වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන බංකොලොත්වී වැසීයෑමට බලපාන වාස්තු විද්‍යා දෝෂ

379

ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට ඇත්තේ කේවලස්වාමි හෙවත් තනි පුද්ගලයකුගේ අයිතියට ඇති ව්‍යාපාරයන්ය. මෙහිදී වැඩිපුර ඇත්තේ සිල්ලර හා තොග අලෙවි වෙළෙඳ සල්ය. සෑම මාර්ගයක් දෙපස නගරය කේන්ද්‍ර කොට ගෙන හා යම් මට්ටමින් බහුලව මේවා දැකිය හැකිය. බොහෝමයක් සිල්ලර වෙළෙඳසල් තම නිවසට යාබදව,නිවස ඉදිරිකොට ආදී වශයෙන් පවත්වාගෙන යයි. දිනෙන් දින හතු පිපෙන ආකාරයට ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමෙන්ද, තාවකාලිකව කඩකාමර අටවා ගැනීමද සිදුවේ. නමුත් පටන්ගත් සැනින් එසැනින් බංකොලොත්භාවයට පත්වී වසා දමන ව්‍යාපාරික ආයතනද දිනෙන් දින වැඩි වේ. මේවාට හේතු සාධක සෙවීමේදී පෙනීයන කරුණු අතර

  1. රැල්ලට හසුවී කිසිම ව්‍යාපාරික දැනුමක් නොමැතිව අවබෝධයකින් තොරව ව්‍යාපාර ඇරඹීම.
  2. තමන්ගේම කළමනාකාරිත්වයේ දුර්වලතා.
  3. ණය තුරුස් අධික වීම.
  4. ඉහත සමහර කරුණ ුද සාධක වී ව්‍යාපාරය ආරම්භ කරන ගොඩනැගිල්ලේ වාස්තු බලවත් වීම නිසා.

මෙහිදී අප අවධානය යොමුකළ යුත්තේ සියලු සුදුසුකම්, දැනුම, අවබෝධය තිබුණද ව්‍යාපාරික ස්ථානයක බලවත් වන වාස්තු දෝෂයන් මොනවාද යන්නය.

  1. ව්‍යාපාර ස්ථානයක්, ගොඩනැඟිල්ලක්, නිවසේ කොටසක් වෙන්කර කරනු ලබන ව්‍යාපාරය සඳහා පිහිටවනු ලද ස්ථානය ව්‍යපාරික ස්ථානය වේ. මෙවැනි ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමේදී දිශාවන්ට අනුකූල වන ලෙසින් ශුභ ව්‍යාපාරික පින්ඩයක් ගලපා එය සම්පත් නැකැතට මැනුම් කරගත යුතුය. එසේ නොවන අවස්ථාවන් වලදී තමාගේ ව්‍යාපාරික ගොඩනැගිල්ල ආයතනය තමන්ගේ අධ්‍යාත්මික අයිතියෙන් ගිලිහේ.
  2. ව්‍යාපාරික ගොඩනැඟිල්ලට බ්‍රහ්මපාද ලක්‍ෂය මත කොන්ක්‍රීට් කණු, බිත්තියක්, පඩිපෙළට යටවන සේ නොතැබිය යුතු අතර එම ස්ථානය වෙළෙඳසලක් පවත්වාගෙන යන ස්ථානයක් නම් එහි (බ්‍රහ්මපාද ලක්‍ෂය) උඩින් බර තරාදි, බර අධික භාණ්ඩ, කරවල බක්කිය, මස් තබන අධිශීතකරණ නොතැබිය යුතුය. එසේ පැවතීම වෙළෙඳසලේ දියුණුව අඩාල කෙරේ. ණය හිමියන්ට බැංකුවලට ලීසිං වාරික ගෙවාගැනීමට නොහැකිවීම, ණය ගැතියන්ගෙන් මුදල් අයකර ගැනීමට නොහැකිවීමත් සිදුවී ව්‍යාපාරය බංකොලොත් වේ.
  3. අද ප්‍රධාන මාර්ග දෙපස දැකගත හැකි වෙළෙඳසල් ගොඩනැඟිලි ඉදිරිකර ඇත්තේ තනි ඵලයට වහලය පවතින ආකාරයටය.

තනි ඵලයට ඉදිකරන වහලයක ඇත්තේ මුදුන්යටලීයට සම්බන්ධ වුණ තනි පරාල වලින් සම්බන්ධ වුණ එක් කොටසක් පමණි. නමුත් වහලක් සම්පූර්ණවීමට මුදුන් යටලීය මැද සිට දෙපැත්තට පරාල දමා කොටස් 02 කට බෙදිය යුතුය. එසේ නොවුනහොත් එය වහලයක් වුණද ජීව ගුණයක් නොමැතිය. මුදුන් යටලීය එක පැත්තකින් විවෘතව පවතී. මුදුන් යටලීය ගෘහ හිමියන්ගේ ශීර්ෂයට සමාන කළ හැකිය. වාස්තු විද්‍යාව අනුව මුදුන් යටලීයට විරෙස්ව හෝ තිරස්ව ප්‍රධාන ද්වාරයට එල්ලවීම අශුභ වේ. තනි ඵල ගොඩනැඟිලි වල ප්‍රධාන ද්වාරයට තිරස්ව මුදුන් යටලීය ගමන් කෙරේ. එයද ප්‍රධානම හේතුවකි. මෙම ගොඩනැඟිලි වැසීයාම හා එහි කෙරෙන ව්‍යාපාර බිද වැටේ. එපමණක් නොව වෙළෙඳසලක දවසේ වැඩිවේලාවක් මෙහි ගත කරන ව්‍යාපාරිකයාට මානසික ආතතිය, හිසේ ආබාධ කල්පනා ශක්තිය හීන වීම සියල්ල එපා වී හිස අත හැරුණු අත යෑමට සිත්දේ.

  1. සමහර වෙළෙඳසල් පල දෙකට වහලය ගසා ඉදිකර තිබුණ ද මුදුන් යටලීය වෙළෙඳසල් දෙකට බෙදෙන හරි මැදින්ම යොදා ඇත. මෙහිදී මුදුන් යටලීය බ්‍රහ්ම පාද ශුන්‍ය ලක්‍ෂයකට කෙලින්ම චේදනය වේ. සමහරවිට එම ස්ථානයේදී මූට්ටු පරාල මූට්ටු යෙදිය හැක.

එයට අමතරව මෙම ගොඩනැඟිල්ලේ මුදුන් යටලීය ප්‍රධාන ද්වාරයේ උළුවසු කඳේ මැදට යෙදීම ද සිදුවිය හැක. මේ ආකාරයට පත්වූ වෙළෙඳසල්ද ඉතා ඉක්මනින් විනාශයට පත්වේ.

  1. වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක උතුරු ප්‍රදේශය අන්ධකාරයට පත්වීම, ඊසාන දිශාවේ වැසිකිළිවළ පැවතීම, කුණු කසළ ගොඩවල් ඊසානේ පැවතීම, අපද්‍රව්‍ය වළවල් පැවැතීමද, නිරිත දිශාවේ වැසිකිළි වළ, විදුලි මීටරය, ජල මීටරය, ළිං පැවැතීම ද, වෙළෙඳසලේ බංකොලොත්භාවයට විනාශයට ව්‍යාපාරිකයා අසරණ වීමට හේතුවේ.
  2. දෙමහල් ව්‍යාපාරික ස්ථානවල පඩිපේළියට යටින් ඇති හිස් අවකාශය තුළ කැෂියර් මේසය, ආගමික ශාස්තෲන්ගේ පිළිම පිංතූර තබා පහන්, මල් තැබීම අශුභ වේ. එය හරියට සල්ලි ලාච්චුවට දමා පාගාගෙන යෑම ආගමික ශාස්තෲන්ගේ පිළිම පාගාගෙන යෑම හා කරන අගෞරවයක් වේ. එවැනි ව්‍යාපාරික ගොඩනැඟිල්ලක පිහිටි ව්‍යාපාර ද ඉක්මනින් බංකොලොත්භාවයට පත්වේ.
  3. කලින් පැවැති ව්‍යාපාර ගොඩනැඟිල්ලට කොටස් එකතු කිරීම හිතුමතේට කිරීමෙන් ගොඩනැඟිල්ලේ හැඩය වෙනස්වීම ද ව්‍යාපාරය කෙරෙහි බලවත් දෝෂ ඇති කරයි.

(හතරැස් ආකාරයට පිහිටි ගොඩනැඟිල්ලට කොටසක් එකතු කිරීමෙන් පොරව හැඩයකට පත්වීම)

  1. සමහර වෙළෙඳ සල් ඉදිරිපිට කොට්ටන් වැනි ශාක සිටවා වෙළෙඳ සලේ ඉදිරිපිට සෙවණ ලබා ගැනේ. මුල් කාලයේදී ව්‍යාපාරයද කොට්ටන් ගස සේ වර්ධනය වේ. නමුත් ටික කලකින් ගස විශාල වී මුළු වෙළෙඳ සලම අඳුරට ලක් කරයි. කොට්ටන් ගෙඩි සෑදෙන කාලයේ වව්ලන් වැනි ශීරපා සතුන් පැමිණේ. ඔවුන්ගේ කෑ ගැසීම් අමනුෂ්‍ය දෝෂ ළඟා කරදේ. වෙළෙඳ සලට අශුභ ශක්තීන් නොපෙනෙන බලවේග ළඟාවේ. මෙවැනි වෙළෙඳ ආයතන ද ඉක්මනින් වසා දමන තත්ත්වයට පත්වේ.
  2. සමහර තට්ටු සහිත ව්‍යාපාරික ගොඩනැඟිලිවල වහල, වහලයට උඩින් අධිබල විදුලි සංඥා කුලුනු ඉදිකිරීම පිණිස ගොඩනැඟිලි හිමිකරුවන් දුරකථන සමාගම් වලට බදු දේ. එමඟින් ඔවුන් විශාල මුදලක් ලැබුවද ඔහුගේ පහල මහලයේ පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතු කල්යාමේදී වැසීයාමට මෙම කුලුනු වලින් නිකුත්කරන චුම්භක ශක්තීන්ට හැකිවේ.
  3. ව්‍යාපාරික ස්ථානයක මිදුල ඉතා පිරිසිදුවත්,

ගොඩනැඟිල්ලේ අභ්‍යන්තරය පිරිසිදුකමත් අත්‍යවශ්‍යයි. වැසි, මදුරු, කෘමීන් නිසා ලෙඩ රෝග බෝවේ. සුනඛයන්ට සෑම තැනකම ආහාර දැමීම නිසා මැස්සන් පැමිණේ. කපුටන් පැමිණේ. ඔවුන්ගේ වසුරු මිදුල පුරා පැවතීම, මුදලාලි ඇතුළු වෙළෙඳ සලට පැමිණෙන අය මිදුල පුරා බුලත් කෙළ ගැසීම එම ව්‍යාපාරික ස්ථානය අක්‍රීය කිරීමට හේතුවේ.

  1. ව්‍යාපාරික ස්ථානයක ලාභ ඉපැයුම එකම හා පරම අරමුණ කරගෙන වැඩ කටයුතු නොකල යුතුය. එය තුළින් සේවයක් ඉටුවිය යුතුය. අසාධාරණ ලාභ ඉපැයීමට, අසාධාරණ ලෙසින් කිරුම් මිනුම් කිරීම නොකල යුතුය. ‘බල්ලො මරලා හරි සල්ලි සොයමු” යන්න කිසි දිනක කටයුතු නොකල යුතුය. පරාර්ථකාමීව කටයුතු කළ යුතුය. සේවකයන්ට ඔවුන්ගේ සිත් සතුටුවන ආකාරයට සැලකිය යුතුය. ව්‍යාපාර ස්ථානයේ ඉඳහිට හෝ දානමය පිංකම්, පිරිත් සජ්ඣායනා ආදිය කළ යුතුය. වෙළෙඳ සලක අලුයම ඇතුළත පිට හොඳින් අතුපතු ගා කහදියර ඉස ඖෂධීය සුවඳ දූපයකින් දුම් අල්ලා තමා අදහන ආගම අනුව මල් පහන් තබා තමුන්ද පිරිසිදුව වැඩ ඇරඹිය යුතුයි.

තම ව්‍යාපාරික ස්ථානයේ පරුෂ වචන කීම, දෙමාපියන් සිහිකර බැනීම නොකල යුතුය. කැෂියර් මේසය බාල්කයට, මුදුන් යටලීය, අනෙකුත් යටලී, කුරුපායට නොතැබිය යුතුය. සෑමවිටම උතුරු, ඊශාන, නැගෙනහිර, ගිනිකොන, නිරිත දිශාවන් බලාගෙන මුදල් ගනුදෙනු කිරීමද තම ව්‍යාපාරය දියුණුවට හේතු දේ.

වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන බංකොලොත්වී වැසීයෑමට බලපාන වාස්තු විද්‍යා දෝෂ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment