අජන්තා සුවිශේෂී නොවන්නේ කුමන ගීතය තුළද?

349

මෙරට බිහිවූ විශිෂ්ටතම ගී පද රචකයන්ගේ නාමාවලිය තුළ ආචාර්ය අජන්තා රණසිංහ සුවිශේෂී ගීත රචකයකු වන්නේ කුමන කාරණය මතද? යනුවෙන් යමෙක් ප්‍රශ්න කර සිටීනම් ඊට ලබාදිය හැකි පිළිතුරු බොහෝය. එම පිළිතුරු සැපයීම මදකට පමාකොට පෙරළා එම ප්‍රශ්නය ඇසූ තැනැත්තාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ද නැගිය හැක. එනම් අජන්තා සුවිශේෂී නොවන්නේ ඔහු විසින් රචිත කුමන ගීතය තුළද? යනුවෙන්ය. අජන්තා රණසිංහයන්ගේ ගීත රචනා කලාව අරභයා එවැනි ප්‍රශ්න කිරීමක් සිදුකිරීමට ද සිංහල ගීතයට ලැදි ඕනෑම සමාජ තරාතිරමක් දරන මෙරට ජනතාව සතු ශුද්ධ වූ අයිතියක්ය. මන්දයත් අජන්තාවන් විසින් විරචිත දහස් ගණනක් ගීත අතර මෙරට සෑම සමාජ පන්තියක්ම ස්පර්ශ කරන ලද ගීතයක් නොවේනම් එය අජන්තා රණසිංහයන්ගේ අඩුපාඩුවක් නොව ඔහුගේ ගීතය පිළිබඳ අසංවේදී බව හේතුවෙන් යැයි ඔහුට ලැදි අපට සෑහීමකට පත්විය හැක.

අජන්තා රණසිංහ විසින් රචිත සුවිශේෂී ගී නිර්මාණ 100 ක් පමණ ඇතුළත් “රුවන්වලා විමනේ” ගීත කෘතිය මුල්වරට මෙරට පාඨකයන් අතට පත්වන්නේ 2022 වර්ෂයේ දෙසැම්බර් මස එකතරා දිනකය. අජන්තා රණසිංහ පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද එම ගීත කෘතිය ප්‍රවීණ ගීත නිබන්ධක සුනිල් සරත් පෙරේරා, ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග සහ එම ග්‍රන්ථය සංස්කරණය කරන ලද සමුද්‍ර වෙත්තසිංහ යන වියතුන්ගේ පෙරවදන් තුනක් සහිතව කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දරයන්ගේ පසුවදනකින්ද සමන්විතය. එම කෘතිය තුළ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ සිට අමිලා නදීශානි, සුරේන්ද්‍ර පෙරේරා වැනි අද දවසේ ගායක ගායිකාවන් දක්වා ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද ගීත ඇතුළත්ය.

එම ගීත සඳහා සංගීතයෙන් දායකවූවන් අතර ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිට ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් පෙරේරා දක්වා වූ නාමාවලියක් දැකගත හැක. එම කෘතියේ වූ තවත් විශේෂත්වයක් නම් එහි අන්තර්ගත සෑම ගීතයක්ම මෙතෙක් අජන්තාවන්ගේ කිසිදු ගීත එකතුවක ඇතුළත් නොවූ නිර්මාණයන් සමූහයක් වීමය.

ජනාධිපති . සරසවි සම්මානලාභී අභාවප්‍රාප්ත ප්‍රවීන ගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහ විසින් 2007 වසරේ විශිෂ්ටතම ගීත රචනය හා ගායනය වෙනුවෙන් සුමති ටෙලි සම්මානය දිනාගත් “පන්දම් එළි වැටට උඩින්” ගීතයද ඇතුළත් “රුවන් වලා විමානේ” කෘතිය පිළිබඳ අදහස් පළ කළ බොහෝ දෙනෙක් සඳහන් කර සිටියේ වසර කීපයක් ප්‍රමාදව හෝ අජන්තා රණසිංහ පදනම විසින් එවැනි කෘතියක් එළිදැක්වීම පිණිස ගත් තීරණය වනාහී ආචාර්ය අජන්තා රණසිංහයන් වෙනුවෙන් සිදුකළ යුතුම යුතුකමක් වශයෙනි.

එවැනි වටිනාකමක් සහිත බොහෝ දෙනෙකුගේ බුහුමනට ලක්වූ “රුවන් වලා විමානේ” කෘතිය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන අතර ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් තුළ ඒ පිළිබඳ ඇත්තේ විමතියකි. එම කතාබහ සහ විමතිය පිණිස නිමිත්ත සපයනු ලබන්නේ නොබෝදා නිමාවට පත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල විසිනි. සාහිත්‍ය ලැදි බොහෝ දෙනෙක් දන්නා පරිදි 2022 වර්ෂයේ නිකුත්කරන ලද එසේම රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද කෘතීන් පිණිස ඒ ඒ ක්‍ෂේත්‍ර නියෝනජය වන පරිදි සම්මාන ප්‍රදානය සලකා බැලීම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරනු ලබන අතර උක්ත කර්ත්‍යවය සඳහා එකී විනිශ්චය මණ්ඩලය වෙත සාහිත්‍ය කෘතීන් ඉදිරිපත් කරනු ලබන්නේ සාහිත්‍ය අනුමණ්ඩලය විසිනි. එවැනි වටපිටාවක් තුළ මෙතෙක් කල් පැවැති ක්‍රියාවලිය වෙනස් කරමින් මෙවර සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවයේදී වර්ෂයේ විශිෂ්ටතම ගීත රචනා එකතුව වෙනුවෙන් සම්මානයක් ප්‍රදානය නොකිරීම ඉහත සඳහන් කතාබහ පිණිසත් විමතිය සඳහාත් නිමිත්ත සපයන ලදී. සම්මාන ප්‍රදානයක් නොව ගීත රචනා කෘතිය පිළිබඳව එක වචනයක් සදඟන් නොකිරීම තුළ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳ දෙනෙක් තුළ ඇතිකරන ලද්දේ සංශයක් පමණි.

අනගි මිණිමුවෙන් ගී නිර්මාණ 100 කින් සංගෘහිත මෙවැනි කෘතියක් මෙරට ප්‍රධානතම සම්මාන උළෙලකදී නිර්දේශිත කෘතීන් අතරට පවා නොපැමිණියේ මන්ද? සැබැවින්ම එය සාර්ථක කෘතියක් නොවේද? එසේනම් එම කෘතිය අසාර්ථක එකක් බවට පත්වන්නේ කුමන සාධක මතද?

එසේත් නැත්නම් සුවිසල් ප්‍රතිභාවකින් යුත් මෙම ගීත කෘතිය රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය නොදුටුවේද? එය නොදැනුවත් කම හේතුවෙන් සිදුවූ අතපසුවීමක්ද? නොඑසේනම් එය සිතාමතා සිදුකළ අතපසු කිරීමක්ද?

ඉහත සඳහන් ගැටලු නිරාකරණ කරගත හැකි වන්නේ “රුවන්වලා විමානේ” කෘතිය පිළිබඳ සිදුකරන පුළුල් කථිකාවක් තුළින්ය. එහි එක් පාර්ශ්වයක් නියෝජනය කරමින් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය කරලියට පැමිණිය යුතුය. ඒ තුළ අජන්තා රණසිංහයන්ගේ ඕනෑම නිර්මාණයක් පිළිබඳව වෙන වෙනම කතාබහ කිරීමට වුවද බොහෝ දෙනෙක් මේ වනවිට ද සූදානම්ය. එම සූදානම තුළ පවතින්නේ අජන්තා රණසිංහ නම් සුවිශේෂී ගේය පද රචකයා විසින් ඉතිරිය පිණිස තබා ගීය ගීතය හා පවතින ආත්මීය බැඳීමකි. අජන්තා රණසිංහයන්ගේ නිර්මාණ ඉතිහාසයේ පිරික්සීමේදී පවා මතුපිටට පැමිණෙන ප්‍රධාන කරුණ නම් ඔහුගේ නිර්මාණ සඳහා නියම තක්සේරුවක් ඉතිහාසය තුළ ද සිදුනොවී ඇති බවකි. සම්මාන හිමිවීම නොවීම පසෙකින් තැබූ ඔහු විසින් සිංහල ගීතය හරිමඟට ගැනීම පිණිස දරන ලද ප්‍රයත්නය මෙරට ගීත ක්‍ෂේත්‍රය තුළ ද රසික පර්ශදයන් තුළ ද හෙට ද නොනැසී පවතින බව සත්‍යයකි. ඒ කෙසේ වෙතත් සාධාරණත්වය වෙනුවට නිර්මාණාත්මක මුග්ධභාවය ඇස් පනාපිට දර්ශනය වේ නම් වගකිවයුත්තන්ගේ අවධානය ඒ සඳහා යොමු කිරීම ආචාර්ය අජන්තා රණසිංහයන්ට ඇලුම් කළ, ඇලුම් කරන සද්ජනයින්ගේ යුතුකමක් කොට සලකමි.

● තේමිය පොල්ගම්පල

advertistmentadvertistment
advertistmentadvertistment