මේ වනවිට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව බොහෝ පාර්ශ්ව විවිධ අදහස් දක්වා තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මෙතෙක් ඒ හා බැඳුනු කරුණු කාරණාවලට වඩා ගැටලුකාරී තත්ත්වයක් මතුකර තිබේ. මේ ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මතු දැක් වේ. එහි ඔහු ඉස්මතු කර ඇති බොහෝ කරුණු මේ තත්ත්වය අවබෝධ කර ගැනීමට බෙහෙවින් ඉවහල්වනු ඇතැයි සිතමු.

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැඟෙමින් පවතින ගැටලුකාරීත්වයක් පිළිබඳව විවිධ වාර්තා මේ දිනවල පළ වෙමින් පවතී. මෙම ගැටලුකාරීත්වයට මූලික පදනම වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙසින් සිටි බුවනෙක අළුවිහාරේ මහතා විශ්‍රාම ගැනීමෙන් හිස්වූ පුරප්පාඩුව සඳහා ඔබ විසින් පත් කිරීමට යෝජනා කරන ලද වත්මන් අභියාචනාධිකරණ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් මුලදී අනුමත කිරීම කල් දැමීමත්, පසුව 2024 ජනවාරි 30 දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාව එය 5 ට 3 ලෙසින් බහුතරයේ කැමැත්ත මත ප්‍රතික්‍ෂේප කිරීමත් යන කාරණාවයි.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින මා උක්ත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු නොවන බව ඔබ හොඳින් දන්නා කරුණකි. එසේ නමුත් මෙම සිදුවීම (නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්‍ෂේප කීරීම) සහ එම මතය විධායක ජනාධිපතිවරයා ලෙසින් ඔබතුමන් නොපිළිගැනීම යන කරුණු හරහා බරපතළ ව්‍යවස්ථා ගැටලුවක් ඇති වන බව මාගේ නිරීක්‍ෂණයයි.

උක්ත ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහිව ඔබතුමන් විසින් මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුව තළදී ද, පසුගිය දිනක විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් හරහා ද අදහස් දක්වා ඇත. ඔබගේ මූලික තර්කය වන්නේ යැයි මා සිතන්නේ පහත සඳහන් ආකාරයේ අදහසකි. ‘ව්‍යවස්ථාදායක සභාව යනු ජනාධිපතිවරයා සතු විධායක බලය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනයකි. එහෙයින් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සිදුකරන පත්කිරීම (41C‍ වගන්තිය යටතේ ඇති පත් කිරීම) අනුමත කිරීම හැර වෙනත් දෙයක් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට අදාළ නැත’ වැනි අදහසකි. මෙම අදහස ඔබ විසින් මෙම කාරණය මුල්කර ගනිමින් නිකුත්කළ ඇති 2024.01.31 දින දරන (PDM-PRO131#04 අංකය සහිත) ප්‍රවෘත්ති නිවේදනයේ දක්වා ඇත. එහිදී ඔබතුමන් මෙසේ ප්‍රකාශ කරයි. ‘The Constitution Council, Which is chaired by the Hon speaker of the Parliment and Established Under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the executive’ (Paragraph 05). ඔබතුමන්ගේ ඉහත ප්‍රකාශය මගින් රටේ බරපතළ ව්‍යවස්ථාමය ගැටලුවක් (Constitutional Crisis) නිර්මාණය කරන බව මාගේ තේරුම් ගැනීමයි.

ඒ නිසාම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු නොවන මුත් වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් විධායකයේ මෙම ස්ථාවරය සම්බන්ධව අදහස් දැක්වීමට තීරණය කරමි.

  1. මෙහිදී අවධානයට යොමු විය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව ඔබතුමා දරන ස්ථාවරය ඉතාමත් පාර්ශ්වීය හා ඒකමානීය (Mariginalized and One Dimensional) ස්ථාවරයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණ වශයෙන් සලකා බැලීමෙන් හා/හෝ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් වූ මූලික අභිලාෂයන් (Main Expectations of 17A) සමග සලකා බැලීමෙන් ඔබතුමා දරන ස්ථාවරය නිවැරදි නොවන බව පෙනී යයි. ඔබතුමාගේ ස්ථාවරය සීමිත සහ පාර්ශ්වීය එකක් බවත් (Limited and Biased) යෝජනා කිරීමට කැමැත්තෙමි.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ත අර්ථය තුළ තේරුම් ගත යුතු එක් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ පරමාධිපත්‍ය ජනතාව සතු අත්හැරිය නොහැකි බලයක් වන බවයි. එය (a) ඡන්ද බලය (b) මූලික අයිතිවාසිකම සහ (c) රාජ්‍ය පාලන බලය යන තෙයාකාරයකින් යුතු පරමාධිපත්‍ය බලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් මෙම තත්ත්වය ඉතාමත් නිශ්චිතව බලගන්වා ඇත. In the Republic of Sri Lanka, Sovereignty is in the people and is inalienable, Sovereignty includes the Powers of government Fundamental Rights and Franchise.) (Article 3)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය මගින් ඉහත සඳහන් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය නීතිගත කර ඇත. ඒ අනුව ප්‍රමුඛතාවය සමාන ලෙස බෙදී යන ආකාර 05 කින් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වේ. ඒවා වන්නේ, 1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද, 2. ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකු මගින් ද, 3. ජනතාවගේ අධිකරණ බලය අධිකරණය මගින් ද, 4. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධීකරණය අධිකරණය හරහා ක්‍රියාත්මක කිරීම මගින් ද, 5. ජනතාවගේ ඡන්ද බලය පාර්ලිමේන්තු නියෝජනය හරහා සහ ජනමත විචාරණයකදී සෘජු මැදිහත්වීම් හරහා ද ක්‍රියාත්මක කිරීමයි.

මහාචාර්ය චරිත හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment