යටත් විජිතකරණයෙන් පසු LGBT ප්‍රජාව කෙරෙහි මහ සමාජයේ විරෝධයක් වර්ධනය වූ බවත් එසේ වන්නට හේතු සාධක පිළිබඳවත් අපි සාකච්ඡා කළෙමු. එම විරෝධතා සහ එරෙහි වීම් හමුවේ LGBT ප්‍රජාව සමාජයෙන් තරමක් දුරස්ථව ජීවත් වන්නට විය. නමුත් එදා පටන් LGBT ප්‍රජාවත් මහා සමාජයත් එක් කරන පාලමක් ලෙස ක්‍රියා කළේ නච්චි ප්‍රජාවයි. අද ලිපිය සැකසෙන්නේ ඔවුන් වෙනුවෙනි.

“naach” නාච් හෙවත් නච්චි ලෙස දමිළ හා හින්දි බසින් “නැටුම්”, නර්තන යන්න හැඳින්වීම සඳහා භාවිත කරන වචනයකි. යටත් විජිත සමයේ ඉන්දියාවේ නර්තනයේ යෙදුණු ගැහැණු ළමයින් “nautch Girls” ලෙස හඳුන්වා තිබේ. “nautch” යන වචනය නැටීම යන හින්දි ක්‍රියා පදය වන භ්ජයබ් හි බ්‍රිතාන්‍ය වර නැඟීමයි. ඉන්දියාවේ හින්දු කෝවිල්වල චාරිත්‍ර වාරිත්‍ර සහ ආගමික නැටුම් සිදු කළ දේවදාසීන් පිළිබඳ හැඳින්වීම සඳහා ද nautch සහ nautch ඨසරක යන යෙදුම් භාවිත කර තිබේ. ඔවුන් හින්දු කෝවිල්වල සහ දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහා නැටුම්, බොහෝ දුරට චාරිත්‍රානුකූල නැටුම් ඇතුළු ඉන්දියානු සම්භාව්‍ය නැටුම් ඉදිරිපත් කළහ. ගැහැණු ළමයින් විසින් පමණක් සිදු කරන ලද නැච්, මෝස්තර කිහිපයකට විකාශනය වූ අතර, ඒ අතරින් මෝර් නාච්, පටං නාච් හා ක්වාහාර් කා නාච් යන තුන ප්‍රධාන විය. මෝර් නාච් මයුරන් ආකර්ෂණය කර ගැනීමට මයුර නැටුම, පටං නාච් සරුංගලය සහ සරුංගල් යවන්නා යන දෙකම අනුකරණය කරන සරුංගල් නැටුම සහ ක්වාහාර් කා නාච් අවසාන වශයෙන් ඉදිරිපත් කරන ශෘංගාරාත්මක නර්තනය ජනප්‍රිය නැටුම් වර්ග විය.

සතුට බෙදන නච්චි

නැච් කෙල්ල යනු සාද, මංගල උත්සව, බෞතිස්ම, ආගමික උත්සව සහ වෙනත් සමාජ සිදුවීම් ඇතුළු විවිධ අවස්ථාවන්හි දී සියලුම සමාජ තරාතිරම්වල, ප්‍රදේශ, කුල හා ආගම්වලට අයත් පිරිමින්, ගැහැනුන් සහ ළමයින් විනෝදාශ්වාදය ලබා ගනිමින් ජීවිකාව ගෙන යන නර්තන ශිල්පිනියකි. ඔවුන්ගේ නැටුම් කථක්, භරත නාට්‍යම් සහ ජන නැටුම්වල සංකලනයකි. ඔවුන් බොහෝ විට විවිධ ස්ථානවලට ගොස්, හදිසියේ මාර්ග අද්දර නැටුම් ප්‍රසංග පැවැත්වීය. නැතහොත් සාමාන්‍යයෙන් ඔවුන්ට ගෙවීමට බැඳී සිටින ඔවුන්ගේ ධනවතුන්ගේ නිවෙස්වලට ප්‍රසංග කිරීමට අනාරාධිතව ගියහ. නාච් සංගීතඥයන් සාද අවස්ථාවල දී සාරංගි, තබ්ලා, මංජීර සහ දෝලක් යන වාදන භාණ්ඩ හතර වාදනය කළහ. නර්තනය මූලික කරගත් ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියකට උරුම කම් ඇති ඉන්දීය නච්චි ප්‍රජාව හඳුන්වන්නේ හිජ්‍රා නමිනි. එසේම තායිලන්තයේ නච්චි ප්‍රජාව හඳුන්වන්නේ කතෝයි නමිනි.

ලාංකීය නච්චි ප්‍රජාව

දෙවියන් පිනවූ නච්චීන්

ලාංකික නච්චි ප්‍රජාව ලෙස හඳුන්වන්නේ සමරිසි පුරුෂයන් හා සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් ය. එනම් නච්චි ප්‍රජාවට අයත් වන්නේ උපතින් පුරුෂභාවය ලැබුණු පුද්ගලයන් ය. නච්චි ප්‍රජාවේ බහුතරයක් ඒ ඒ අවස්ථානුකූලව තමාගේ සමාජභාවය ප්‍රදර්ශනය කරන අතර පැහැදිලිව LGBT ප්‍රජාවේ එක් කාණ්ඩයක් නිරූපණය නොකරයි. නමුත් ඔවුන් අයත් වන්නේ LGBT ප්‍රජාවට ය. සාම්ප්‍රදායික නච්චි ප්‍රජාව ඔවුන්ට උපතේ දී ලැබෙන පුරුෂ භාවය අත් නොහැර යම් යම් අවස්ථාවලදී පමණක් මානසිකව ඔවුන්ට දැනෙන ඔවුන්ගේ ලාලිත්‍ය, ස්ත්‍රීත්වය ඉස්මතු වන ආකාරයට විලාසිතා කිරීම හා පෙනී සිටීම සිදු කරයි. නච්චි ප්‍රජාවගේ ඇතැම් පුද්ගලයන් හරස් විලාසිතා (cross dress) අනුගමනය කිරීමට ප්‍රියතාවයක් දක්වන බව දැකිය හැක.

ඔවුන් පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඔවුන්ටම අනන්‍ය වූ රැකියා, භාෂාවක්, විලාසිතා සහ ඔවුන්ටම විශේෂ වූ නර්තනාංග හඳුනාගත හැකිය. ඉන්දියානු සංස්කෘතිය තුළ දක්නට ලැබුණු සාද, මංගල උත්සව, බෞතිස්ම, ආගමික උත්සව ආදියට නර්තනාංග ඉදිරිපත් කිරීම පමණක් නොව ලාංකීය සංස්කෘතිය තුළ එයින් වෙනස් වූ ලාංකීය නච්චි ප්‍රජාවට ආවේණික ලක්ෂණ ද එක් වී ඇත. එයට හොඳම උදාහරණය වන්නේ වෙස්සන්තර නාටකය රඟ දැක්වීම යි. ඉන්දීය සංස්කෘතිය තුළ පැවති මේ වන විට ලාංකීය සංස්කෘතියට ආදේශ කර ඇති සුවිශේෂී නර්තනාංග ද නච්චි ප්‍රජාව සතුව ඇත. ලංකාව ප්‍රසිද්ධ පෙරහැර සියල්ලේම වාගේ නච්චි ප්‍රජාව විසින් ඉදිරිපත් කරන නර්තනාංග ඊට උදාහරණ වේ.

පවුලෙන් පිටමං කරවන දරුවෝ

නච්චි ප්‍රජාවේ වර්තමාන නියෝජනයක් වන සකුණි මායාදුන්න ඇගේ ප්‍රජාව පිළිබඳවත් ඔවුන්ට ඇති ගැටලු පිළිබඳවත් අදහස් දැක්වූවා ය. “නච්චි ප්‍රජාව කියන්නේ බොහෝ විට තමන්ගේ පවුලෙන්, තමන්ගේ ගමෙන් පිටමං වුණ, පිටමං කරපු අය. එහෙම පවුල්වලින් පිටමං කරපු කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා බෝඩිං කාමරයක එහෙමත් නැත්නම් කුලී නිවසක තමයි ජීවිත කාලෙම ගත කරන්නේ. ඉස්සර අපේ ප්‍රජාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ රූපලාවන්‍ය කටයුතු. ඇත්තම කිව්වොත් අපේ අය විතරයි රූපලාවන්‍ය කටයුතු කරේ. මනාලියන් ඇන්ඳීම, පෝරු සැකසීම විතරක් නෙමෙයි උත්සව අවස්ථාවල දී ඉවුම් පිහුම් කටයුතු පවා සිදු වුණේ නච්චි ප්‍රජාව අතින්. දැන් ඒ ක්ෂේත්‍රවල අනිත් පුද්ගලයනුත් කටයුතු කරනවා. පන්සලේ, කෝවිලේ, පල්ලියේ උත්සව අවස්ථාවල අපිව නැතුවම බැරි චරිත වුණා. ඒත් දැන් දැන් අපිට අනන්‍ය වුණ අපේ දේවල් වෙනත් අයත් කරන්න පටන් අරන් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මොණර නැටුම. අපේ ප්‍රජාව ඒ සංස්කෘතික අංග වලට දායක වන්නේ මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටත් වඩා ආත්ම තෘප්තිය උදෙසා. මොකද ඒ වගේ අවස්ථාවන් වලදී අපිට, අපේ ප්‍රජාවට බාධා කිරීම්, හිරිහැර කිරීම් වලින් තොරව අපිට අපි වගේ පෙනී සිටින්න ලැබෙන අවස්ථාව නිසා. සියුම්, සුන්දර අත්කම්, ලියකම්, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයත් අපේ ප්‍රජාවගේ එක් ජීවනෝපායක්.”

නීතියටත් පැටලෙන නච්චි ප්‍රජාව

දෙවියන් පිනවූ නච්චීන්
සකුණි මායාදුන්න

ඇගේ ප්‍රජාව පිළිබඳ මහත් අභිමානයෙන් අදහස් දැක්වූ ඇය ඔවුන්ගේ ප්‍රජාවට බලපෑම් සිදුවන ගැටලු පිළිබඳව ද අදහස් දැක්වූවා ය.

“නච්චි ප්‍රජාව නියෝජනය කරන බොහෝ දෙනෙක් සෑම විටම කාන්තාවක් ලෙස හෝ පුරුෂයෙක් ලෙස හෝ පෙනී සිටින්නේ නැති නිසා මූලිකවම ඇති වන්නේ නීතිමය ගැටලුයි. දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය අනුව බොහෝ විට නච්චි ප්‍රජාව හිංසනයට ලක් වෙනවා. පුද්ගලයෙක් වෙනත් පුද්ගලයකු සේ පෙනී සිටීම වරදක් ලෙස එහි සඳහන් කර තිබෙනවා. සෝදිසි කිරීමක දී ඔවුන් පෙනී සිටින සමාජ භාවයත් ඔවුන් සතුව ඇති ලේඛනවල වෙනස් සමාජ භාවයකුත් තිබෙන අවස්ථාවල දී එය භාවිත කර අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් පෙන්වා දෙන්නේ එහි සඳහන් වන පරිදි පුද්ගලයකු වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටීමෙන් හෝ දැන දැනම තවත් පුද්ගලයකු වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමෙන් හෝ ඔහු හෝ වෙනත් පුද්ගලයකු බව නියෝජනය කරමින් වංචා කිරීම වරදක් බවයි. එවැනි වංචා සිදු කරන පුද්ගලයන් ද සිටින නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වඩා නච්චි ප්‍රජාවත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයනුත් පීඩාවට පත් නොවන ආකාරයට එම නීතිය සංශෝධනය කළ යුතුයි.

ඇතැම් පොලිස් නිලධාරීන් තවමත් නච්චි ප්‍රජාව පිළිබඳ දැනුවත් නැහැ. ඇතැමුන් සිතන්නේ සියලුම නච්චීන් සංක්‍රාන්ති සමාජභාවී ස්ත්‍රීන් කියලා. මේ නිසා බොහෝ නීතිමය ගැටලු ඇති වෙනවා.

රාජ්‍ය සේවයේ නියැළෙන පුද්ගලයන් පවා නච්චි ප්‍රජාව නියෝජනය කරනවා. ඔවුන් රාජකාරි වේලාවන් තුළ තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කර විශේෂ අවස්ථා වලදී පමණක් කාන්තාවන් ලෙස පෙනී සිටිනවා.

නච්චි ප්‍රජාව හිංසනයට පත් වන අනෙක් ආඥාපනත නම් 1841 දී බලාත්මක කෙරුණු පාදඩ ආඥාපනතයි. අපේ ජීවනෝපායන් බොහෝමයක් සැකසී තිබෙන්නේ උදෑසන, සවස හා රාත්‍රී කාලයට අනුරූපව. මේ රාජකාරි සඳහා යෑමේ දී හෝ ඒවා අවසන් කර පැමිණීමේ දී මේ ආඥා පනතට අනුව අත්අඩංගුවට පත් වෙනවා.”

LGBT ප්‍රජාවේ උපකාණ්ඩයක් ලෙස සැලකිය හැකි නච්චි ප්‍රජාව ලාංකීය සංස්කෘතියට අනුගතව, එය රැක ගනිමින් ඉදිරි පරම්පරාවන්ට ඒ උරුමයන් දායාද කර දෙන්නට කටයුතු කරයි. අයිතිවාසිකම් වෙනුවෙන් මහා පරිමාණයෙන් ජාලගතව නැතත් කණ්ඩායම් වශයෙන් හෝ එක්ව ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාව රැක ගැනීමේ උත්සාහයක නිරතව සිටියි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment