කුරුණෑගල ව්‍යාපාරිකයා  ඝාතනය කළ කාර්මිකයා  අත්අඩංගුවට

225

ව්‍යාපාරිකයාට පහරදී ඝාතනය කිරීමට  යොදාගත් යතුරුපැදි පෝක්ලීවරය සහ කොල්ලකෑ 750,000.00ක්  වටිනා රන්දම් වැල ද සොයාගනී
ඝාතනය වූ ව්‍යාපාරිකයා

සීසීටීවී කැමරා දත්ත දීර්ඝ විමර්ශනයකින් පසු කුරුණෑගල නගරයේ පුත්තලම්  මාර්ගයේ”‍ සමන් මෝටර් ”‍ නමින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ ව්‍යාපාරික ආයතනයක හිමිකරු වන සමන් රෝහිත ගුණරත්න (47) නමැති දෙදරු පියෙකු වන ව්‍යාපාරිකයා ඉකුත් 28 දින සවස ඔහුගේ ආයතනයේදීම ”‍යතුරුපැදි පෝක් ලීවරයකින්”‍ ගෙළ හිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔක්තෝබර් පළමු දින අත්අඩංගුවට ගෙන ඊයේ (02) වැඩබලන මහෙස්ත්‍රාත් නලන් ජයවීර මහතා වෙත ඉදිරිපත් කිරීමේදී සැකකරු ක්ලාන්ත වී බිම ඇදවැටී ඇත. මෙම මස 7 දින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරින.

සමන් මෝටර් ආයතනය සමීපයේ පිහිටි”‍ලොරිබොඩිය”‍ නමින් හඳුන්වන ලියවන පට්ටල් කාර්මික ආතනයේ සේවයේ යෙදී සිටි කාර්මිකයෙකු සීසීටීවී දත්ත මත සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සියලු තොරතුරු අනාවරණය වූ බව අපරාධ විමර්ශන අංශය පැවසීය.

ලොරිබොඩි නමින් හඳුන්වන කාර්මික සේවා ස්ථානයේ කාර්මිකයෙකු ලෙස සේවය කරන, සැකකරු පාට් ටයිම් රැකියාවක් ලෙස සමන් මෝටර් ආයතනයේද සේවය කර අමතර මුදලක් උපයාගන්නා බවත් ඝාතනය වූ සමන් රෝහිත ව්‍යාපාරිකයා සැකකරුගේ හිතවතෙකු බවත් පොලිසිය පවසයි.

ඉකුත් 28 දින සවස සමන් මෝටර් ආයතනයේ හිමිකරු පමණක් සිටියදී මෙම ස්ථානයට පැමිණි සැකකරු මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් බහින්බස් වී යතුරුපැදි පෝක්ලීවරය ව්‍යාපාරිකයාගේ ගෙළට තබා වැරෙන් හිරකර ව්‍යාපාරිකයා ඝාතනය කර ඔහුගේ ගෙළ බැඳි කොටි දතක් සහිත රන් පවුම් පහක් පමණ බරැති රුපියල් 7,50000.00ක් වටිනා රන් දම්වැල සහ ව්‍යාපාරිකයාගේ මුදල් පසුමිබිය පැහැරගත් බවත් මුදල් පසුමිබිය කුරුණෑගල වැවට විසිකර ඇති බවත් පොලිසියට පවසා ඇත. ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට යොදාගත් ”‍යතුරුපැදි පෝක්ලීවරය”‍ ආයතනයේ ඉහළ මාලයේ සඟවා තිබියදී සැකකරුගේ ප්‍රකාශය මත සොයාගෙන ඇත. ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු (35) විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවත් ඔහු දක්ෂ මෝටර් රථ කාර්මිකයෙකු බවත් දෙදරු පියෙක ුවන මොහු පොතුහැර හඳුගල පදිංචිකරුවෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

වයඹ පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක, කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන සහ පොලිස් අධිකාරී දියකෙළිනාවල මහත්වරුන්ගේ උපදෙස් මත,

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ වැඩබලන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මරත්න මහතාගේ නියෝගයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප.සුමණවීර, පො.සැ (30563) රත්නායක, (5910) හේරත්, (15332) කාරියප්පෙරුම, (37086) කුෂාන්ත, (30730)නිමල්, (58187)විමලසුරීය, (46604) අධිකාරී, (34445)ප්‍රේමසිරි, (56101)රාජපක්ෂ, (36164)ජයසිහ සහ (58784)සමන්ත පොලිස් නිලධාරීන් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරින.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment