අයි.එම්.එෆ් විවාදය 26 වැනිදා සිට

61

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF‍) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 තෙදින විවාදයට ගැනීමට ඊයේ (20 වැනිදා) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සහ වර්තමාන සහ අනාගත පරම්පරාවට ප්‍රයෝජනවත් වන තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇ. ඩො. බිලියන 3ක පමණ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම 2023 මාර්තු 22 දින සභාගත කරන ලදී. එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරෙන අතර තෙදින විවාදයෙන් අනතුරුව අවශ්‍යනම් ඡන්ද විමසීමක් ද පැවැත්වීම සිදුවේ.

පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමට නියමිතය.

අප්‍රේල් 26 වැනිදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් 2023.04.17 දිනැති, අංක 2328/02 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත.

අනතුරුව ප. ව. 5.00 දක්වා ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF‍) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීම සිදුවේ.

අප්‍රේල් 27 සහ 28 දෙදින පෙ.ව 10.30 – ප.ව 5.00 දක්වා පිළිවෙළින් දෙවැනි හා තෙවැනි දිනටත් මෙම විවාදය පැවැත්වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment