ගිනිගත් නැවෙන් ධීවරයන්ට වන්දි ඉල්ලන පෙත්සම ජූලි 14 දා කැඳවයි

24

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදුවූ පාරිසරික හානිය නිසා සිය වෘත්තියට සිදුවූ හානියට රුපියල් බිලියන 372 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ගොනුකර තිබූ පෙත්සම ලබන ජූලි 14 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

එම පෙත්සම හා පෙත්සම සමග ගොනුකර ඇති පෙත්සම්කරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම් සුරංජන් ප්‍රනාන්දු හා භාණ්ඩාගාරික නොයෙල් ප්‍රනාන්දු ඇතුළු 18 දෙනකු නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් එම පෙත්සම ගොනුකර තිබිණි.

එහි වගඋත්තරකරුවන් ලෙස එම නෞකාව හිමි විදේශීය සමාගම, දේශීය නියෝජිත සමාගම, පරිසර අමාත්‍යවරයා, ධීවර ඇමැතිවරයා, වරාය කටයුතු පිළිබඳ ඇමැතිවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු 17 දෙනකු නම්කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment