සටන සහ පාවාදීම හෙළිදරව් කරන අලුත්ම නවකතාවක්

177

අනුර බී. සෙනෙවිරත්න යනු සිංහල පාඨකයාහට ආගන්තුක ලේඛකයකු නොවේ. ඔවුන් ඔහු මෙතෙක් හඳුනාගෙන සිටියේ නිර්මාණශීලී කෙටිකතාකරුවෙකු සහ කවියෙකු හැටියට ය. පරිච්ඡේද 32ක් පුරා දිවෙන ඔහුගේ ප්‍රථම දීර්ඝ නවකතාව මෑතක දී අප අතට පත්වී ය. ඒ ‘මරුබිම’ යි.

අනුර ‘මරුබිම’ සිය පාඨකයා අතට පත් කරන්නේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ පැවැති තිස් අවුරුදු යුද්ධය නිසා පරිපීඩිත වූ ජනතාවගේ අතිශය අප්‍රසන්න අත්දැකීම් සහ ඔහු ඇසූ දුටු කියවූ නොයෙකුත් සංසිද්ධීන් රාශියක් මනාව පෙළගස්වමිනි. 1984 වර්ෂයේ මැද භාගයේ පටන් වසර ගණනාවක් ඔහු සේවය කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරට අනුයුක්තව රසායනාගාර සහකාරවරයකු ලෙස ය. එහෙයින් හේ යුද්ධය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් උපයාගෙන ඇත්තෙකි.

මෙම සංවේදී කතාවට කේන්ද්‍රීය වී ඇත්තේ දෙමළ භාෂාව කතා කරන පවුලකි. පවුලේ

ගෘහමූලිකයා වන පරමනාදන් ද්‍රවිඩයකු නමුදු ඉතා හොඳින් සිංහල භාෂාව හසුරුවන සිංහල පුවත්පතකට සේවය කරන පුවත්පත් කලාවේදියෙකි. බොහෝ දේ පිළිබඳව පුළුල් දැනුමක් අවබෝධයක් මෙන් ම හැදෑරීමක් ද සහිත පුද්ගලයකු වන පරමනාදන්ගේ ප්‍රස්තුත ප්‍රයත්නය මේ අන්ධ භීෂණයෙන් තම මාතෘ භූමිය මුදා ගැනීම යි. ස්වකීය එක ම පුත්‍රයා සුරේෂ් යුද්ධය නමැති උගුලට හසුව තමාට විරුද්ධ ආකල්ප හා අදහස් ක්‍රියාවේ යොදවන තම සතුරා වෙතැයි ඔහු කිසිසේත් ම සිතන්නට නැත.

සුරේෂ්ගේ මව පාර්වතී සතුරන්ට පවා මෛත්‍රිය පුදන යහපත් මානවීය ගුණාංගයන්ගෙන් යුත් සෞම්‍ය කාන්තාවකි.

මෙම නවකතාවේ කථා නායකයා සුරේෂ් යැයි බොහෝවිට පාඨකයාට දැනෙනවා ඇත. එසේ නමුත් වරින් වර මෙහි කතා නායකයා සහ වීරයා බවට පත් වන්නේ පරමනාදන් ය. ඒ හැරුණුවිට තවත් චරිත කිහිපයක් පළින් පළ ඉස්මතු වෙමින් කැපී පෙනේ.

ග්‍රන්ථයේ මුල්භාගයේ දී රචකයා සමාජ විද්‍යාඥයකුගේ ඇසින් සමාජය දුටුව ද 13 වන පරිච්ඡේදය වනවිට ඔහු පාඨකයා 1983 සිදුවීම් අතරට ගෙනයයි. ද්‍රවිඩ මිතුරන් ඔවුන්ගේ විමුක්තිය පිළිබඳව රහස් සංවාදයන් හි යෙදෙන කල සුරේෂ් හට තම සිංහල සමාගමය ද සිහිවේ.

අවසානයේ දී දෙමළ ජනතාවගේ විමුක්තිය යන සංකල්පය තුළ අතරමං වන සුරේෂ් තම පියාගේ දර්ශනයට පිටුපා යයි. පැවති වාතාවරණය යටතේ ඔහුගේ අධ්‍යාපනය ද අතරමඟ නතර වන අතර ඔහු උරහිස මත රැඳවූ ගිනිඅවියක් සහිත නිල ඇඳුමකට මාරුවේ. හේ ද්‍රවිඩ ජාතික හමුදාවේ සොල්දාදුවෙකු බවට පත්වේ.

ඔහුගේ මවුපියන් නිරන්තරව ම පසු වූයේ තම එක ම දරුවාගේ යථාතත්ත්වය පිළිබඳ අවදානම් සහගත සිතිවිලි සහිතව ය. ඔහු සැබැවින් ම බරපතළ අනතුරකට මුහුණ දෙන්නේ මේ අතරතුර දී ය. වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන සුරේෂ් හදිසියේ රෝහල් ගත කෙරේ. එහි දී සාවිත්‍රී නම් හෙදියක ඔහුට උපකාර කරන්නට ඉදිරිපත් වේ. ඒ හෙදකමට සුවිශේෂ හේතුවක් ද තිබිණි. ඒ පාසල් වියේදී ඇය ඔහු පිළිබඳව ප්‍රේමණීය හැඟීමක් ඇතිකර ගෙන සිටීම ය.

මේ අසිරිමත් මුණගැසීම මිහිරි යටගියාව වෙතට ඔවුන් ආපසු කැඳවාගෙන ගිය ද සුරේෂ්ගේ දේශපාලනික සබඳතා ඇය අනුමත නොකළා ය. සුරේෂ්ගේ මව සහ පියා සේ ම ඇය ද ඒවා නොරිස්සුවා ය. අවසන ඒ හේතුව යටතේ ම දෙදෙනා දෙපසට වෙන්ව ගිය හ.

සුරේෂ් රෝහලෙන් නිවසට පැමිණි පසුව ද සාවිත්‍රී නිතර ඔහුගේ දුක සැප විමසා බැලුවා ය. ඇය ඔහුගේ නිවසට පැමිණි එවන් විටෙක දී සුරේෂ්ගේ ආකාරුණික වදනකින් පෑරුණු සිතින් නික්ම යන ඇය ඔහුට යළි මුණගැසෙන්නේ ඉන් බොහෝ කලකට පසුව ය. ඒ වනවිට ඇය විවාහ වී සිටියා ය.

1987.88 කාලසීමාවේ දී සිදුවූ විවිධාකාර වූ සමාජ ඝට්ටන හා හැලහැප්පීම් අතරේ සුරේෂ් හට ද තවත් අප්‍රසන්න සිදුවීම් දාමයකට මුහුණ දෙන්නට සිදුවේ. විමලන් නමැති පැරැණි පාසල් මිත්‍රයෙකු අහම්බයකින් ඔහුට මුණගැසෙන්නේ ඒ කාල සීමාවේ දී ය. ඒ අහඹු හමුවීම සුරේෂ්ගේ ජීවිතය තවත් අනපේක්ෂිත සන්ධිස්ථානයකට රැගෙන යයි. කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන විමලන් ඉතා සැලසුම් සහගතව ඔහු තවත් කොටි සාමාජිකයකු බවට පත් කරයි. එතැන් පටන් සුරේෂ්ගේ ජීවිතය පෙරටත් වඩා අතිශය සංකීර්ණ, සංකූලතා බහුල අනතුරුදායක තත්ත්වයකට ඇද වැටේ. මෙහි දී සංවිධානයට බද්ධ වී ඇති ත්‍රස්තවාදය ඔහු උපායශීලීව හඳුනා ගනී.

ඔහුට එහි දී දිගින් දිගට ම අත්දකින්නට සිදු වන්නේ අන්ත අසාධාරණ සහ බිහිසුණු ශෝචනීය සිදුවීම් දාමයකි. එහි උච්චස්ථානය වෙන්නේ සුරේෂ් යනු සිංහල පුවත්පතක සේවය කරන පරමනාදන් නමැති දමිළ පුද්ගලයාගේ පුත්‍රයා බව කොටි සංවිධානය එළිදරව් කර ගැනීම ය. දීර්ඝ කාලයක සිට ඔහු සිංහල මෙන් ම ද්‍රවිඩ භාෂාවෙන් ද සිය පෑන මෙහෙයවමින් සිටින්නේ කොටි සංවිධානයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන්ට විරුද්ධව ය.

සුරේෂ්ගේ ජීවන චාරිකාවේ සංක්‍රාන්තිය නිර්මාණය වන්නේ එතැන් පටන් ය. ඒ අනුව අනපේක්ෂිත ලෙස කොටි සංවිධානය විසින් සුරේෂ් සිය නිවසට යවනු ලබන්නේ ඔහුගේ ම පියා ඝාතනය කරන්නට ය.

මෙම ග්‍රන්ථයේ 31 සහ 32 යන පරිච්ඡේද තුළින් අපට විශිෂ්ටතම ලේඛකයකු මුණගැසේ. සුරේෂ් ඔහුගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට නිවසට පැමිණීම රචකයා එහි දී ඉතා සුසංවේදී ලෙස නිර්මාණය කර තිබේ. ඒ වනවිට සුරේෂ්ගේ මවුපියන් සිටින්නේ තම පුත්‍රයා පිළිබඳව ප්‍රකම්පිතව ය. කෙසේවුව ද පිය පුතු දෙපළ ම අවසාන විසඳුම ලෙස දකින්නේ සුරේෂ්ගේ ගෙල පැලඳි ‘සයිනයිඩ් කැප්සියුලය’ යි.

පරමනාදන් යනු ඉතා සංවේදී ලෙස කටයුතු කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පියාණන් කෙනෙකි. එහෙත් මරණයේ අන්ධකාරය කරා තමා ළඟා වෙමින් සිටින බවක් ඔහුට ඉවකින් මෙන් දැනේ. ඉන් අනතුරුව උදාවන අවස්ථා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අවාසනාවන්ත ය. අති සංවේදී ය.

එවැනි අවස්ථා දෙකක් මම මීට පෙර ලෝක සාහිත්‍යයේ කියවා ඇත්තෙමි. ඒ මැක්සිම් ගෝර්කිගේ ‘ඔයැ ඵදඑයැර‘ (අම්මා) සහ අර්නස්ට් හෙමිංවේගේ ත්‍්රුඇකක එද ්රපි (ගිනි අවියට සමුදීම) යන ග්‍රන්ථවල ය.

සමහරවිට මෙම නවකතාව ජාතික සීමාවන් මඟහැර මානව කොට්ඨාස කිහිපයක පමණක් සමාජ දේශපාලනික තත්ත්වය සලකා බලා ඇති නවකතාවක් යැයි ඇතැම් විචාරශීලී පාඨකයකුට සිතෙන්නට ද පුළුවන.

(Daily News පුවත්පතට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ලියූ Betrayal and battle unveiled in touching war story නම් විචාර ලිපියේ සිංහල පරිවර්තනය)

පරිවර්තනය : සුනිලා විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment