ආගමික වැඩසටහන් රැසක් සමග මහජන බැංකුව 62 වැනි සංවත්සරය සමරයි

101

මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා ජූලි මස 01 වන දිනට හැට දෙවසරක් සපිරෙයි. එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමඟයි.

ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවා සහ නවීන ඩිජිටල් තාක්ෂණය මුසුවූ සේවාවන් රැසක් හඳුන්වා දෙමින් අද වන විට මහජන බැංකුව රුපියල් ටි්‍රලියන 3කට අධික ඒකාබද්ධ වත්කම් සහිත මෙරට ප්‍රමුඛතම බැංකුවක් බවට පත්ව ඇති අතර, දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි.

ආගමික වැඩසටහන් රැසක් සමග මහජන බැංකුව 62 වැනි සංවත්සරය සමරයි

සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ උකස් වෙළඳපොළ විධිමත් විය.

මේ වන විට දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 745ක් වන අතර, 7300කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 280කට අධික පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14.7 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට හැට දෙවසරක් සැපිරිණි. ඒ වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් මාලාවක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදී.

ආගමික වැඩසටහන් රැසක් සමග මහජන බැංකුව 62 වැනි සංවත්සරය සමරයි
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්

ඒ අනුව, මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පුණ්‍යෝත්සවය ජූනි මස 30 සහ ජුලි මස 1 දෙදින තුළ පැවැත්විණි. මේ යටතේ ජූනි මස 30 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, පසුදින මහා සංඝරත්නය හැට දෙනමක් විෂයෙහි සපිරිකර දානමය පිංකමක්ද සංවිධානය කෙරිණි. එමෙන්ම මහජන බැංකු හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව සංවිධානය කළ ආගමික වැඩසටහන ජුලි මස 04 වැනි දින පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලු නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා පැවති මෙම ආගමික වැඩසටහන් සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment