විපක්‍ෂයේ ‘ගල් මුල්’ මැද බංකොලොත් සොයන සභාපති පුටුව සාගරට

146

රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන්නැයි විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) දැඩිව ඉල්ලා සිටින ලදී.

මෙම කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු පත් කළහොත් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැන්නක් බවත් එබැවින් රට බංකොලොත් වීමට හේතු සෙවීමට විපක්ෂයට සභාපති ධුරය අවශ්‍ය බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. එහිදී අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ රට බංකොලොත් වීමට දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරුන් වගකිවයුතු බවය.

කෙසේ වෙතත් 2019 ජනාධිපතිවරණයෙන් පසුව ඉතා විශාල බදු සහනයක් ලබා දීමට ක්‍රියා කළ වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු රට බංකොලොත් වීමේ කාරක සභාවේ සභාපති ධුරය දරන්නේ නම් එය විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කී අතර එබැවින් රට බංකොලොත් වීමට ප්‍රධානම හේතුවක් වූ බදු සහන ලබා දීමට අත නොඉස්සූ පාර්ශ්වයෙන් අයකු පත් කරන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.

එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඊට එකහෙලාම විරුද්ධත්වය පළ කළහ. ඒ අනුව රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරුන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment