ඩොලර් බිලියනයක කී‍්‍රඩා ආර්ථිකයක් ගොඩනගනවා… කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

341

පෝර්ට් සිටි වැලි ධාවන පථයේ ගමන අරඹමින්…

ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියනයක කී‍්‍රඩා ආර්ථිකයක් ශී‍්‍ර ලංකාව තුළ ගොඩනගන බවත් මෙරට සංචාරක ව්‍යාපාරය සමගින් කී‍්‍රඩාව සම්බන්ධ කරන බවත් ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

කොළඹ පෝර්ට් සිටි හි පිහිටි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ඉදි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘ATV ධාවන පථය’ (කලම්බු ඩියුන්ස් ධාවන පථය* ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඊයේ (28 වැනිද) අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ධාවන පථය දකුණු ආසියාවේ ඉදි වූ පළමු එකෝ ඇඞ්වෙන්චර් ATV ධාවන පථය වේ. ලෝක ප‍්‍රසිද්ධ කැනඩාවේ Can-Am (කැන් ඇම්) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉදිකර ඇති මෙම ධාවන පථය සඳහා එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක‍්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සඳහා මාවත නිර්මාණය කරන බව අපි විශ්වාස කරනවා. අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක‍්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ‍්‍රී ලංකාව. අනෙක් සියලූම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක‍්‍රීඩා කළේ.

‘මෙසේ ආරම්භ කළ ගමනට ක‍්‍රිකට්, පාපන්දු, මලල ක‍්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක‍්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.

‘ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමග ක‍්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක‍්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක‍්‍රීඩා උපකරණ ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා. ක‍්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදී ජනතාව මේ සඳහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වනවා’ යැයි වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සාගල රත්නායක සහ කංචන ජයරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූපය – අන්තර් ජාලයෙන්

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment