පාතාලය මෙල්ල කරන්න අතිදක්‍ෂ වෙඩික්කරුවන්

313

මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ යතුරුපැදි ඒකකය සඳහා අධිවේගී ට්‍රේල් යතුරුපැදි 50ක් යොදවා තිබේ.

මෙම ඒකකය සඳහා අතිදක්‍ෂ වෙඩික්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතය.

පාතාල අපරාධකරුවන් බහුල වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනාගෙන මෙම විශේෂ ඒකකයේ කුඩා කණ්ඩායම් එම ප්‍රදේශවල යෙදවීමට පියවර ගනිමින් සිටියි.

මෙම කණ්ඩායම් ස්ථාපිත කර ඇති ප්‍රදේශවල පාතාල කුලී මිනීමරුවන් විසින් මිනිස් ඝාතනයක් සිදු කළහොත් ඔවුන් ලුහුබැඳ ගොස් ඒ අවස්ථාවේම වෙඩි තබා එම අපරාධකාරයන් මෙල්ල කිරීමට මෙම විශේෂ යතුරුපැදි බළකායේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම ඒකකය සඳහා බඳවා ගන්නා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට යතුරුපැදි ධාවනය වෙද්දී එහි සිටගෙන වෙඩි තැබීමට එක් එක් දිශාවන්ට හැරී සතුරු ඉලක්කයට වෙඩි තැබීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙසේ ස්ථාපිත කරන පොලිස් යතුරුපැදි ඒකකයේ කණ්ඩායම් ඇල්පිටිය, අම්බලන්ගොඩ, කරන්දෙනිය, වැලිගම, මාතර, ගාල්ල, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, රත්මලාන ඇතුළු පාතාල අපරාධ බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment