මෙහෙම ගියොත් රෝහල් ටිකත් ලෙඩ ඇඳේ!

177

නිර්වින්දන එන්නතක් ජීවිත හතක් බිළිගෙන නම්!

හදිසි මිලදී ගැනීම් යටින් ගහන මාර ගේම.

දත්ත නෑ. රෝහල්වල ඖෂධ ගැන කවුරුත් දන්නේ නෑ

සැප්තැම්බර් වන විට රජයේ රෝහලුත් ලෙඩ ඇඳේ!

දියවැඩියා පටි හා මාපක ගැහිල්ල නතර කළේ ජනාධිපති කාර්යාලය.

රජයේ රෝහලුත් පාඩු නම් විකුණමුද?

දිය බොරව තිබේ. බොර දියේ මාළු අල්ලන පිරිස යහමින් මුදල් උපයන්නේ තලුමරමිනි. මේ රට පාලනය කළ උන් විසින් රට තුළ ඇතිකර තිබෙන බරපතළ ආර්ථික අර්බුදය හමුවේ හාමත්ව සිටින ජනතාව එක වේලකින් හෝ කුසගිනි නිවා ගැනීමට කරන සටනට කූඨ වෙළෙඳුන් බැටදෙන අතර ටයි පටි පැළඳ සිටින මහා පරිමාණ ජාවාරම්කාරයන් මෙරටට ගෙන එන පිරිපහදු ඉන්ධන වලින්ද ගෑස් වලින්ද පාරිභෝගික ද්‍රව්‍යවලින් ද ඖෂධවලින් ද ගජරාමෙට ගසා කති. රටේ කිසිම භාණ්ඩයක මිල පාලනයක් නැත. පාලනය කළ මිලක් තිබුණත් බලන්නට කෙනෙක් නැත. දිය බොරව ඇත.

මේ ආර්ථික අර්බුදයේ මුල මැද අග කොතැන වුණත් දැන්නම් මිනිසුන් ජීවත්වන්නේ නොමැරී බැරිකමටය. රෝහල්වල බෙහෙත් නැත. රෝගීන්ගේ ජීවිත අවදානමකට වැටී ඇත.

අද අප කතා කරන්නේ මේ වනවිට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වී තිබෙන නස්පැත්තිය පිළිබඳවය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගීන් දෙදෙනෙක්ද සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ රෝගීන් දෙදෙනෙක්ද ළමා රෝහලේ රෝගීන් දෙදෙනෙක් ද කොළඹ ඇස් රෝහලේ රෝගී කාන්තාවක් මිය ගොසිනි. ඒ හත්දෙනා මියගියේ නිර්වින්දන එන්නතක අවුලක් මුල්කරගෙන දැයි බරපතළ සැකයක් වෛද්‍යවරු අතර මතුව ඇත. ඇත්තටම මේ හත්දෙනා මියගියේ නිර්වින්දන ඖෂධය නිසාද නැද්ද? කිසිවකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකිව ඇත. ඒ පිළිබඳව විධිමත් පර්යේෂණයක් ඇවැසිය.

මේ මොහොතේ රට තුළට බාල ඖෂධ, එන්නත් ගලා එමින් තිබේ. ආර්ථික අර්බුදය නිසා බොරතෙල් එන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරවය. ඖෂධ එන්නේද ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරවය. ඉන්දියන් ණය පහසුව (Inian credit line) හරහා ද මෙරටට ඖෂධ ගෙන එති. ලංකාවේ ලොකුම ජාවාරම ඖෂධ ජාවාරම බව නොරහසකි. මේ පිටුපස මැති ඇමැතිලා ද ජාවාරම්කරුවෝද සිටිති. වෛද්‍ය සැපැයුම් අංශය, ඖෂධ නියාමන අධිකාරිය (රාජ්‍ය ඖෂධ සංස්ථාව ආදී ආයතනවල නිලධාරීන් බලධාරීන් සම්බන්ධයෙන් චෝදනා නැඟේ. සම්බන්ධතා පිළිබඳවද වරින් වර හෙළිදරව් වී ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට හදිසි මිලදීගැනීම් යටතේ මෙරට ලියාපදිංචි නොමැති සමාගම් හරහා ඖෂධ ගෙන්වීම නිසා මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු ගණනාවක් පැනනැඟී තිබෙන බව වෛද්‍යවරු පවසති. වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් මෙන්ම දියවැඩියා රෝගීන් පමණක් නොව හෘද රෝගවලට ලක්වූ රෝගීන්ද ඔවුනට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණදී සිටිති.

විශේෂයෙන්ම ඇස් රෝහලේ ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ගේ ඇස් අන්ධවී යෑමට හේතුවන ඖෂධයක් පිළිබඳවද මේ වනවිට වෛද්‍යවරු හෙළිකර ඇත. ඒ අතර මෙරටට ගෙනවිත් තිබෙන නිර්වින්දන එන්නත නිසා රෝගීන් මියයන්නේ නම් වෙන කථා කරන්නට දෙයක් නැති තරමටම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටී හමාරය. වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ඉකුත් දිනක කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණ මිලදී ගන්නට මුදල් ලබා නොදෙන්නේ නම් සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවකි. ඇමැතිවරයා ඒ නොකියා කීවේ මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟයත් සමග මුළු පද්ධතියම කඩාවැටීමක් යැයි අපගේ වැටහීමය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති රෝහල්වල ඖෂධ ප්‍රමාණයන් නිරීක්ෂණය කරන ඖෂධ සැපයුම් ජාල පරිගණක පද්ධතිය මේ වනවිට බිඳවැටී ඇත. ඒ කියන්නේ රජයේ රෝහල්වල ඇති ඖෂධ වර්ග, ඖෂධ ප්‍රමාණ, හිඟ ඖෂධ පිළිබඳ දත්ත වාර්තා සොයාගත නොහැකි වීමය. ඒ අනුව සෞඛ්‍ය ඇමැතිවරයාටවත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ටත් මේ වනවිට රටේ නොමැති ඖෂධ වර්ග, හිඟ ඖෂධ වර්ග පිළිබඳව නියම තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි බවකි. ඒ නිසා එක එක නිලධාරීන් විවිධ ගණන් හිලව් කියන තැනට පත්ව ඇත. ඉකුත් කාලයේදී ප්‍රතිජීවක ඖෂධ හා අනෙකුත් ඖෂධ ලියාපදිංචි නොමැති විවිධ සමාගම් හා පුද්ගලයන් හරහා මෙරටට ගෙන ඒම නිසා රජයට ඩොලර් බිලියන ගණනක පාඩු සිදුවී ඇතැයිද සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා හෙළිකර තිබිණි. ඔහු පවසන පරිදි මේ වනවිට ග්‍රාමීය මන්දපෝෂණය වැඩිවෙමින් තිබේ. ඊට හේතුව ගැබිණි මව්වරුන්ට සහ වයස අවුරුදු 5ට දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ වැඩසටහන අකර්මණ්‍යව තිබීමය. එපමණක් නොව රටේ ජනතාවට තුන්වේල කන්නටත් මුදල් නැත. එසේ තිබියදී ගැබිනි මව්වරුන් ලබාගත යුතු පෝෂ්‍ය ආහාර වේලවල් මගහැරී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. දරුවන්ට බිත්තරයක්, මස් මාළු කෑල්ලක් තබා හාල්මැස්සෙක්වත් ආහාරයට ලබාදීමට දෙමාපියන්ට නොහැකිව ඇත. මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව හෙට අනින්දා කප් ගහන එක ඉරහඳ මෙන් විශ්වාස කළ හැකි කාරණයකි.

මීට මාස කිහිපයකට පෙර දියවැඩියා රෝගීන්ට අවශ්‍ය පරීක්ෂණ පටි හා මාපක තොගයක් ඉන්දියාවෙන් මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වලිකෑ හැටි මතකය. ඉන්දියන් ණය පහසුකම යටතේ එම දියවැඩියා පරීක්ෂණ පටි හා මාපක ගෙනඒමට රුපියල් කෝටි 38ක මුදලක් වැයකරන්නට පිරිසක් උත්සහ කළේ එමගින් කෝටි ගණන් මුදල් යටිමඩි ගසා ගැනීමටය. එම දූෂිත ගනුදෙනුව නතර වූයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඊට මැදිහත්වූ පසුව යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සඳහන් කළහ.

කෙසේ හෝ වේවා රජයේ රෝහල්වල මතුව තිබෙන ඖෂධ හිඟය නිසා වෛද්‍යවරු ඉන්නේ දැඩි සිත් තැවුලෙනි. රජයේ රෝහල්වලට එන අසරණ රෝගීන්ට අදාළ නියම ඖෂධය ලබාදීමට නොහැකිව වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව සිටිති. ශල්‍යකර්මවලදී දැනට තිබෙන නිර්වින්දන ඖෂධ භාවිතා කිරීම ගැටලු සහගත වී ඇත. එසේ නිර්වින්දන එන්නත ලබාදී මියනොයෙන රෝගියෙක් මියැදෙන්නට ඉඩහැරීම කළ හැක්කේ කාටද? ඇතැම් රසායනාගාර පරීක්ෂණ රෝහල්වල කරන්නට පහසුකම් නැත. ඒවා පිටතින් කිරීමට නිර්දේශ කිරීමේදී ඒ ඒ පුද්ගලික රසායනාගාර හිතූ හිතූ ගණන් අයකරති. රෝහලේ ඖෂධ නොමැති නිසා පුද්ගලික ඖෂධ සැල්වලින් ඒවා මිලදී ගන්නට සිදුවන විට අයකරන ගාස්තුද මෙලෝ මිනිසකුට දරාගත නොහැකි තරම්ය. ලබන සැප්තැම්බර් මාසය වනවිට සමස්ත රෝහල් පද්ධතියම කඩාවැටීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී. එනිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන මේ කඩාවැටීම් සම්බන්ධයෙන් වහාම සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස වෛද්‍ය සංගම්වල නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිති.

මේ වනවිට මෙරටට ගෙන එන ඖෂධ, වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය පිළිබඳ සොයන්නට ඖෂධ නියාමන අධිකාරියේ රසායනික පරීක්ෂණ නොකරන බවද කියවේ. බාල ඖෂධ ගන්නා අන්ත අසරණ රෝහීන් මිය පරලොව යන දෙස ඇතැම් වෛද්‍යවරු බලා සිටින්නේ හැඬූ කඳුළිනි. මැති ඇමැතිලානම් පිටරට ගොස් ප්‍රතිකාර ලබාගනු ඇත. මේ රටේ සිටින ධනවතුන්ද පුද්ගලික රෝහල්වලට ගොස් ප්‍රතිකාර ලබාගනු ඇත. නමුත් තුන්වේල කාගත නොහැකිව ලතවෙන අසරණ රෝගීන් යායුතුව ඇත්තේ රජයේ රෝහල් වෙතය. ඔවුනට ලබාදෙන්නේ බාල ඖෂධනම් ඒවායෙන් එම රෝගීන් විවිධ සංකූලතාවලට ලක්ව මියදෙන්නේ නම් මේ අවනඩුව කාට කියන්නද?

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විටෙක නිලධාරීන්ට චෝදනා කරමින් කටයුතු කරන හැටි අපි දුටිමු. තවත් විටෙක විපක්ෂයේ උදවිය මේ අඩුපාඩු ගැන කරුණු හෙළිකරති. වෛද්‍ය සංගම්වල නියෝජිතයන් යම් යම් කරුණු හෙළිකරනවිට ඔවුනට එරෙහිව විනය පරීක්ෂණ කරන්නට කටයුතු කරති. මොනදේ වුණත් ඖෂධ හිඟයත්, බාල ඖෂධත් නිසා මියදෙන්නට සිදුව ඇත්තේ අසරණ රෝගීන්ටය. එනිසා රජයේ රෝහල්වල සැබෑ තත්ත්වය සොයාබලා ඊට කඩිනමින් විසඳුම් ලබාදිය යුතුය. ඇතැම්විට මේ රටේ රාජ්‍ය ආයතන සියල්ලම පාහේ පාඩු ලබන්නා සේ රජයේ රෝහල්ද පාඩු පිට දුවන සේවාවක් යැයි ඇතැමුන්ට හැඟෙන්නට පුළුවන. එනිසා රජයේ රෝහල් ටිකත්, පුද්ගලික අංශයට දී අත සෝදා ගැනීම මොවුනගේ සැලසුම දැයි අප දන්නේ නැත. ඒ කෙසේ වෙතත් නිර්වින්දන ඖෂධ නිසා මියගිය බවට සැකකරන හත් දෙනාගේ නාමයෙන්වත් එම නිර්වින්දන ඖෂධ පිළිබඳව සොයාබලා වහා මේ ඖෂධ ජාවාරමට තිත තැබිය යුතුය.

දිය බොරවී ඇතැයි අප කීවේ එනිසාය. ඖෂධ ජාවාරම හරහා ප්‍රකෝටි ගණන් උපයන උන් යා යුත්තේ නිරයටය. නමුත් මේ ජාවරමුන් නිරයට යන්නට පෙර මේ රටේ අහිංසක දුප්පත් රෝගීන් මළවුන් අතරට යෑම මොන තරම් අපරාධයක් දැයි වගකිවයුත්තෝ කල්පනාවට ගත යුතුය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment