සිංහයාගේ වේශ නිරූපණය හරිම සංකීර්ණයි

සිය රංගන ජීවිතයේදී චරිතයක් වෙනුවෙන් ඔහු භාරගත්තේ දැවැන්තම අභියෝගයක්. තම පියාගේ වියෝවත් සමග හිඩැස් වුණ ‘සිංහබාහු’ හි සිංහයාගේ චරිතයට ඔහු මේ වන විට පණ පොවා අවසන්. අඛිල ධනුද්ධර සමග මේ කතා බහ ඒ සිංහයා ගැන.

අඛිල, සිංහයා ගැන රසිකයො මොකද කියන්නෙ?

වාසනාවකට අපේ ක්‍ෂේත්‍රයේ අයගෙන් මේ වන තුරු නරක ප්‍රතිචාරයක් නම් අහන්න ලැබිල නැහැ. ඒ වගේම මට මීට පෙර කවදාවත් ලැබිල නැති විදිහේ ප්‍රතිචාරයක් මේ වන විට ලැබෙනව. කවදාවත් මගේ රංගනයක් අගය කරයි කියල හිතන්නෙ නැති අය පවා කතාකරල සුබපතනව. මගේ පරම්පරාවේ අය, එයින් උඩ අය වගේම ඊටත් ඉහළ ඉන්න අයගෙන් පවා එක දිගට යහපත් ප්‍රතිචාර රැල්ලක් ලැබුණා. සාමාන්‍ය ජනතාවගෙ ප්‍රතිචාර වැඩි වැඩියෙන් අපි කලින් දැක්කා. මොකද මංගල දර්ශණය කොළඹ පවත්වන්න කලින් ගමට අරගෙන යන වැඩපිළිවෙළක හිටියා. එතනදි අපිට ඔවුන්ගෙ ප්‍රතිචාර සජීවීවම දැකබලාගන්න ලැබුණා.

තාත්තාවයි මාවයි සංසන්දනය කරන්න බැහැ - අඛිල ධනුද්ධර

ඔබේ පියා, ජැක්සන් ඇන්තනීගේ කොටසත් සමග සිංහයාගේ භූමිකාව සම්පූර්ණයෙන්ම ඔබට භාරගන්න සිද්ධ වුණා?

හදිසියේම මේ චරිතය මට භාරගන්න කියනකොට රඟපාන්න තරම් මානසිකත්වයක මම හිටියෙ නැහැ. ඒ මොහොතෙ මම රෝහලේ කටයුතු ගැන අවධානය යොමුකරලයි තිබුණෙ. ඒ වන විට මම රෝහලට කිට්ටුව තැනක කුලියට නැවතිලා හිටියෙ. මේ නිසා මම එකහෙළාම බැහැ කියන තැන හිටියා. මොකද කොහොමවත් නිර්මාණයක් වෙනුවෙන් මානසිකත්වය හදාගන්න පුළුවන් තත්ත්වයක මම හිටියෙ නැති නිසා වගේම ඒ වන විට චිත්‍රපටයේ මුල් කොටසේ තිබුණ මගේ චරිතය මම රඟපාලා හිටියෙ. වැඩිහිටි අවධිය කොටස තමයි මගේ අප්පච්චිට රඟපාන්න ඉතිරිවෙලා තිබුණෙ. කොහොම වුණත් අප්පච්චි ඉන්න තත්ත්වෙත් එක්ක ඔහුට ගෞරවයක් ලෙස වගේම මේ වෙලාවේ ඔහුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මේකයි කියල බොහෝ දෙනා මට කිව්වා. ඒ වගේම මම ඒක භාරගන්න බැහැ කියල වෙන කෙනෙක් ඒ කොටස කළොත් අප්පච්චි දුක් වෙයිනෙ කියලත් ගොඩක් දෙනෙක් කිව්වා. සෝමෙ මාමා මට කිව්වෙ මම දන්නව ජැක්සන්ගෙන් මොනවද මම ගන්න ඕනා කියල, ඒක මම ඔයාගෙන් ගන්නම්, සූදානම්වෙලා කැමරාව ඉස්සරහට ආවොත් මට ඇති කියල. ඒ දේවල් එක්ක කොහොම හරි කරනව කියල මම චරිතය භාරගත්තා.

පුංචි කාලෙ පටන් අඛිලට හීනයක් තිබුණා?

ඔව්, මට පුංචි කාලෙ ඉඳන් තිබුණ ලොකුම හීනය තමයි දෙමවුපියන් වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ඕන කියන එක. මම කලාවට වැඩිය සම්බන්ධයක් නැති පුංචි කාලෙ අප්පච්චි දවසක් විහිළුවට වගේ කිව්වා දවසක මම ඉන්නෙ මගෙ ලොකු එකා එක්ක, ඔස්ටේ්‍රලියාවේ ඇපල් වත්තක අශ්වයො පදිනව කියල, මගේ ඇපල් වත්තක අශ්වයො පදිනව කියල මම දවසක ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා අප්පච්චිව ලබාගන්නව කියල හිතෙන තැනට මාව පත්කරල තිබුණා. මගේ මල්ලිටත් ඒ වගේ හීන තිබුණා.

තාත්තාවයි මාවයි සංසන්දනය කරන්න බැහැ - අඛිල ධනුද්ධර

තාත්තගේ වගකීම, ඔබේ අභියෝගය සාර්ථක වුණා කියල හිතනවද?

ඇත්තටම ඒක මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට කරන්න පුළුවන් දෙයක් විතරයි. දකින අය තමයි ඒක කියන්න ඕනා. මට වුවමනා වුණේ මම ඒ චරිතය සාර්ථකව කළාද කියල අප්පච්චිගෙන් අහන්න.

ඇත්තටම මේ චිත්‍රපටය, මේ චරිතය ඔබට දැනෙන්නෙ කොහොමද?

මේ චිත්‍රපටයේ තිබුණ තරම් අභියෝග වෙනත් කිසිම චිත්‍රපටයකදි නළුවකුට විඳින්න වෙන්නෙ නැහැ. මෙතනදි මම ම දානව නීතියක් දවස් අහ අටකින් ෂූටිං ඉවරකරල ඉක්මනටම මාව එවන්න ඕන කියල. මම සාමාන්‍යයෙන් කරන්නෙ කැලේ කතා. නමුත් සිදාදියේ සමනලියෝ, හීනයකි මේ ආදරේ වගේ නිර්මාණවල චරිත තුළින් නගරයේ කොණ්ඩ බැඳගෙන, ෂර්ට් ඇඳගෙන වාහන පදින තරුණයන්ගෙ චරිත ගන්නත් හේතු වුණේ දුර ෂූටිං යන්න අකමැති වුණ නිසා.

මේ චරිතයේ වේශ නිරූපණය අතිශය සංකීර්ණ කටයුත්තක්?

ඇත්තටම ඒක හරිම සංකීර්ණ දෙයක්. එක අදියරක මේකප් එකට පැය දහයකට වඩා කාලයක් ගතවෙනව. වේශ නිරූපණ ශිල්පියා රෑ දොළහට විතර මාව මේකප් කරන්න පටන්ගන්නව. ෆයිනල් ටචප් එක ඉවරවෙනකොට උදේ නවය, දහය විතර වෙනව. සංයුතිය වෙනස් වුණොත් ආයෙ මුල ඉඳන්ම පටන්ගන්න වෙනව. මම කිව්ව දවස් දහ අට තුළ එහෙම දවස්ම දොළහක් විතර තිබුණා. මේ දවස් දහ අටට ම නින්දක් තිබුණෙම නැති තරම්.

සෝමරත්න දිසානායක මුහුරත් උළෙලෙදි කියනව සිංහයාට මට වෙන විකල්පයක් නැහැ, ජැක්සන් පමණමයි කියල. නමුත් චිත්‍රපටයේ ෂූටිං අවසානයේ කියනව ජැක්සන්ගෙ කාර්යය ඒ ආකාරයෙන්ම ඔබ සම්පූර්ණ කළා කියල. මේ කතාව ගැන මොකද හිතෙන්නෙ?

අධ්‍යක්‍ෂවරයෙක් මුලදිම හිතින් තමන්ගෙ නිර්මාණය බලල ඉවරයි. නිර්මාණය ගැන කතාවෙනකොට අප්පච්චිගෙ කොටස් කිහිපයත් බලල මමත් මනසින් දැක්ක මේකත් ඉවර වෙන්නෙ කොහොමද කියන දේ. දෙබස් කියනකොට චරිතය මවාගෙන ඉවරයි. නමුත් සෝමරත්න මහත්මයා මේ චිත්‍රපටය අප්පච්චිගෙන් අවසන් කළා නම් මේ නිර්මාණය අපිට හිතාගන්නවත් බැහැ. මොකද මම කරපු දේවල් නෙමෙයිනෙ අප්පච්චි කරන්නෙ. ඔහුගෙ රංගන හැකියාව, දැනුම, අත්දැකීම මේ ඔක්කොමත් එක්ක මේ නිර්මාණය පුදුමයක් වෙන තැනට පත්වෙනව. අපි දෙන්නව සංසංදනය කරන්න බැහැ කොහොමටවත්. මට චරිතය ලැබුණ දා පටන් මම උත්සාහ කළේ සිංහයාට රඟපාන්න මිසක ජැක්සන් ඇන්තනී වෙන්න නෙමෙයි.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment