ඉක්මන් නිවන සෙවීමේ සයනයිඩ් ආදර්ශය

990

2023 අප්‍රේල් මාසයේදී නැගෙනහිර කෙන්යාවේ ක්‍රිස්තියානි ආගමික නිකායක් විශ්වාස කරන අනුගාමිකයන් කණ්ඩායමක් ආහාර නොගෙන උපවාසයක යෙදී සිටියදී පොලිසිය විසින් සොයාගන්නා ලද අතර, එලෙස සොයාගන්නා විටත් හතරදෙනකු කුසගින්නේ සිට මියගොස් තිබුණි. පසුව එම නිකායේ සාමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 90 දෙනකුගේ මළ සිරුරු එම ආගමික නිකායේ මූලස්ථානය අසල පිහිටි ශකහොලා වනාන්තරයෙන් සොයාගෙන තිබිණි. මේ පුවත ලොවම කම්පනය කළ සිද්ධියක් විය. මේ පිරිස කුසගින්නේ මියගියේ එම ආගමික කල්ලියේ නායකයා වූ පාස්ටර්වරයා ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නෙන් මිය යා යුතුයැයි දේශනා කර තිබූ නිසාය. නායක පාස්ටර් කුසගින්නේ නොසිටි නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. දකුණු ඇමරිකාවේ ගයනාවේ ජෝන්ස්ටවුන්හි 1978 වසරේ දී පුද්ගලයන් 900 අධික ආසන්න ප්‍රමාණයක් සාමුහිකව සිය දිවි නසා ගත්තේ ආගමික විශ්වාසයක් පදනම් කරගෙනය. ජිම් ජෝන්ස් නම් පුද්ගලයාගේ මහජන දෙවොල නම් ක්‍රිස්තියානියට සම්බන්ධ ආගමික කල්ලියේ පිරිස මෙසේ සියදිවි නසා ගත්හ. මේ පිරිස ඇමෙරිකානුවන් විය. ඔවුහු සයිනයිඩ් විස ශරීරගතකරගෙන පරලොව ගියහ.

සයිනයිඩ් කා නිවන ඉක්මන් කරගැනීමේ මෙරට කතාව ආරම්භ වන්නේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් ඊනියා ආගමික දේශකයාගේ සියදිවි නසා ගැනීමත් සමගය. “අපි මැරෙනවා! ආයෙ උපදිනවා, අපි මැරෙන්නෙ හදිසියෙන් ද කලබලෙන්ද? අපිට අපේ අවසානය කළමනාකරණය කරගන්න බැරිවුණොත්, කවුද අපිව බේරගන්න ඉන්නෙ” මේ ආගමික දේශක රුවන්ගේ මුවින් නිතරම පිටවිය. පන්සල්වල බණ මඩුවලත් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් ඔහු දේශනා පවත්වා තිබිණි. ඉක්මන් නිවන ක්ෂණික නූඩ්ල්ස් ආකාරයට ලබා ගැනීම ඔහුගේ අරමුණ විය. රුවන් බෞද්ධ ආගමිකයෙකු වූ අතර ඔහුගේ දේශනා අසන්නට ගියේද බෞද්ධයන් බව පැහැදිලිය. දැන් රට පුරා බුදුන් වහන්සේටත් වඩා ධර්මය දන්නා ගිහි පැවිදි දේශකයන් බිහිව ඇති කාලයකි. ඔවුහු බුදුන්ටත් වඩා පොරවල් වෙති. සමහරු සමාජ මාධ්‍ය ඔස්සේද බණ කියති. මේවා අසන්නටද පිරිස් එක රැස්වන්නේ සාධුකාර දීමෙනි. නමුත් දැන් සිදුවන්නේ කුමක්ද?

ඉක්මන් නිවන සෙවීමේ සයනයිඩ් ආදර්ශය

රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍රය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එබැවින් පරලොව සැප පතන හැම දෙනා විසින් ම රත්නත්‍රය හැඳින ගත යුතු බව ධර්ම ග්‍රන්ථයන් හි සඳහන් වේ. ඇත්තෙන්ම රහත් වන සංඛ්‍යාව බුද්ධ කාලයේ දී ම අඩු වූයේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි. මේ බුදුසසුන දැන් බොහෝ පැරණි ය. මේ සස්න ඇති වූ මුල් කාලයේ දී ම එක් එක් කෙනා බැගින් ද, සමූහ සමූහ වශයෙන් ද, රහත් වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇත්නම් ඇත්තේ ඉතා ටික දෙනෙක් ය. ලෝකයෙහි නව රහතුන් දුලබ වීමේත් රහත්වන්නවුන් දුලබ වීමේත් හේතුව එය ය. කනගාටුව වන්නේ සයිනයිඩ් හරහා නිවන ඉක්මන් කර ගැනීමට තරම මෝහයෙන් මුළා වුවන් මේ කාලයේ බිහිවීමය. මේවා පිටුපස යන්නේ කවුරුන්ද?

46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න අවසන් වරට දේශනයක් පවත්වා ඇත්තේ 2023 දෙසැම්බර් 26, එනම් උඳුවප් පොහොය යෙදී තිබූ දින ගාල්ල, හබරාදූවේ දී ය. පසුව නිවන කළමනාකරණය කිරීම පිණිස ඔහු විස කා සියදිවි නසා ගන්නා අතර මළ සිරුර දෙසැම්බර් 28 වැනිදා කොට්ටාව, මාකුඹුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි කුලියට ගත් නිවසේදී තිබී පොලිසියට හමුවෙයි. ඉන් දින දෙකකට පසු මේ දේශකයාගේ අවමඟුල් අවසන් කටයුතු සිදුකර තිබුණි. එදින රාත්‍රියේ, එනම් දෙසැම්බර් 30 වැනිදා, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මාලඹේ පිහිටි ඔවුන්ගේ ඥාතියෙකුගේ නිවසක් තුළ වස පානය කර සියදිවි නසාගෙන තිබිණි. එහෙත් මේ සියදිවි නසා ගැනීම් වල අරමුණ කුමක්දැයි පැහැදිලි වන්නේ නැත. නමුත් මොරිස් මොහාන් හා දිනිති මන්දාකිණි (ඇය සරසවි සුදුසුකම් ලැබූ තරුණියකද වෙයි) සයිනයිඩ් බවට සැක කරන කුඩු වර්ගයක් කා සිය දිවි නසා ගැනීමෙන් පසු මේ මරණ සියල්ල එකම ජාලයක් බව පොලිසිය අවබෝධ කර ගනී. දිනිති හා මොරිස් දෙදෙනාම රුවන්ගේ අනුගාමිකයන් වන අතර ඔවුන් 30 වැනිදා පැවති සිය ආගමික දේශකයාගේ අවමඟුලටද සහභාගි වී තිබේ. මෙදින දිනිති සිය ඇඳුම් බෑගයක් අවමඟුල තිබූ නිවසක දමා ගොස් තිබූ අතර එය නැවත ගෙනත් දෙන්නේ මොරිස් විසිනි. මොරිස් මහරගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සිය දිවි නසා ගැනීමට පෙර පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබිණි. “මේ නැතිවුණු රුවන් ප්‍රසන්න මගේ ශාස්තෘවරයා… මමත් ධ්‍යානයක් ලබලා ඉන්නෙ… මෙතුමාගෙ අනුගාමිකයෙක් මං…” පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ රුවන්ගේ අවමඟුලට පැමිණීම පිළිබඳ ඇතිවූ සැකය නිසාය. මේ ආගමික දේශකයා වෙනුවෙන් සදහම් සරණ නමින් මුහුණු පොතේ ගිණුමක් සකස් කර තිබූ අතර එය පවත්වාගෙන ගොස් ඇත්තේද අම්බලන්ගොඩ පදිංචි මොරිස් විසින් බව බුද්ධි අංශ වෙත තහවුරු වී තිබේ.

සදහම් සරණ පිටුවේ දෙසැම්බර් 29 වැනිදා පස්වරුවේ උඩුගත කරන ලද පොස්ටුවක මෙසේ සඳහන්ව තිබිණි. “සුවහසක් ජනයාගේ නෙත් විවර කළ පෘථිවිය මත කළ සදහම් සරණ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන 2023 දෙසැම්බර් 26 දින නිමා කළ අතර එහි නිර්මාතෘ පෘථිවි තලයෙන් සදහටම නික්මී ගියහ. සදහම් සරණ ඔබ මතකයේ සදා රැඳෙනු ඇත. ඔහු කියාදුන් ධර්ම කරුණු කාරණා තවකෙකු සසර ගමනින් එතෙර කරනු පිණිස යොදාගන්නා ලෙස සදහම් සරණ අප ඉල්ලා සිටිමු. ‘අටලෝ දහම, ත්‍රිලක්ෂණය හා පංචශීලය’ වැනි දේ මුල් කරගෙන රුවන් සිය ‘දේශන’ පවත්වා තිබූ අතර ‘මෙම ආත්ම භාවය සසර සුවපත් කර ගැනීමට බාධා එල්ල වී ඇති බැවින් ඊළඟ ආත්මයේ දී ඉතා හොඳ ආත්මභාවයක් ලබා ගැනීමට නම් නික්ම යා යුතු හොඳම කාලය මේ කාලයයි…’ යනුවෙන් නිරන්තරව අවධාරණය කර තිබිණි.

බුදුන් වහන්සේ “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. මහණෙනි, මේ සංසාරය නො දක්නා ලද අක් ඇත්තේ ය. එහි මුල පටන් ගැනීම නො පෙනෙන්නේ ය.” යනු එහි තේරුම ය. තවද අනවරාග්‍ර සංසාරයෙහි එක් සත්ත්වයකු විසින් බිව් මව් කිරි ද, හැඬූ කඳුළු ද, අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක් ම සාගර ජලයට අධික බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක. එහෙත් සංසාරය බලහත්කාරයෙන් කෙටි කර ගැනීමට රුවන් දේශකයා විසින් විස බණ දෙසා ඇති බව නම් පැහැදිලිය. එය සමාජ ඛේදයක් නොවන්නේද? අද සමාජය පත්ව ඇති අවුලේ එක් පැතිකඩක් මේ හරහා ප්‍රදර්ශනය වන බව පැවසුවහොත් ඒ ගැන කිසිවෙකු උරණ නොවනු ඇත.

මේ සිද්ධිය ගැන සිදු කරන පරීක්ෂණ ගැන සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණේ “ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය ආගමක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ නිදහස තියෙනවා. නමුත් කවුරුන් හෝ කෙනෙක් අනෙක් අයගේ ජීවිතයට හෝ තමාගේ ජීවිතයට හානියක් එමඟින් කරන්න උත්සාහ කරනවා නම් අපි ඒ ගැන විමසිලිමත් වෙනවා. එවැනි දෙයක් සිදුවෙනවා නම් පොලිසිය දැනුවත් කිරීම ජනතාවගේ වහකීමක්,” යනුවෙනි. කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මේ සිද්ධිය ගැන බීබීසී සිංහල වෙත මෙවන් ප්‍රකාශයක් ලබා දී තිබිණි. “බොහෝවිට මේ අය ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් විදිහට. එවැනි කණ්ඩායම්වල නායකයන්ට අනෙක් අය ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට කතා කරන්න වගේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ මානසික පීඩනයන්ගෙන් ඉන්න අයව එවැනි අය පහසුවෙන් පොළඹවා ගන්නවා. අවසානයෙ දී සිදුවෙන්නේ තමාගේ වගේම අනෙක් අයගෙත් ජීවිත නැතිවෙන එක. එවැනි සිදුවීම් තමයි ලෝකයේ විවිධ කාලවලදී සමූහ දිවිනසාගැනීම් විදිහට බොහෝවිට වාර්තා වෙන්නේ. මෙවැනි මතවාදයන්වලට ගොදුරු වුණ මුල් අදියරේ අයට අපි ප්‍රතිකාර කරලා තිබෙනවා. නමුත් කනගාටුවට කාරණය තමයි ඒවගේ දේවල් හෙළිවෙන්නෙත් මේ මෙවැනි ව්‍යයසනයක් වුණාට පස්සෙයි. මේ විදිහට අන්තවාදී දේශන මඟින් සියදිවි නසාගැනීම්වලට අනුබල දෙන අයට තිබෙන පෞරුෂත්වය අපි හඳුන්වන්නේ ‘පරපීඩා මායාකාරී පෞරුෂත්ව ලක්ෂණ (Paranoid schizoid personality) හැටියට යි. ලෝකයේ හැමතැනකම වගේ මෙවැනි අන්තවාදී අදහස් දරන කණ්ඩායම් සිටිය හැකියි. මෙවැනි සිදුවීම් දෙයාකාරයකට සිදුවෙනවා. එකක්, පුද්ගලික මනෝභාවයන් මත මෙවැනි දේට යොමුවීම. අනෙක් කාරණය, සමාජයෙන් එල්ල වන පීඩනය නිසා මෙවැනි දේට යොමු වීම. මෙවැනි දේට යොමුවෙන හෝ ගොදුරු වෙන පුද්ගලයන් බොහෝ වෙලාවට විෂාදය වගේ විවිධ මානසික රෝගවලින් පෙළෙන, සමාජයට වෛර කරන, ළමා කාලයේ දි හෝ තමාගේ ජීවිත කාලය තුළ මුහුණදුන් යම් කම්පනසහගත අත්දැකීමක් නිසා පීඩාවෙන් ඉන්න අය.”

මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මෙවන් අදහසක් පළ කර තිබිණි. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ. ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයන් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුළුව 07 දෙනකුට එහා අනුගාමිකයන් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා. බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම්වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment