අපි වැටීම්වලින් නැගිට්ට කණ්ඩායමක් – දසුන් ඉන්දියාවට යන්න කලින් කියයි

211

තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාර ගත්තට පස්සේ දිගින් දිගටම අභියෝග භාර අරගෙන කණ්ඩායමක් විදියට හොඳින් ක්‍රීඩා කළ බවත් මෙම කණ්ඩායම වැටීම්වලින් ඉදිරියට ආපු කණ්ඩායමක් ලෙස මේ ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කර රටට ගෞරවයක් ලබා දෙන්න බලාපොරොත්තු වනවා යැයි ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර සිටියේය.

අපි වැටීම්වලින් නැගිට්ට කණ්ඩායමක් - දසුන් ඉන්දියාවට යන්න කලින් කියයි

ලබන ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (26 දා) රාත්‍රියේදී පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී නායක දසුන් ශානක ඉහත අදහස් පළ කර සිටියේය.

ත්‍රිවිධරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ක්‍රීඩකයින් 16 දෙනා සහ සහාය කණ්ඩායමේ 13 දෙනා ඉන්දියාව බලා පිටත්ව ගියහ. එසේ පිටත්ව යෑමට ප්‍රථම වැඩිදුරටත් අදහස් දක්වා සිටි දසුන් ශානක, “සූදානම ගැන කතා කළොත් ඇත්තටම අපි හොඳ සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයට ක්‍රීඩා කළා. ඒ වගේම ඊට පස්සේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරලා කරපු පෙර පුහුණුවීම් ඉතා හොඳින් සිදුකෙරුණා. මේ ඔක්කොම කරුණු දිහා බැලුවහම කණ්ඩායමක් විදියට අපි මේ තරගාවලියේ හොඳ මට්ටමකින් සිටිනවා” යනුවෙන් ද සඳහන් කර සිටියේය.

ඉන්දියාව වැනි දැවැන්ත කණ්ඩායම් සමග ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම තමන් දකින්නේ කුමන ආකාරයට ද යන්න කරන ලද විමසීමේදී, මේ ආකාරයේ දැවැන්ත තරගාවලිවලට ක්‍රීඩා කිරීමේදී වඩා වැදගත් වන්නේ ක්‍රීඩා කරන දවසේ හරියට ක්‍රීඩා කිරීම බව පවසන දසුන් ශානක ඒ අනුව තම උපරිමයෙන්ම සෑම ක්‍රීඩකයකුම ක්‍රීඩා කිරීමට සමත් වුවහොත් ඕනෑම ප්‍රබල කණ්ඩායමක් පරාජයට පත් කිරීම අපහසු කරුණක් නොවන බවද සඳහන් කර සිටියේය.

“ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරනවා කියන්නේ හැමදාම අභියෝගයක්. විශේෂයෙන් වර්ල්ඩ් කප් එකක් කියන එක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. මම හැමදාම කියනවා වගේ අපි යම්කිසි ක්‍රියාවලියක යන්න තමයි ගොඩක් කැමැති. එතැනදි හැම තරගයම ඉතා වැදගත්. පුහුණු තරගවලින් පටන් ගත්තහම ලීග්වල අන්තිම තරගය දක්වා හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” යැයි ඉදිරි මාස එකහමාරක පමණ කාලයේදී තම කණ්ඩායම හමුවේ අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment