කටාරයේ සිට ලොවට ගලා යන පාපන්දුවේ අරුමය

263

ලොව විශිෂ්ටතම ක්‍රීඩා සැණකෙළියක අග්ගිස්ස ඔබ අබියසටම දැන් පැමිණ ඇත. අද (11 වැනිදා) ඉරිදා අලුයම පැවැත්වීමට නියමිත වූ එංගලන්තය සහ ප්‍රංශය අතර අර්ධ අවසන් පූර්ව තරගය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගය වේ. අද තරගය හැර තවත් පැවැත්වීමට නියමිතව ඇත්තේ තරග හතරකි. ඒ අවසන් පූර්ව තරග දෙක සහ තුන්වන ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගයත් අවසන් මහා තරගයත් වේ. ලොවම එක යායක් කළ ලොව ජනප්‍රියම ක්‍රීඩාවේ ලෝක කුසලාන තරගාවලිය ඒ අනුව ලබන ඉරිදා රාත්‍රියෙන් නිමාවේ.

කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙන් ආරම්භව අද වන විට කණ්ඩායම් අටක් දක්වා අඩුවී ලබන ඉරිදා දැවැන්තයන් දෙදෙනකු මුහුණට මුහුණ හමුවන අවසන් මහා සටන නිර්මාණය වනු ඇත.

එම තරගය සඳහා සුදුසුකම් ලැබීම සියලු කණ්ඩායම් හි අපේක්ෂාව වුවද දක්ෂතාවය සහ වාසනාව මත සියල්ල තීරණය වී කණ්ඩායම් 30කටම ආපසු හැරෙන්නට සිදුවී ඇත.

මෙවර තරගාවලියේ මෙතෙක් පැමිණි ගමන් මඟ දෙස හැරී බැලීමේදී ආරම්භයේ සිටම විවිධ වාර්තා මෙන්ම අනපේක්ෂිත පරාජයන් ද විටින් විට වාර්තා වුණි. ඒ අතරින් තරගාවලිය ආරම්භ වූයේ ද වාර්තාවක් සමගිනි. එනම් පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සත්කාරක රාජ්‍යයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් කටාර් රාජ්‍යය ඉක්වදෝරය හමුවේ පරාජය විය. “ඒ” කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට ආරම්භය ගත් කටාරය සහ ඉක්වදෝරය අතර ප්‍රතිඵලය සටහන් වූයේ ඉක්වදෝරයට 2-0ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. එමතු නොව සත්කාරක කටාර් රාජ්‍යය මෙවර සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය. එයද වාර්තාවකි.

ජර්මනිය අකර්මණ්‍ය වේ

කටාරයේ සිට ලොවට ගලා යන පාපන්දුවේ අරුමය

මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලත් දරුණුම පරාජයට මුහුණ දුන්නේ ප්‍රබල ජර්මනි කණ්ඩායමයි. 1930 වසරේ ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අති සාර්ථකම දෙවන කණ්ඩායම ලෙස ජර්මනිය වාර්තා පොත් අතරට එක් වී ඇත.

1954, 1974, 1990 සහ 2014 යන වසරවල පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කර ඇති ජර්මනිය එම තරගාවලිය යටතේ අනුශූරතා හතරක් ද ජයග්‍රහණය කර ඇත. තවත් හතර වතාවක් තෙවැනි ස්ථානයටද හිමිකම් කියා ඇත. එහෙත් 22 වැනි ලෝක කුසලාන තරගාවලියේ දී ජර්මනියට අත්වූයේ අමිහිරි ඉරණමකි. මෙවර තරගාවලියේ “ඊ” කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන්ට එහිදී ජය ගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. කවදාවත් මීට ප්‍රථම අවසන් කණ්ඩායම් 16 අතරට නොගිය ජපානය හමුවේ ජර්මනිය එදා පරාජයට පත්විය. ඔවුන් සහ ස්පාඤ්ඤය හමුවේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර ජයග්‍රහණය කළේ කොස්ටාරිකාවට එරෙහි තරගය පමණි. එහෙත් ඒ වන විටත් ජර්මනියට ආපසු හැරී යන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වී තිබුණි. එනම් ජපානය සහ ස්පාඤ්ඤය සිය කාණ්ඩය යටතේ පළමු සහ දෙවන ස්ථාන වෙන්කර ගැනීම නිසාය. මෙසේ ප්‍රබල ජර්මනිය මෙවර තරගාවලියේ අවසන් 16 අතරටවත් සුදුසුකම් නොලබා ආපසු හැරී ගියේ තමන්ගේ අතීත ශ්‍රී විභූතියටද කැළලක් එකතු කර ගනිමිනි.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට පෙර සිදු කරන ලද ආසන්නතම ශ්‍රේණිගත කිරීම් හි දෙවන ස්ථානයේ පසු වූ බෙල්ජියම කණ්ඩායමට මෙවර අවසාන කණ්ඩායම් 16 අතරට එක්වීමට නොහැකි වීම ද අවධානයට ලක්වූ කරුණකි. කෙසේ වෙතත් බෙල්ජියම එම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 27 වන ස්ථානයේ පසුවූ මොරොක්කෝව හමුවේ ලද පරාජය ඔවුන්ට සිදු වූ දරුණු නින්දාවක් ලෙස සැලකේ. “එෆ්” කාණ්ඩයෙන් තරග වැදි ඔවුන්ට එහි තෙවන ස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.

බ්‍රසීලය – කැමරුන්

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වඩාත් සාර්ථකම කණ්ඩායම මෙන්ම එම තරගාවලිය යටතේ ශූරතා 5ක් දිනාගෙන ඇති බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව තරග සඳහා මෙවර ද සුදුසුකම් ලැබීය. ඒ අනුව 1994 වසරෙන් පසුව අඛණ්ඩව සියලු අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම බවට ද බ්‍රසීලය පත්විය. එහෙත් ඔවුහු කණ්ඩායම් 32 වටයේ දී කැමරුන් රාජ්‍යය හමුවේ පරාජය වීම තරගාවලියේ තවත් අවධානය දිනාගත් තරග ප්‍රතිඵලයක් විය.

අප්‍රිකාවේ ඔක්කොම මොරොක්කෝවට

පාපන්දු ලෝක කුසලාන දෙකක් තම නම ඉදිරියේ ලියාගෙන මෙවර තරගාවලියට එක්වන ආර්ජන්ටිනාව ලියොනල් මෙසී යටතේ තරග කරයි. ඔවුහු අර්ධ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් කීහ. මෙවර තරගාවලියේ ප්‍රබලම ක්‍රීඩකයා ලෙස ද සැලකෙන මෙසී සිටින කණ්ඩායමක් මෙන්ම එසේ ජයග්‍රාහී ඉතිහාසයකට උරුමකම් කියන කණ්ඩායමක් සෞදි අරාබිය හමුවේ පරාජය වේ යැයි පිළිගත හැක්කේ කාටද? එහෙත් මෙවර තරගාවලියේ එය ද සිදුවිය. එම ජයග්‍රහණය ප්‍රතිවාදී සෞදි අරාබි රටට කොතරම් වැදගත් වූයේ ද යත් ජයග්‍රහණය සැමරීම පිණිස ඊට පසු දින සවුදි රාජ්‍යයට නිවාඩු දිනයක් පවා නියම විණි.

ස්පාඤ්ඤය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් නොවුණු එහෙත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමකි. 2010 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය මෙවර තරගාවලියේ ජපානය හමුවේ මූලික වටයේදී පරාජය විය. එහෙත් ඔවුහු අවසන් කණ්ඩායම් 16 වටයට පිවිසියහ. එහිදී සිදුවූයේ කුමක්ද? මින් පෙර කවදාවත් පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජයග්‍රහණය කර නොතිබූ මොරොක්කෝව හමුවේ ස්පාඤ්ඤය පරාජය වීමයි. එම පරාජය සමග ඔවුහු තරගාවලියෙන් ඉවත් වූහ. එහෙත් මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව එය බවට පත්විය. එමෙන්ම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 4 වෙනි අප්‍රිකානු රට බවට ද මොරොක්කෝව වාර්තා අතරට එක් විය.

ලෝක ශූරයන්ගේ පරාජය

ලෝක ශූර ප්‍රංශය මෙවර මූලික වටයේදී තම කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසිය ද ඔවුන්ටද අමතක නොවන පරාජයකට මූලික වටයේ දී මුහුණ දෙන්න සිදුවිය. ඒ ටියුනීසියාව හමුවේ ලද පරාජයයි. මෙවර තම කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාවට සහ ඩෙන්මාර්කයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ගෙන සිටි ප්‍රංශය ටියුනීසියාව හමුවේ ලද එම පරාජය ඔවුන් 2014 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයට පසුව පරාජය වුණු පළමු තරගය විය. එවර ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයේදී ජර්මනිය හමුවේ පරාජයට පත්වී තිබිණි.

ඇස් හැර බලන ජපන් හපනුන් දෙස

කටාරයේ සිට ලොවට ගලා යන පාපන්දුවේ අරුමය

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ආසියාවට හිමි වන්නේ අඩු තක්සේරුවකි. යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ අප්‍රිකා රටවල නම් බොහෝ විට කියවෙන පාපන්දු ලෝක කුසලානයේ ආසියානු සළකුණ තබන්නට ජපානය සහ දකුණු කොරියාව මෙවර කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළේය. පාපන්දු ලෝක කුසලාන තරගාවලියක පළමු වරට පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලැබූ ජපානය සහ දකුණු කොරියාව ඉන් ඔබ්බට නොගිය ද මෙවර ඔවුන් ගිය දුර නම් බොහෝ අගනේය. මූලික වටයේ තරග යටතේ ප්‍රබල ජර්මනිය සහ ස්පාඤ්ඤය 2-1 ක් ලෙස පරාජය කිරීමට ජපානය සමත් වීම ආසියාවටම අභිමානය ගෙන දෙන්නක් විය. ජපානය හා දකුණු කොරියාව නැගෙනහිර ආසියානු රටවල් දෙකක් ලෙස ඔවුන් ලද මෙම ජයග්‍රහණය දකුණු ආසියානු කලාපයේ රටවලට ද ලැබුණු ගෞරවයකි. මෙවර තරගාවලියේදී ජපානය පෑ පෙළහර ආසියාවේ පාපන්දු දස්කම් පමණක් නොව ඔවුන්ගේ ආචාරශීලීත්වය ද ලෝකය හමුවේ තබන ලද සලකුණක් මෙන් විය.

අවසන් කණ්ඩායම් 16 වටයේදී ඔවුන් තරග වැදුණේ පසුගිය ලෝක කුසලාන අනුශූරයන් වූ ප්‍රබල ක්‍රොඒෂියාව සමගයි. එහිදී නියමිත කාලය සහ අතිරේක කාලය අවසන් වන තෙක්ම පසුගිය අනු ශූරයන්ට ජයග්‍රහණය කරන්නට ඉඩ ලබා නොදුන් අපේ කලාපයේ වීරයන් අවසානයේ පරාජය වූයේ දඬුවම් පහර මඟිනි. එම තරගය පරාජය වී සිය ලෝක කුසලාන වික්‍රමාන්විත ගමන නිමා වුවද තමන්ගේ ආචාරශීලීත්වයට පරාජය වන්නට ඉඩ නොදුන් ජපාන ක්‍රීඩකයෝ පිටිය මධ්‍යයේ සිට හිස නමා සියලු ප්‍රේක්ෂකයන්ට සිය ආචාරය පුද කළහ. ක්‍රීඩකයෝ එසේ තම ආචාරශීලීත්වය පුද කරද්දී ජපාන ප්‍රේක්ෂකයෝ ද තරග අවසානයේ තමන් සිදුකරන ක්‍රීඩාංගණය සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරත වූහ. ජපාන ප්‍රේක්ෂකයන් තමන් තරගය නරඹමින් සිටි ස්ථානවල වැටී ඇති සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීම තරගාවලිය ආරම්භයේ සිට දකින්නට ලැබුණු වෙනත් ප්‍රේක්ෂකයන්ගෙන් දක්නට නොලැබුණු ඉහළ ගුණාංගයක් විය. තමන්ගේ තරගයක් නොවූවද තරගාවලියේ පළමු තරගය වූ කටාරය සහ ඉක්වදෝරය අතර තරගය අවසානයේ දී ද ජපාන ප්‍රේක්ෂකයෝ මෙම සද්කාර්යය ඉටු කළහ. ක්‍රීඩාංගණ සුද්ධ පවිත්‍ර කිරීමට සිටින කාර්ය මණ්ඩලය සමග එක්ව ජපාන ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරයේ තැන තැන තිබූ අපද්‍රව්‍ය ලහි ලහියේ එකතු කරනු විදෙස් මාධ්‍යවල මහත් ඉහළින් ඇගයීමට ලක් කර තිබුණි. ප්‍රබල බ්‍රසීලය හමුවේ දකුණු කොරියානු ක්‍රීඩකයන්ගේ අර්ධ අවසන් පූර්ව තරග බලාපොරොත්තු ද කඩවී ගියද පළමු වටයේදී ඔවුහු පෘතුගාලය හමුවේ තරගය ජය ගත්තේය. එමෙන්ම දෙවරක් පාපන්දු ලෝක ශූරයන් වූ උරුගුවේ කණ්ඩායම සමග තරගය එහිදී ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙන ඔවුහු අවසන් 16 වටයට සිය ප්‍රවේශය උදාකර ගත්හ.

කටාරයේ සිට ලොවට ගලා යන පාපන්දුවේ අරුමය

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment