දෙවියන්ගෙන් ආශිර්වාද ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක් 07-08

මියුරිගේ දෙමාපියන් ඇය පෞද්ගලික මනෝ උපදේශකවරයකු වෙත රැගෙන ගියේ ඇය සමරිසි යුවතියක් වීම මානසික රෝගයක්ය යන වැරදි වැටහීම පෙරදැරිව ය. මනෝ උපදේශකවරයා වෙත යෑමට ප්‍රථමයෙන් ඇය වෙනුවෙන් තොවිල් ශාන්ති කර්ම කිහිපයක් ද නිවසේ සිදු කෙරුණි. එයින් පළක් නොවූ තැන පවුලේ ඥාතියකුගේ උපදෙස් මත මෙම මනෝ උපදේශකවරයා වෙත ඇය යොමු කරන්නට ඇගේ දෙමව්පියන් පියවර ගත්හ. මනෝ උපදේශකවරයා ඔහුගේ උපදේශන මධ්‍යස්ථානයේ රූපවාහිනි තිරයක විශමරිසි යුවළකගේ ලිංගික දර්ශන ඇයට පෙන්වූයේ එයින් ඇගේ හැඟීම් උද්දීපනය වී ඇගේ සමරිසි භාවය ඉවත් වනු ඇතැයි සිතාය. නමුත් සිදු වූයේ අනෙකකි. එම සිදුවීමෙන් පසුව ඇය දරුණු ලෙස විශාදයට ගොදුරු වූවාය. අවසානයේ ඇයට අංගොඩ මානසික සෞඛ්‍යය විද්‍යායතනයේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදු විය.

ඊබිං ගේ අපරාධය

ඔවුන් මානසික රෝගීන් නොවේ

LGBT ප්‍රජාව සමාජ විරෝධී කණ්ඩායමක් සේ සළකා කටයුතු කිරීම ආරම්භ වූයේ කිතුනු ධර්මය ලොව පුරා ප්‍රචලිත වන යුගයේ දී බව අප සාකච්ඡා කළෙමු. එම නිසා ඒ සමයේ LGBT ප්‍රජාවට වෙත එල්ල වන පීඩනය ද දැඩි විය. ඔවුන් සමාජයෙන් ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඔවුන්ට විරුද්ධව නීති සම්පාදනය වීම පවා සිදු වූ බව අපි දනිමු. එයින් වරදකරුවන් වී ඇතැම් අවස්ථාවල මරණ දඬුවමට පවා ලක් වීමට ඔවුනට සිදු විය. දඬුවමට ලක් කර හෝ ඔවුන් නවතාලීමට නොහැකි වූ තැන අවසානයේ මානසික රෝගීන් ලෙස හැඳින්වීමට එකල පාලකයෝ පියවර ගත්හ. මනෝවිද්‍යාඥයන් ද අදහස් හා මත දැක්වීම් සිදු කළේ ද එම පාලකයන්ගේ ආකල්ප වලටම සරිලන පරිදිය. පාලකයන්ගේ බලපෑම් වලටත් වඩා එයට ප්‍රධානවම බලපෑවේ මනෝවිද්‍යඥයන්ගේ දැඩි ආගමික භක්තියයි. ප්‍රථම වරට සමරිසි භාවය මානසික රෝගයක් ලෙස හැඳින්වූයේ 1840 දී ය. ඒ ජර්මානු මනෝ වෛද්‍යවරයකු වූ රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං විසිනි. ඔහු සමරිසි භාවය සහ ස්වයං වින්දනය ලිංගික අපගාමී චර්යාවන් ලෙස නම් කළේය. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිංගේ බලපෑම හේතු කාරක විය.

ඊබිං අනුව යමින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ද සමරිසි භාවය මානසික ව්‍යාකූලතාවක් නිසා පැන නගින බව පැවසූව ද එය මානසික ව්‍යාධියක් බව පැවසුවේ නැත. 1905 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman මගින් සමරිසි භාවය විග්‍රහ කළේය. ෆ්‍රොයිඩ් මෙන්ම හැව්ලොක් එලිස් ද විශ්වාස කළේ සමරිසි භාවය සාමාන්‍ය දෙයක් නොවන නමුත් සමහර පුද්ගලයන්ට එය “වැළැක්විය නොහැකි” දෙයක් බවයි. ආචාර්ය ඇල්ෆ්‍රඩ් සී. කින්සි, වොර්ඩේල් බැක්ස්ටර් පෙමරෝයි, ක්ලයිඩ් ඊ. මාර්ටින් ඇතුළු පිරිස විසින් රචනා කරන ලද Sexual Behavior in the Human Male / Sexual Behavior in the Human Female කෘති දෙක සමරිසි භාවය පිළිබඳ වඩාත් විද්‍යාත්මකවත්, පුළුල් ලෙසත් බැලීමට මගක් විවර කරවීය.

කිංසිගේ විප්ලවය

Sexual Behavior in the Human Male කෘතිය 1948 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එයට විරෝධතා දැක්වීම් සහ ප්‍රශංසා කිරීම් ද බොහොමයක් ලැබී තිබිණි. මෙම කෘතිය සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් ප්‍රථම වරට සම්මුඛ පරීක්ෂණ යොදා ගත්හ. මෙම කෘතිය සඳහා වසර පහළොවක් පුරා රැස් කරන ලද පුරුෂයන් 5,300 කගේ පමණ තොරතුරු ලබා ගෙන ඇත. ඉන්පසු එම කතුවරු විසින්ම 1953 දී පමණ ප්‍රකාශයට පත් කරන ලද Sexual Behavior in the Human Female කෘතිය රචනා කර ඇත්තේ කාන්තාවන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ පුද්ගලික සම්මුඛ සාකච්ඡා උපයෝගි කොටගෙන ය. කතුවරුන් ස්ත්‍රී හා පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් සංසන්දනය කරන අතර ස්ත්‍රී හා පුරුෂ චර්යා රටා අතර සමානකම් සහ වෙනස්කම් සඳහා හේතු වන සාධක විමර්ශනය කරන අතර විවිධ ආකාරයේ ලිංගික හැසිරීම් වල විශේෂත්වය හා වැදගත්කම පිළිබඳ සඳහන් කර තිබේ. සමරිසි සබඳතා දෙස ද වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසිගේ පර්යේෂණ ඉවහල් විය.

නමුත් 1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය The Diagnostic and Statistical Manual of Mental Disorders -DSM හි සමරිසි භාවය මානසික ව්‍යාධියක් ලෙස සඳහන් කර තිබේ. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයට සමරිසි භාවය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව අවධානය යොමු කිරීමට සිදු වූයේ ඇමරිකානු මනෝ වෛද්‍ය රොනල්ඩ් බේයර්ගේ පර්යේෂණ පත්‍රිකා හේතුවෙනි. ඉන් පසු 1973 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් සමරිසි භාවය මානසික ව්‍යාධියක් නොවන බව සඳහන් කරන ලද අතර 1987 දී සමරිසි භාවය DSM වර්ගීකරණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන ලදී. 1992 වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද සමරිසි භාවය ඔවුන්ගේ රෝග සහ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු පිළිබඳ ජාත්‍යන්තර සංඛ්‍යාන වර්ගීකරණයේ (International Statistical Classification of Diseases -ICD) 10 වන සංස්කරණයේ දී ඉවත් කරන ලදී. වසර 5 ක් පුරා සිදු කළ පර්යේෂණ මාලාවකින් පසුව 2001 වසරේ දී චීනයේ මනෝ චිකිත්සකවරු ද සමරිසි භාවය මානසික ආබාධ වර්ගීකරණයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය.

ගොඩ බෙහෙත් දැන්වීම්

මේ වන විට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri lanka college of psychiatrist – SLCP) ද ලිංගික දිශානතියේ හා ස්ත්‍රී-පුරුෂ සමාජ භාවයේ අනන්‍යතාවයේ විවිධත්වයක් ඇති බවත් එය මානසික රෝගයක් නොවන බවත් ප්‍රකාශ කර ඇත. නමුත් තවමත් මියුරිගේ දෙමව්පියන් වැනි දෙමව්පියන් මෙන්ම, මියුරිට සිදු වූ ඛේදනීය ඉරණමට මුහුණ දෙන LGBT ප්‍රජාවේ සාමාජිකයන් ද නැතුවා නොවේ. මෙය කෙතරම් බරපතළ අන්දමින් සිදු වනවාද යන්න සාක්ෂාත් කරගත හැකි නිදසුනක් වන්නේ සමරිසි භාවය සුවපත් කර දෙන බව පවසා සති අන්ත ජාතික පුවත්පත් බොහෝමයක පළවන පුවත්පත් දැන්වීම් ප්‍රමාණයෙනි. ඖෂධ මෙන්ම උපදෙස් ලබාදෙන බව පවසන ස්ථාන බොහෝමයක් පිළිබඳව එක් කොටසකත්, ශාන්ති කර්ම, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදු වන බව තවත් කොටසකත් වශයෙන් වෙන් වෙන්ව පළවන දැන්වීම් ප්‍රමාණය අතිමහත් ය. එයින් ගම්‍ය වන්නේ සමාජයේ ඇතැම් පිරිසක් LGBT ප්‍රජාව කෙරෙහි දක්වන අනියත බියයි.

ඇතැම් පුද්ගලයන්ට LGBT ප්‍රජාව කෙරෙහි බියක් දක්වන බව නොරහසකි. ඒ නිසාම ඔවුන් බොහෝ ශාරීරික මෙන්ම මානසික වද හිංසාවලට ගොදුරු වේ. නමුත් LGBT ප්‍රජාව කෙරෙහි එලෙස කටයුතු කිරීම යුතු නොවේ. මන්ද කෙනෙකුගේ ලිංගික දිශානතිය සඳහා විවිධ සාධක හේතු වේ. මොළයේ රසායනික ක්‍රියාවලිය, හෝමෝන අනුපාතයන්වල ඇතිවන වෙනස්කම්, පරිසරය ආදිය ලිංගික දිශානතිය තීරණය කිරීම සඳහා බලපානු ලබයි. මේ පිළිබඳ දැනුවත් වීම මෙන්ම අවබෝධයෙන් සිටීම LGBT වීම මානසික රෝගයක් ලෙස සැළකීම හෝ LGBT ප්‍රජාව මානසික රෝගීන් සේ සළකා කටයුතු කිරීම හෝ වළක්වා ගැනීමට හේතු වනු ඇත. ඔවුන්ට ද විශේෂයක් හෝ වෙනස් කමක් නොමැතිව සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට හිමි වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩ හසර ලැබෙණු ඇත.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment