සිද්ධාර්යුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පුරෝගාමියා වික්‍රමාරච්චි ගුරු පියාණෝ

206

1889 සැප්තැම්බර් මස සියනෑ කෝරළයේ නැදුන්ගමුවේ වෙදැදුරු වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි පියාණන්ට දාව දෝන සාරනෝනා ධර්මවතී මෑණියන්ගේ කුසින් සය දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ලෙස උපත ලබන අප ගුරුදේවෝත්තම ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගේබි්‍රයල් පෙරේරා වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ මානව හිතවාදී ගුණය මෙසේ වචනයට පෙරළීමට නොහැකි තරමටම අතිමහත්ය. බොහෝදෙනා එතුමන් ඇමතුවේ පණ්ඩිත රාළහාමි යන නමින් හෝ පණ්ඩිතරත්න රාළහාමි යන නමිනි.

සිද්ධායුර්වේද ගුරු කුලයේ නිර්මාතෘවරයාණන් වන එතුමා තුළ පැවැති විශාරදත්වය, උගත්කම, නැණවත්කම, පාණ්ඩිත්වයෙන් ද, ප්‍රඥාවෙන්ද ක්‍රියා කෞෂල්‍යයෙන් ද, අවංකභාවයෙන් ද වෛද්‍ය කර්මයේ දැක්වූ නිපුණභාවය ද අතිමහත්ය. සහස්‍ර සංඛ්‍යාත ගෝල පිරිසක් සිද්ධායුර්වේද විද්‍යාලය තුළින් බිහිකළ ඒ මහා පඬිවරයාණෝ ආත්ම ශික්ෂණයෙන් හා දැනුමෙන් සපිරි ගෝල පිරිසක් රටට දායාද කරමින් රටේ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට මහඟු දායකත්වයක් දැක්විය.

දැන් වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය නමින් පවතින එවකට එතුමා අතින් බිහිවුණු සිද්ධායුර්වේද විද්‍යාලය 1929 ජූලි මස 19 වන දින ආරම්භ කළ දා එතුමාගේ උදාන වාක්‍යය වී ඇත්තේ මා විසින් දල්වන ලද මෙම ප්‍රදීපයේ ආලෝකයෙන් මෙම කුඩා ශාලාව තුළ අඳුර පහවී ආලෝකවත් වන්නාක් මෙන්ම මෙම විද්‍යාලය මගින් පතුරුවා හරිනු ලබන ශාස්ත්‍රාලෝකයෙන් මුළු දිවයිනම ඒකාලෝක වේවායි මම ප්‍රාර්ථනා කරමි යනුවෙනි. එතුමාගේ එම උත්තම අදහස සඵල කරමින් අද වනවිට දිවයිනේ සෑම නගරයකම “ගම්පහ” යන නාමයට නව අර්ථකථනයක් දෙමින් “ ගම්පහ සිද්ධායුර්වේද ඖෂධාලය” යන නමින් ඇති බෙහෙත් ශාලා පිහිටුවා එතුමාගේ ගෝල පිරිස රටේ ජනතාව රෝග බියෙන් බේරා ගැනීමේ මහඟු කාර්යයේ නියැළෙමින් සිටී.

ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය සම්ප්‍රදායේ නිර්මාතෘ වන ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී. පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් තමන් යටතේ අධ්‍යාපනය හදාරා ආයුර්වේද වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් බිහිකර රෝගීන් සුවපත් කිරීම සඳහා අමිල සේවයක් සිදු කරන ලද අතර, එම වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය කරන සියලු ඖෂධ නිපදවීම සඳහා 1931 ඔක්තෝබර් මස 15 වන දින ශිෂ්‍යයන්ගේ ඖෂධ සංස්කරණ විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සඳහා ආරම්භ කරන ලද යක්කල පිහිටි ගම්පහ රසායනෞෂධ සමාගම බිහිකරන ලදී. දැනට ලංකාවේ අංක එකේ දේශීය ඖෂධ නිෂ්පාදනාගාරය වශයෙන් සැලකෙන එම ආයතනය ගුණාත්මක අතින් උසස් නිෂ්පාදන නිපදවන බව දේශීය වෛද්‍යවරුන් අතර ප්‍රචලිතය.

මෙරට කිසිවකුට නොදෙවෙනි මිල කළ නොහැකි සේවාවක් රට ජාතිය වෙනුවෙන් ඉටුකරන ලද ජී. පී. වික්‍රමාරච්චි මහෝදයාණන්ට එතුමාගේ සියලු සත්ක්‍රියාවන් තුළින් රෝගීන් සුවපත් කිරීමේ පුණ්‍යකර්මය නිසා ජනිත වන සියලු පින් එතුමාගේ සසර ගමන නිමා කිරීමට හේතුවාසනා වේවායි එතුමාගේ සත්ක්‍රියාව නිසා බොහෝ ඵල ප්‍රයෝජන ලබන සියලු දෙනාගේ ප්‍රාර්ථනාව වන්නේය.

ආයුර්වේද විශාරද පණ්ඩිත
වෛද්‍ය චමරි වෛද්‍යරත්න

advertistmentadvertistment
advertistmentadvertistment