රෝගවලට ඇති බිය නිසා මතුවන මානසික පීඩාවන්

258

* අපි කොයි කවුරුත් පිළිකා රෝගයට ඇත්තේ දැඩි බියකි
 
 * රෝගියාගේ  සමාන්‍ය ජීවිතයේ වෙනස්කම් නිසා ඔවුන්ගේ  මානසික පීඩානය ඉහළ යයි
 
 * ලිංගික ශක්තියට ආබාධයක් මතුවේ යැයි අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම නොකළ යුතුය


 කොවිඞ් වෛරස් රෝගය ලොව පුරා පැතිර යන්නට පටන්ගෙන මේ වනවිට වසර දෙකක් ගතවී ඇත. ඉන් මියගොස් ඇති රෝගීන් ගණන ලක්ෂ 50 ක් ඉක්මවා ඇත. ආසාදනයට ලක්වූ පිරිසප ද කෝටි 50 ඉක්මවා තිබේ. දිනපතාම ලොව කොතැනක හෝ කොවිඞ් රෝගීන් හමුවීම සහ මරණයට පත්වීම් සිදුවේ.

 මෙම තත්ත්වය නිසා ලොව බොහෝ පිරිසක් ජීවත්වන්නේ කොවිඞ් රෝගයට බියෙනි. මෙලෙස කිසියම් රෝගයකට බියෙන් ජනතාව ජීවත්වීම නිසා වෙනත් රෝග පීඩාවන් ද මතුවේ.

 වෛද්‍යතුමනි, කිසියම් රෝගයකට බියෙන් ජනතාව ජීවත්වන විට ඉන් ඔවුන් තුළ ඇතිවන මානසික පීඩාව කෙසේද?

 මහා සෘෂි නාඩි ෙෙද්‍යවරුන් පවසා ඇත්තේ රෝගයක් වැළඳීම නිසා ඇතිවන වේදනාවට වඩා රෝගයක් ඇතිවේ යැයි බියෙන් ජීවත්වීමට සිදුවීම සහ ඉන්පසු රෝගය නිසා ඇතිවිය හැකි යැයි පවසන වෙනත් රෝගාබාධ සම්බන්ධව මතුවන බිය තුළින් ජීවත්වීමේදී ඇතිවන මානසික පීඩනය ප‍්‍රබල බවය. අපි කොයි කවුරුත් පිළිකා රෝගයට ඇත්තේ දැඩි බියකි. පිළිකා රෝග සිය ගණනක් තිබුණත් ඉන් මාරාන්තික වන්නේ රෝග කිහිපයක් පමණි. නමුත් අපට කුමන වර්ගයේ හෝ පිළිකාවක් හටගත් විට එතැන් සිට ජීවත්වන්නේ දැඩි මාසික පීඩාවකිනි. මෙම මානසික පීඩාව නිසා ඇතිවන සිරුරේ ක‍්‍රියාකාරිත්වයේ වෙනස්කම්. රෝගියාගේ සමාන්‍ය ජීවිතයේ වෙනස්කම් නිසා ඔවුන්ගේ මානසික පීඩානය ඉහළ යයි.

 වර්තමානයේ පවතින කොවිඞ් වෛරස රෝගය සම්බන්ධයෙන්ද ජනතාව සිටින්නේ දැඩි බියකිනි. අපි කොයි කවුරුත් දවසේ පැය 24 පුරාම ජීවත් වන්නේ මෙම රෝගය ගැන සිතෙහි තබාගෙනය. එහිදී රෝග අවදානම දැඩිව බලපාන මැදිවියේ පුද්ගලයන් ජීවත්වන්නේ දැඩි මානසික පීඩනයකිනි. එනිසා ඔවුන්ගේ සාමාන්‍ය දිවි පෙවෙත වෙනස්වී ඇත. සැහැල්ලූ මනසකින් දවස ගතකරන්නේ නැත. මෙම තත්ත්වය නිසා වෙනදා මෙන් ආහාර පාන ගැනීමට ඇති රුචිකත්වය අඩුවේ. රාත‍්‍රියට නින්ද යෑමේදී බාධා මතුවේ. තරුණ පිරිස තුළ ද විවිධ මත නිසා කොරෝනා රෝගය ගැන සහ එය පාලනයට ලබා දෙන එන්නත ගැන ඇත්තේ බියකි. කොවිඞ් එන්නත නිසා වඳවේ යැයි මතයක් පැතිර යයි. මෙහි සත්‍ය අසත්‍ය තත්ත්වය තවම වෛද්‍ය පරීක්‍ෂාවන් මගින් තහවුරු කර නැත. එනිසාම මතුව ඇති මානසික පීඩනය ද ඉහළය. මෙම මානසික පීඩනය නිසා වෙනදා මෙන් තරුණ පිරිස අතර පවතින ක‍්‍රියාශීලී බව අඩුවී ඇති බවක් දැකිය හැකිය. මෙවැනි රෝග පීඩා සම්බන්ධයෙන් මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ කිසියම් රෝගයක් සම්බන්ධව නිවැරදි නිගමනයකට පැමිණෙන තුරු එය ගැන සමාජයේ තොරතුරු පැතිරවීම හොඳ නැති බවකි. නමුත් වර්තමානයේ පවතින තාක්ෂණයේ දියුණුව වැරදි අයුරින් භාවිතා කර නොයෙක් ලෙඩ රෝග ගැන මත පතුරුවා හරියි. මෙය වෛද්‍ය ආචාරධර්මවලට ද පටහැනිය.

 වෛද්‍යතුමනි, මෙවැනි මානසික පීඩාවන් දුරු කරන්නේ කෙසේද?

 රෝග පීඩා නිසා මතුවන මානසික පීඩාවන් දුරු කළ හැක්කේ එම රෝග පාලනය සහ එම රෝග ඇතිවූ විට මතුවන පීඩාවන් සඳහා නිවැරදි ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතා කිරීමෙනි. එනිසා සෑම පුද්ගලයෙක්ම නිවැරදි ප‍්‍රතිකාර සඳහා යොමු වනු හැර විවිධ මත ඔස්සේ ජනපි‍්‍රය කරන ප‍්‍රතිකාර සඳහා යොමු නොවිය යුතුය. ඉන් හටගන්නා පසුතැවිල්ල ද රෝගය නිසා මතුව ඇති මානසික පීඩනය දෙගුණ තෙගුණ කරයි.

 නිරෝගී පුද්ගලයකුගේ ලිංගික ශක්තිය දුර්වල වන්නට කිසියම් රෝගයක් බලපාන්නේ එය ඉතා දරුණු ලෙස හටගත් විටදී ය. මේ සඳහා බලපෑම් ඇති කරන බවට පවසන කම්මුල්ගාය, දියවැඩියාව ආදී රෝග ද ඉතා දරුණු ලෙස බලපා දීර්ඝ කාලයයක් පැවතියහොත් ලිංගික ශක්තියට බලපෑම් ඇතිවන බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන ඇත. ඒ අනුව කොවිඞ් රෝගය හමුවේ ද එසේ විය හැකි යැයි සිතිය හැකිය. එන්නත ගැනීම නිසා හෝ රෝගය සාමන්‍ය ලෙස ආසාදනය වී කිසිදු අපහසුතාවයක් නැතිව සුව වූ විට ඉන්

 ලිංගික ශක්තියට ආබාධයක් මතුවේ යැයි අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම නොකළ යුතුය. මේ අනුව නිතරම අප රෝග පීඩා සම්බන්ධව වැරදි මත තුළ නොසිට ඒවා වළක්වා ගැනීමට ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත යුතුය.

 එසේම කිසියම් රෝගයක් සඳහා ලබාදෙන ප‍්‍රතිකාර නිසි ලෙස උපදෙස්වලින් තොරව අතරමග නතර නොකළ යුතය. ඇතැම් දෙනා රෝගය සුවවීගෙන එනවිට දැන් මට රෝගය සුව වී ඇතැයි සිතා ප‍්‍රතිකාර ගැනීම නතර කරති. ඉන් සිදුවන්නේ රෝගය නිසි ලෙස සුව නොවීමය. මින් හටගන්නා අතුරු ආබාධ බරපතළ විය හැකිය.

රෝගවලට ඇති බිය නිසා මතුවන මානසික පීඩාවන්
advertistmentadvertistment
advertistmentadvertistment