මරණය සැකයි – පෙම්වතා අත්අඩංගුවට ගනු! තරුණියගේ දේහය රක්වාන පාරේ තබාගෙන ගම්මු උද්ඝෝෂණයේ

828

පෙම්වතා සමග රක්වාන මාදම්පේ හෝටලයකට ගොස් සිටියදී අභිරහස් ලෙස මරුමුවට පත්වූ 22 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධව රක්වාන පොලිසිය සාධාරණ පරීක්ෂණයක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගත යුතු බව පවසමින් ඇයගේ දේහය රක්වාන දෙනියාය මාර්ගයේ පුංචිබාර්වත්ත ප්‍රදේශයේ තබා ගෙන ප්‍රදේශවාසීහු ඊයේ (06 දා) පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.

මෙම තරුණියගේ අවසන් කටයුතු සිදු කිරීමට රක්වාන පුංචිබාර්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ආගමික චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු දේහය රැගෙන යද්දී ප්‍රදේශවාසීන් සහ නෑදෑයන් විසින් මෙම උද්ඝෝෂණය පස්වරුවේ ආරම්භ කරනු ලැබීය. ක්‍රිෂ්නන් ප්‍රදීපා නම් මෙම තරුණිය රක්වාන මාදම්පේ ලැගුම්හලකදී මරුමුවට පත්වූ බව පොලිසිය පවසයි. ඇයගේ පෙම්වතා සමග ඇය රක්වාන මාදම්පේ හෝටලයක නවාතැන් ගෙන තිබුණි.

මෙම තරුණියගේ මරණය සැකසහිත බවත් පොලිසිය නිසියාකාරව පරීක්ෂණ නොකරන බවත් උද්ඝෝෂකයෝ පැවසූහ. ඊයේ පස්වරුවේ පැයකට වැඩි කාලයක් දේහය පාර මැද තබාගෙන ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කළහ. ප්‍රදේශයේ සුළු වරදකට වුවද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන පොලිසිය මෙම සිද්ධිය ගැන නිහඬ බව ගම්වාසීහු පැවසූහ. මෙම මරණය ගැන මීට වඩා පරීක්ෂණ සිදු කළයුතු වුවත් රක්වාන පොලිසිය සැකකරුගේ ප්‍රකාශ සත්‍ය බව විශ්වාස කරමින් කටයුතු කරන බවත් එය සැකසහිත බවත් මේ නිසා සාධාරණ පරීක්ෂණ සිදු කළ යුතු බවත් උද්ඝෝෂකයෝ පැවසූහ. මෙම අවස්ථාවේදී රක්වාන පොලිසියේ නිලධාරීන් පැමිණ සඳහන් කළේ අධිකරණ වෛද්‍ය වාර්තා අනුව පරීක්ෂණ සිදු වෙන බවයි.

පෙම්වතාගෙන් ප්‍රකාශ ලබාගත් බව ද වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල නිගමන එනතෙක් සැකකරුවකු අත්අඩංගුවට ගත නොහැකි යැයි ද පොලිසිය මෙහිදී පැවසීය.

කහවත්ත – සමරවීර නිරෝෂණ පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment