සිංහබාහු මගේ ජීවිතයේ ලොකු වෙනසක් කළා
කොස්ටියුම්වලට හොඳම කමෙන්ට් එක දුන්නෙ ජැක්සන් මහත්මයා
අලුත් මුහුණුවලට කකුල් මාට්ටු දාන අය වැඩියි
අපි චිත්‍රපටයක් බැලුවාම හැමදාම කතාකරන්නෙ නළු නිළියන්, අධ්‍යක්‍ෂ, නිෂ්පාදක වගේ ප්‍රධාන චරිත ගැන. නමුත් නිර්මාණයක් තුළ ඊට වඩා කතා කරන්න බොහෝ දේවල් තියෙනව. කැමරා අධ්‍යක්‍ෂණය, කලා අධ්‍යක්‍ෂණය, ඇඳුම් නිර්මාණය වගේ තවත් බොහෝ දේවල්, මේ දවස්වල වැඩි දෙනෙක් කතාබහ වෙන සිනමා නිර්මාණයක් තමයි සිංහබාහු. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ සිංහබාහු වේදිකා නාට්‍ය අලුත්ම කියවීමකින් සෝමරත්න දිසානායක විසින් තිරයට ගේනවා. මෙතැනදි අභියෝගාත්මකම දේ වෙන්නෙ රංග වස්ත්‍ර නිර්මාණය. ඒක තිරයේ දකින තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. සෝමරත්න දිසානායක මේ දැවැන්ත කාර්යය භාර දෙන්නෙ උපාධියකුත් අරගෙන ඇඳුම් නිර්මාණකරණයේ යෙදෙන නවක තරුණියකට. සාමාන්‍යයෙන් උපාධියක් ගත්ත කෙනෙක් බලන්නෙ සාමාන්‍ය රස්සාවක් කරන්න. නමුත් ඇය ඊට වඩා වෙනස් විදියට හිතල ජීවිතේ ලොකු අභියෝගයක් ජයගන්න උත්සාහ කරනව. ඈත පිටිසර ගමක ඉඳන් ඇවිල්ලා කොළොම් තොට මොන තරම් විලාසිතා තිබුණත් ඒවාට අභියෝග කරල ඇය වෙනස්ම විලාසිතා රටා මවනව. ඒ හින්දමයි මේ අභියෝගය ඇයට භාර දෙන්නෙ. මෑත කාලයේ ඇය මේරියන්ස්ලාගේ තිස්පස්වන සංවත්සරයටත් ඇඳුම් නිර්මාණය කළා. අපි ඇයත් සමග කළ කතාබහේදි දැනගත්ත එක කාරණයක් තමයි ඒ. තව බොහෝ දේ ඒ කතාබහේදි ඇය අපිට කිව්වා. නමින් රමේෂා ඕෂිණී වන ඇය ඇඳුම් නිර්මාණකරණයේ අභියෝගය ජයගත් කතාවයි මේ.
රමේෂා, ඔබේ ඇඳුම් නිර්මාණයෙන් හැඩවෙන ‘සිංහබාහු’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම තවමත් සිනමා ක්‍ෂේත්‍රයට අලුත්. චිත්‍රපට දෙකකට පමණයි ඇඳුම් නිර්මාණයෙන් දායක වෙලා තියෙන්නෙ. ඒ නමුත් සිංහබාහු චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි.
ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
ඒක වෙන්නෙ මෙහෙමයි, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහත්මයා ලෙදර්වලින් ඇඳුම් කරන කෙනෙක්ව හොයල තියෙනව. මොකද ලෙදර්වලින් ඇඳුම් කරන අය ටිකක් අඩුයි. මේ අතර තමයි ජානක ප්‍රසාද් මහත්මයා විසින් සෝමරත්න මහත්මයාට මාව හඳුන්වා දෙන්නෙ. ඉන් පස්සෙ දවසක සෝමරත්න මහත්මයා මගේ වර්ක් ෂොප් එකට එනව. එතනදි එතුමා මම කළ වැඩ දැකල බොහොම සතුටු වෙනව. ඒ විදිහට තමයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ.
මේ අභියෝගයට කොහොමද මුහුණ දුන්නෙ?
ඇත්තටම අභියෝගයකට වඩා මේක මට ලොකු පුදුමයක්. මොකද මම චිත්‍රපට බොහොමයක වැඩකරල අත්දැකීම් තියෙන කෙනෙක් නෙමෙයි. එතුමා මාව සම්බන්ධකරගන්න බව කීවම මට ඇතිවුණේ ලොකු පුදුමයක්. ඒ වගේම පුංචි බයකුත් දැනුණා මට මේ අභියෝගය භාරගන්න පුළුවන් වෙයිද කියල. කොහොම හරි වැඩපටන්ගන්න කලින් එතුමා එක්ක කතාකරද්දි මට දැනුණා බොහොම සුහදශීලී කෙනෙක් කියල. ඒ වගේම මට පීඩනයක් නැතිව වැඩකරන්න එතුමාගෙන් නිදහස ලැබුණා වගේම මම නොදන්නා දේවල් බොහොම පැහැදිලිව කියල දුන්නා.
කොහොමද මේ ඇඳුම් නිර්මාණය වුණේ?
සිංහබාහු චිත්‍රපටයේ ගොඩක් ඇඳුම් නිර්මාණය වුණේ ලෙදර් වලින්. ඒ වගේම ෆයිබර්, මැටි, තඹ වගේ දේවල් පවා යොදා ගන්න සිද්ධ වුණා. ඔරිජිනල් පික්චර් එක ගන්න ඕන නිසා ඇතැම් වෙලාවට නියම ඇටකටු පවා යොදාගන්න සිද්ධ වුණා. මේ සමහර දේවල් පළමු වතාවට තමයි මම පාවිච්චි කළේ. චිත්‍රපටයේ වැඩකටයුතු සිදුවෙන කාලෙදි මාත් එක්ක ලොකු කණ්ඩායමක් වැඩ කළා.
මේ නිර්මාණය වෙන්නෙ ඓතිහාසික ඇඳුම්. හොහොමද වර්තමානයට ගළපා ගත්තෙ?
මෙතනදි මට විශේෂයෙන්ම වුවමනා වුණේ අපේ රටේ ඉතිහාස කතාවකට මෙතෙක් නිර්මාණය නොවුණ ඇඳුම් නිර්මාණය කරන්න. ඒක සෝමරත්න මහත්මයාගේ කතාවේ තියෙන චිත්‍රයට අනුව ගළපන්න සිදුවුණ තැනදි අපි මේ ගැන බොහෝ දුරට කතා කළා. මෙතැනදි රේණුකා බාලසූරිය මහත්මියව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඇයත් පුදුම විදිහට මට සහයෝගය ලබාදුන්නා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්මයාත් එතුමාගේ දැනුම, අත්දැකීම් බෙදාහදාගත්තා. අපි කොහොම මේ ඇඳුම් සූදානම් කළත් රූගතකිරීම්දී ප්‍රායෝගිකව තියෙන්න ඕනනේ. එතනදි ජැක්සන් ඇන්තනී මහත්මයා ඉතිහාසය සමග වර්තමානය ගළපා ගන්නා ආකාරය ගැන බොහෝ උපදෙස් ලබා දුන්නා. අවසානයේ මේ සියලු අදහස් විමසා බලා මගේ හැකියාව නිර්මාණශීලීව එළිදැක්වූවා.
මේ සඳහා කොපමණ කාලයක් ගියාද?
ඇත්තටම ඇඳුම් නිර්මාණය ගැන නිසි අදහසක් ගන්න අපි මාස දෙකක් විතර අධ්‍යයනය කළා. මේ ආභරණවල පබළු ඇට ගැන පවා අපි බොහොම සැලකිලිමත් වුණා. අපි භාවිත කළ සමහර මොඩර්න් ටෙක්නික් බොහෝ රජ කතාවල දකින්න නොලැබුණ ඒවා. ඒවා කතාබහට ලක්වෙන්න පුළුවන්, මෙහෙම ඒවාත් තිබුණාද කියල. නමුත් අපිට ඒ දේවල් ඇතුළත් කරන් පුළුවන් තරමේ හොඳ ඉතිහාසයක් මේ කතාවට තිබුණා.
රූගතකිරීම් අවසානයේ නිෂ්පාදිකාව සහ අධ්‍යක්‍ෂවරයාගෙන් ඔබට ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?
රූගතකිරීම් කරන අතරතුර කිසිම අඩුපාඩුවක් නොවෙන්න මට ඒ වැඩ ටික කරගන්න පුළුවන් වුණේ රේණුකා බාලසූරිය මහත්මිය නිසා. ඇය මට පුදුම සහයෝගයක් ලබාදුන්නෙ. ඒ දේ එහෙම නොවුණානම් හොඳයි කියල ඇය කිව්ව සමහර දේවල් තිරයේදි මම හරි ලස්සනට දැක්කා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කළේ ඔස්ටේ්‍රලියාවේදී. දර්ශන වාරය අවසානයේදී ඔවුන් දෙපළ මමත් ඇතුළුව අපේ කණ්ඩායමටම කතා කළා. හරිම ලස්සනට අපේ වැඩේ තිබුණා කියල බොහොම සතුටින් තමයි කතා කළේ.
රමේෂා ඇඳුම් නිර්මාණකරණයට යොමු වුණ තැනට ආපසු ගියොත්?
ඇත්තටම මම ඇඳුම් නිර්මාණකරණයට යොමු වුණේ අහම්බෙන්. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ තමයි ෆැෂන් ඩිසයින් ගැන දැනගත්තෙ සහ ඉගෙනගත්තෙ. එහිදී මට අහම්බයෙන් වගේ ෆැෂන් ඉවෙන්ට් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතනදි මම ඕවර්රෝල් විනර් වෙනව. ඒ මොහොතෙන් පසුව තමයි ෆැෂන් ඩිසයිනින් ගැන මම උනන්දු වෙන්නෙ.
සිංහබාහු චිත්‍රපටයෙන් පසුව ඔබ කාර්යබහුල වුණා?
සිංහබාහු චිත්‍රපටය තිරගතවීමත් එක්ක මට වෙනදාට වඩා ගොඩක් වැඩ ලැබෙන්න පටන්ගත්තා. ඇත්තටම සිංහබාහු මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා.
මේරියන් සංගීත කණ්ඩායමේ තිස් පස්වැනි සංවත්සරය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කළේ ඔබ?
ඔව්, මේරියන්ස් සංගීත කණ්ඩායමේ සංවත්සරය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. නලින් පෙරේරා කියන්නෙ මම බොහොම කැමති කෙනෙක්. ඒවගේම මම බොහොම ආසාවෙන් කරපු නිර්මාණයක් තමයි ඒ. මේ වන විටත් ඔවුන්ගේ තවත් ඇඳුම් කිහිපයක් මගේ අතින් නිර්මාණය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ විශේෂ අවස්ථාවන්වලදී අනිවාර්යයෙන් මට කතාකරනව.
මේකත් ඔබට සුවිශේෂී දෙයක්?
සංගීත කණ්ඩායමකට ඇඳුම් නිර්මාණය කිරීම මම ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. නමුත් මුල්ම අවස්ථාව මේරියන් වගේ කණ්ඩායමකින් ලැබෙයි කියල මම කොහොමටවත් හිතුවෙ නැහැ. නලින් අයියාගෙ බිරිඳවත් මම මතක් කරන්නම ඕනා. මොකද ඇය මං එක්ක කතාකරමින් බොහොම සුහදශීලීව ඇයගේ අදහස් බෙදාහදා ගන්නවා වගේම මගේ නිර්මාණ බොහොම අගය කරනවා.
අපේ රටේ ජනප්‍රිය නළු නිළියන්ටත් ඔබ ඇඳුම් නිර්මාණය කරනවා?
ඔව්, ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් බොහෝ දෙනකුට මම ඇඳුම් නිර්මාණය කරල තියෙනවා. ඒවා ටිකක් මිල අධිකයි. නමුත් පිරිසක් පුරුදු වෙලා ඉන්නවා මගේ ඇඳුම් නිර්මාණවලට.
රැෆෙල්ලාගේ කැලැන්ඩර් ෂූට් එක නිසා රමේෂාට මොන වගේ අවස්ථාවන්ද උදා වුණේ?
ඔව්, ඇත්තටම රැෆෙල්ලාව මතක් නොකරම බැහැ. මොකද ඇයගේ කැලැන්ඩර් ෂූට් එකට මම නිර්මාණය කළ ඇඳුම් නිසා ඒ ඩිසයින්වලට කැමති ගොඩක් අය අතරට මට යන්න පුළුවන් වුණා. ඒ වගේම ඩිසයින් වෙයාර් කරන ආටිස්ලා අතරටත් මට යන්න පුළුවන් වුණේ රැෆෙල්ලාගේ කැලැන්ඩර් එක නිසා. ඒ අතර නදීශා හේමමාලි, ශලනි තාරකා, රවීන් කනිෂ්ක, උපේක්‍ෂා ස්වර්ණමාලි, රයිනි චාරුකා, නතාශා පෙරේරා, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක වගේ ජනප්‍රිය කලාකරුවන්, කලාකාරිනියන් ඉන්නවා.
ඔවුන් මොකද කියන්නෙ?
මගේ ඇඳුමක් මුලින්ම ඇන්දෙ නදීශා හේමමාලි. ඇය පුදුම විදිහට මගේ නිර්මාණ අගය කරන කෙනෙක්. ඒ වගේ අනෙක් අයගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඇඳුම් නිර්මාණකරණයට ලංකාව තුළ වටිනාකමක් ලැබෙනවද?
ලංකාවේ පවතින ආර්ථික, දේශපාලන වාතාවරණයත් එක්ක මිනිස්සු කොච්චර කැමති වුණත් අපි නිර්මාණය කරන ඇඳුමක් අලෙවි කරන්න හරිම අමාරුයි. පසුගිය කාලෙ වෙළෙඳ දැන්වීම් සඳහාත් ඇඳුම් නිර්මාණයට අවස්ථා ගොඩක් ලැබුණා. නමුත් අද වන විට ඒවායෙත් යම් අඩුවිමක් තියෙනව. මොකද මිනිස්සු වැඩ කරනව අඩුයි.
ඇයි මෙවැනි විෂයයක් තෝරාගත්තෙ?
මම මේ විෂයට හරි කැමතියි. මට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්න මට අවස්ථාව ලැබෙන්නෙත් මේ හැකියාව නිසා. ඉතින් එතනදි මගේ හැකියාවන් තවත් වැඩිදියුණු වුණා. මේ දේවල් එක්ක අවසානයේ මගේ වෘත්තිය හැටියට ඇඳුම් නිර්මාණකරණය තෝරාගත්තා.
අභියෝග රැසක් ඔබ ඉදිරියේ තියෙන්න ඇති?
පටන්ගත්ත දවසේ ඉඳන් අදටත් අභියෝග තියෙනවා. මම එන්නෙ මධ්‍යමපාන්තික පවුලකින්. අපේ දෙමව්පියන්ට ලොකු අවබෝධයක් නැහැ මේ ක්‍ෂේත්‍රය ගැන. නමුත් ඔවුන්ගේ මහන්සිවෙලා මට උගන්වපු නිසයි මම අද මේ තැන ඉන්නෙ. මේ ක්‍ෂේත්‍රයට එද්දි විශේෂයෙන්ම මුදල් ප්‍රශ්න ගොඩක් තිබුණා. කොළඹ කෙනෙක් නොවන නිසා කොළඹ රැඳිල ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වුණා. එතනදි මගේ මහත්තයාගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබුණා. මම දකින තවත් ප්‍රශ්නයක් තමයි අලුතෙන් එන කෙනකුට අතදීලා ඉහළට ගන්නවාට වඩා බොහෝ දෙනෙක් උත්සාහ කරන්නෙ පහළට වට්ටන්න. මේ කාලෙදි මම ඒක හොඳින්ම අත්විඳිනව.
කැපිලිකෙටිලිවලට මුහුණ දෙන්න ඇති?
මට ගොඩක් යාළුවො අඩුයි. ගොඩක් තැන්වල ගැවසෙනව අඩුයි. වැඩක් කළත් පාඩුවේ ඒක කළා, එතනින් ඉවරයි. නමුත් සමහර තැන්වලදි මට ආරංචි වෙනව වැඩක් එන්න තිබුණා, ඒත් අතරමගදි නැවතුනා කියල.
හොඳම කමෙන්ට් එක කාගෙන්ද?
ඇත්තම කිව්වොත් කොස්ටියුම් ඇන්දට පස්සෙ හොඳම කමෙන්ට් එක මට දුන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මයා. එතුමා හරිම සතුටු වුණා. අපි පළමු වැනි වතාවටයි සිංහබාහු නිර්මාණයේදි මුණගැහෙන්නෙ. මමත් හරිම ආසාවෙන් හිටියෙ එතුමා වෙනුවෙන් ඇඳුමක් කරන්න. අපේ වර්ක් ෂොප් එකට ඇවිත් නිර්මාණ දැකල බොහොම අගය කළා. අපි ඉස්සරහට වැඩ කරමු කියලත් කිව්වා. ඒ වගේම යශෝධා විමලධර්ම, රත්නාලාලනී, ධර්මප්‍රිය ඩයස්, අඛිල, සජිත, දුශේනි, අභිලාෂි යන ශිල්පීන්, ශිල්පිණියන් ලොකු සහයෝගයක් ලබාදුන්නා.
මහේෂ් එදිරිසිංහ
ඡායාරූප : අන්තර්ජාලය ඇසුරිණි