ ගමනාන්තය මල්වතු ඔය බව මට හැඟිණි.

යටත්විජිත සමයේදී අරිප්පුවෙන් මුහුදු කූඩැල්ලො ජපානයටත් යවලා

දැන් අප ගමන් කරමින් සිටිනුයේ අති සුන්දර ප්‍රදේශයකය. වෑන් රථය ගමන් කරන මාර්ගය හැරෙන්න තෙරක් නොපෙනෙන තරමේ විසල් කුඹුරු යායෙන් අවට වැසී ගොස්ය. යෝධ වැවේ ජලය එම කුඹුරුවලට ජීවය එකතු කරන බව ද පෙනේ. යෝධ වැවට ජලය එකතු කරනුයේ මල්වතු ඔය හරස් කොට ඉදිකරන ලද තේක්කම් අමුණෙනි. අදට ද රටට බත සපයනුයේ අතීත රජවරු කළ මෙවැනි විසල් වැව්වල මහ ජල කඳක් රඳවාගෙන සිටින නිසාය. මල්වතු ඔය හරහා ඉදිකර තිබෙන විසල් යකඩ පාලම ආසන්නයේ අපේ වෑන් රථය නතර විය. මල්වතු ඔය මහ මුහුදට එකතු වීමට ආසන්න බැවින් මේ ඉසව්වේ දී ඔය පළල්ය. රිටිගල – ඉනාමළුව ප්‍රදේශයෙන් ඇරැඹෙන මල්වතු ඔය ලංකාවේ දෙවැනි දිගම ගංගාව ලෙස ද හැඳින්විය හැකිය. එමෙන්ම මෙරට මුල් ජනාවාසකරණයේදී මල්වතු ඔයට විශේෂ තැනක් හිමි වන බව ද සැබෑය. මහාවංශයේ සඳහන් උපතිස්ස ග්‍රාමය මෙන්ම මුල් ජනාවාස නිර්මාණය වී ඇත්තේ මල්වතු ඔය ආශ්‍රිතවය. මන්නාරමට සාරවත් පස් තට්ටුවක් උරුම වී ඇත්තේ ද මල්වතු ඔයේ දායාදයක් විදිහටය. මල්වතු ඔයේ වෙරළබඩ කොටස ගලා බසිනුයේ කාලයක් ගලා යෑමෙන් හෑරී ගිය ඉවුරු දෙකක් අතරය. එම ඉවුරු ආශ්‍රිතව යම් පුරාවිද්‍යා සාධක සොයාගත හැකි බවට පර්යේෂකයන් දැඩි ලෙස විශ්වාසයෙන් පසු විය.

මේ වන විට මන්නාරම සහ අරිප්පුව අතර පර්යේෂණ කටයුතු ආරම්භ කර දින කිහිපයක්ම ගෙවී ගොස් අවසානය. ප්‍රදේශයේ මුරපොළවල රාජකාරි කටයුතුවල නිරතව සිටි ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ද විශාල සහයෝගයක් ලැබෙමින් තිබිණි. අරුචි ආරුව මුරපොළේ සේවය කළ සුගත් පැවසූ තොරතුරු අපගේ පර්යේෂණ කටයුතුවලට ප්‍රයෝජනවත් වූ බව විශේෂයෙන් මතක් කළ යුතුය. එමෙන්ම ආරුචි ආරුවේ ධීවර කටයුතුවල නිරතව සිටින ෆයිරූස්ව අපට සම්බන්ධ කළේ ද සුගත්ය. කුඩා තෙප්පමකින් ධීවර රස්සාවේ නිරතව සිටින ෆයිරූස්ට ඔයේ එගොඩ, මෙගොඩ ඉවුරු ගැන මෙන්ම ඔය ගැන ද හොඳ අවබෝධයක් තිබිණි. එහෙයින් ෆයිරූස් හඳුනාගැනීම පර්යේෂකයන්ට විශාල ශක්තියක් විය. ෆයිරූස්ගේ උපකාරයෙන් මල්වතු ඔය දෙපස ඉවුරු පරීක්‍ෂා කිරීමට පර්යේෂකයන් උනන්දු විය. ආරුචි ආරුවේ මෝයට ආසන්න කලාපය වුවද ඉවුරු උස්ව පැවැතිණි. ඔය පළල්ය. ජල කඳ ගැඹුරුය. ඉවුරු දෙපස පරීක්‍ෂා කිරීමට ඔය හරහා ගමන් කිරීමට සිදු වන බව සැබෑය. ෆයිරූස්ගේ තෙප්පමේ වැඩි දෙනකුට ගමන් කිරීමට නොහැකි විය. එහෙයින් තිලංක සිරිවර්ධනයන් සහ නදීර ෆයිරූස්ට ජීවිත භාර කර තෙප්පමට ගොඩ විය. ෆයිරූස් පරිස්සමට තෙප්පම හසුරුවමින් ඔවුන්ට අවශ්‍ය ස්ථානවලට රැගෙන යන අයුරු ඉවුරු කොනක සිට අපි බලා සිටියෙමු. ඔයේ උතුරු ඉවුර ආසන්නයෙන් පහළට ගමන් කළ තෙප්පම හෝරාවකට වැඩි කාලයකට පසු දකුණු ඉවුර ආසන්නයෙන් අප සිටි ස්ථානයට ළඟා විය. තෙප්පමට ගොඩ වී ගෙවී ගිය කාලය තුළ ඉවුරු දෙකම හොඳින් පරීක්‍ෂා කිරීමට අවස්ථාව ලැබුණු බව තිංලක සිරිවර්ධනයන් අප සමඟ පැවසුවේය.

යටත්විජිත සමයේදී අරිප්පුවෙන් මුහුදු කූඩැල්ලො ජපානයටත් යවලා
අරිප්පු බෙලිකටු තැම්පතුවේ නියඳි රැස්කරමින්

“අරුචි ආරු පාලමට ඉහළ සිට මුව දොරට තරමක් ඉහළින් ඇති ආරියන්අච්චිමඩු තෙත්බිම දක්වා ගවේෂණය කළා. ඔයේ ඉවුරේ ඉහළ මට්ටමේ සිට අඩි දහයක් පමණ ගැඹුරින් ගංගාවේ ජල මට්ටමට ආසන්නව ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගන්න පුළුවන් වුණා. ගඩොල්, මැටි බඳුන් කැබැලි වගේම කුක්‍ද්ක්‍ද සටහන් සහිත ගල් පුවරු එම තැන්පතුවල තියෙනවා. මේ පැරැණි ජනාවාස මට්ටම් ගංගාවේ පිටාර තැන්පතු සමඟ භූමියේ ඇති වුණු උස් මට්ටම්වල වෙනස්කම් සමඟ ඉතා ගැඹුරට වැළලිලා. ඒ වගේම ලන්දේසි සිතියමක තිබිලා මේ ඉසව්ව ගැන වැදගත් තොරතුරු රාශියක් අපි සොයාගත්තා. එම සිතියමට අනුව ආරියන්අච්චිමඩු ආශ්‍රිතව විශාල ගං දඟරයක් හඳුනාගන්න පුළුවන්. ඒත් අද එම ගං දඟරය දකින්න නෑ. පසුගිය සියවස් දෙක අතර කාලය තුළ එම ගං දඟරය වෙනස් වෙලා ඔය සෘජුව භූමිය හාරාගෙන ගලා බහිනවා. ඔය දෙපස උස් ඉවුරු නිර්මාණය වෙන්න හේතුවක් ඒකයි. ඒ වගේම පිටාර තැන්පතුවෙන් පෙනෙන ආකාරයට ඔයේ ඉහළ තැන්පතු වේගවත් ජල කඳකින් හාරාගෙන ඇවිත් නැවත තැන්පත් වෙලා සකස් වෙලා තියෙනවා. එම පිටාර තැන්නෙ තවත් විශේෂත්වයක් පෙන්නුම් කරනවා. ඒ අරුචි ආරු පාලම ඉදිකරන්න කලින් ගඟෙන් එගොඩ වුණු තොටුපළ තිබිලා තියෙන්නෙත් එම ස්ථානයේ. ඒ තුළින් ජනාවාස සාධක හඳුනාගන්න පුළුවන්. ඒ වගේම අරුචි ආරුවේ තැන්පතුවේ ස්වභාවයෙන් පෙනෙන ආකාරයට අනුරාධපුර යුගය සහ ඊටත් පෙර අවධියේ සාධක වඩාත් ගැඹුරු තැන්පතුවල වැළලී තියෙනවා. ඒත් එම සාධක පවතින ස්ථාන භූමියේ මතුපිටින් පේන්න නෑ. ඒ වගේම මාන්තායි වගේ දීර්ඝ කාලීන ජනාවාස හැරුණාම සෙසු ස්ථාන ඉතා කෙටි කාලීන විය හැකි බවත් අපි අමතක නොකළ යුතුයි. යාපනයේ පැරැණි ජනාවාසවලත් මේ තත්ත්වය අපි දැකලා තියෙනවා. ඒ නිසා ගවේෂණයේ ක්‍රමවේදය වෙරළ තීරයට ලඝු කරමින් ගවේෂණ කටයුතු කරගෙන යෑමට අපට සිදු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව පැරැණි ක්ෂේත්‍ර මතු කරගැනීමට ඇති බාධාව…” කථිකාචාර්යවරයාගේ කතාවට මම විරාමයක් තැබුවෙමි.

අරුචි ආරුවෙන් පිටත්වීමට පෙර නිවසට පැමිණෙන ලෙසට ෆයිරූස් අපට ඇරැයුම් කළේය. කාලය කොතරම් වටිනවා වුව ද ෆයිරූස්ගේ ආරාධනාව බැහැර කිරීමට අපට නොහැකි විය. එහෙයින් ඔහුගේ නිවසට යෑමට අපි තීන්දු කළෙමු. මල්වතු ඔයේ ධීවර කටයුතුවල නිරතව දරු පවුල ජීවත් කරවන ෆයිරූස් විශාල මුදලක් වියදම් කර අප වෙනුවෙන් සංග්‍රහයක් ද සූදානම් කර තිබිණි. සති ගණනක් ධීවර කටයුතුවලින් බැහැරව අප සමඟ ගවේෂණ කටයුතුවලට සම්බන්ධ වූයේ ද රුපියලක් නොගෙනය. ආර්ථික වශයෙන් අන්ත දුප්පත් වුවද මනුස්සකමින් පොහොසත් ෆයිරූස්ගේ සංග්‍රහයන් භුක්ති විඳ සමුගැනීමට සූදානම් වන මොහොතේ ඔහු අපගෙන් ඉල්ලීමක් කළේය. ඒ නැවත මන්නාරමට පැමිණියොත් ඔහුගේ නිවසට පැමිණෙන ලෙසට ය. ලෙන්ගතුකම උතුරා යන එවැනි මිනිසුන් හමුවීම ගවේෂණ චාරිකාවට ද ආශීර්වාදයක් වූ බව සැබෑය. ඒ වනවිට මන්නාරම සිට මල්වතු ඔය දක්වා වෙරළ කලාපයෙන් යම් අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබුණු බව තිලංක සිරිවර්ධනයන් ද පැවසුවේය. එහෙයින් පර්යේෂණ කටයුතු මල්වතු ඔයෙන් දකුණු වෙරළට යොමු කිරීමට ඔහු තීරණය කළේය. ඒ අනුව මල්වතු ඔයෙන් පහළ ගං මුවදොරින් මෙරට මුතු කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුන්වනු ලබන අරිප්පුව ප්‍රදේශයට අපි ගමන් කළෙමු. එම ප්‍රදේශයේ ප්‍රථම ගමනාන්තය වූයේ මුත්තාරිප්පුතුරෙයි ප්‍රදේශයයි. තිලංක සිරිවර්ධනයන් නැවත හඬ අවදි කළේය.

යටත්විජිත සමයේදී අරිප්පුවෙන් මුහුදු කූඩැල්ලො ජපානයටත් යවලා
මුහුදු ඛාදනය නිසා ගොඩබිම තිබූ ළිඳක් දැන් මුහුදේ

“මුත්තාරිප්පුතුරෙයි යන නාමයේ අරුත ‘මුතු අරිප්පු මුවදොර’ කියන අදහස. එකල එම ස්ථානය අනුරාධපුරය, මාන්තායි සහ කොළඹ දෙසට පැවැති වෙළෙඳ මාර්ගයක සන්ධිස්ථානයක්. මේ ස්ථානයේ තිබෙන ඕලන්ද බලකොටුව සහ ඒ ආශ්‍රිතව තිබුණු ජනාවාසය ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් තිබෙනවා. මේ ස්ථානයේ බලකොටුව ප්‍රථමයෙන් ස්ථාපනය කරන්නෙ පෘතුගීසින් විසින්. 1658 වර්ෂයේදී එම බලකොටුව ලන්දේසීන්ගේ බලයට නතු වුණා. මේ බලකොටුව ඉදිකිරීමට ප්‍රධාන වෙලා තියෙන්නෙ මේ ප්‍රදේශයේ පැවැති මුතු කර්මාන්තයේ බලය පවත්වාගැනීමත්, මුතු පර ආරක්‍ෂා කිරීමට වැදගත් කේන්ද්‍රස්ථානයක් වීම. ගඩොලෙන් ඉදි කරල තියෙන මේ බලකොටුව ප්‍රමාණයෙන් කුඩායි. ඒත් වටිනාකම විශාලයි. බලකොටුවට අමතරව නිග්‍රෝ වහල් ජනාවාසයක් සහ වෙනත් වෙළෙඳුන්ගේ ජනාවාස තිබිලා තියෙනවා. මේ ප්‍රදේශයේ පොල්, දුම්කොළ වගාව මහා පරිමාණයෙන් සිදු වී ඇති බවත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වැවෙන කෝයා මුල්වලින් ගත්ත කහටවලින් කපු රෙදි සායම් කිරීමත්, අලි ඇල්ලීමත්, නානඩ්ඩාන්වල ලුණු කර්මාන්තයත් ආදායම් ලබන ප්‍රධාන කර්මාන්තයන් වෙලා තියෙනවා. කපු, වී, කුරක්කන් වගාව පවත්වාගෙන යෑමට ඕලන්ද ජාතිකයන් විසින් වාරි කටයුතු සංවර්ධනය කර ඇති බවත් පේනවා. ඒ වගේම මේ ප්‍රදේශයෙන් අල්ලන මුහුදු කූඩැල්ලන් ජපානයට අපනයනය කරලා තියෙනවා. අද අපි දකින්නෙ පැරැණි මන්නාරමේ ජීවන රටාවෙන් කොටසක් විතරයි. ඒ වගේම අද මේ ප්‍රදේශයේ හැම තැනම හරක් සුලබව ගැවසෙනවා. පෘතුගීසි පාලනය සමයේ මේ හරක් වඳ වෙලා යනකම් කොළඹට පටවලා. පසුව පෘතුගීසින්ට හරක්වත් ඇති කරන්න සිද්ධ වෙලා…” තිලංක සිරිවර්ධනයන් වතුර උගුරු කිහිපයක් පානය කර නැවත ගවේෂණ කටයුතුවලට අවතීර්ණ විය.

මේ වනවිට අරිප්පු බලකොටුව නටබුන් තත්ත්වයෙන් ද පහතට කඩා වැටී ඇති බව පෙනේ. විසල් ගඩොල් බිත්තිවල හුණු බදාමය ශේෂ වී ගඩොල් ක්‍ෂය වෙමින් තිබේ. විශේෂයෙන්ම සියුම් වැලි කැට සහිත වේගවත් මුහුදු සුළං ගඩොල් බිත්ති ඛාදනයට ලක් කර ඇති බව ද පැහැදිලිව පෙනේ. එමෙන්ම බලකොටුවේ මධ්‍ය වගේම ඇතැම් ගඩොල් බිත්තිවල විශාල ප්‍රමාණයේ ශාක වැවී තිබේ. ඒ ශාකවල මූල පද්ධතිය බලකොටුව වෙලා ගත් යෝධ බූවල්ලෙක් වැනිය. ඒ අතීත උරුමය ද කාලයේ වැලි තලාවට වැසී යෑමට පෙර ආරක්‍ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ද සිහිපත් කළ යුතුය. මල්වතු ඔය මුවදොරත්, ඊට පහළ වෙරළ කලාපය සක්‍රීයව ධීවර කටයුතු සිදු වන ප්‍රදේශයකි. ජනාකීර්ණ එම වෙරළ කලාපය ද පරිස්සමට පර්යේෂණ කටයුතු සිදු කළ ගවේෂණ කණ්ඩායම එහි දකුණු දෙසට ගමන් ආරම්භ කළේය. ඒ අතරතුරු තිලංක සිරිවර්ධනයන් නැවත කතා කළේය.

“අරිප්පුවේ මුතු කිමිදීමට මේ මුවදොර පරිපාලනමය වශයෙන් දායක වුණාට පැරැණි කර්මාන්තයේ සාධක තියෙන්නෙ වෙරළෙ දකුණු දිසාවට. ඒ වගේම අරිප්පුවේ මුතු කිමිදීම් විශාල කර්මාන්තයක්. එක් කිමිදීමකට යාත්‍රා 4000, 5000 එකතු වෙලා ඇති බවත් කියැවෙනවා. එක යාත්‍රාවක කිමිදුම්කරුවො 10 ක්, ඔවුන්ගේ අත්උදව්වට තවත් 5 දෙනෙක් සේවය කරලා තියෙනවා. ඒ අනුව මේ වෙරළ තීරයේ කෙටි කාලයක් තුළ විශාල ජනගහනයක් ගැවසිලා තියෙනවා. එම සේවක පිරිසට විවිධ දේවල් අලෙවි කිරීමට විවිධ වෙළෙඳසල් මේ වෙරළ තීරය දිගට බිහි වෙලා තියෙනවා. මුහුදු තීරය දිගට ඔවුන්ගේ යාත්‍රා නතර කරලා තිබිලා තියෙනවා. කඳවුරු බිමට තරමක් ඈතින් විශාල මුතු බෙලි කටු ගොඩ ගැසිලා තිබිලා තියෙනවා. ඒක අමුතුම ජනාවාසයක් විදිහට තියෙන්න ඇති…

ලබන සතියේ ඩොරික් බංගලාවට යෑමේ බලාපොරොත්තුවේ අපි නතර වීමු…

යටත්විජිත සමයේදී අරිප්පුවෙන් මුහුදු කූඩැල්ලො ජපානයටත් යවලා
ඩොරික් බංගලාව අසල පැරණි කුලුන

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment