ඓතිහාසික බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූයේ 2015 පෙබරවාරි 27 දිනය. බැඳුම්කර තොගයම සිය සන්තකයට ගත් Perpetual Treasuries සමාගම සහ Asia Securities සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ Finance Asia මූල්‍ය ප්‍රකාෂණ ආයතනය මූලිකත්වයෙන් 2016 මාර්තු 15 වැනි දින විදේශ ආයෝජකයන් දැනුවත් කර දිරිගැන්වීමේ සම්මන්ත්‍රණයක් සිංගප්පූරුවේ පවත්වන ලදී. එම සම්මන්ත්‍රණයට රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමැතිවරයා, මහා බැංකු අධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් සමග එවකට ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු නිරත සමාගම් කිහිපයක්ම සිය ප්‍රථිපලදායි අත්දැකීම් බෙදාහදා ගත්හ. Perpetual Treasuries සමාගම නියෝජනය කරමින් කතා කළ නියෝජිතයා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතුවල නිරත වන විදේශිකයන් නිවැරදි සම්බන්ධතාවයන් ඇති ආයතන සමග සිය ගනුදෙනු කරගෙන යෑමේ වැදගත්කම පෙන්වා දෙමින් වහසි බස් දෙඩුවේය. ඊට මාස කිහිපයකට පසු Finance Asia ප්‍රකාෂණ සමාගම ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා වූ රවී කරුණානායක මහතා ආසියාවේ කෘතහස්ත මුදල් ඇමැතිවරයා හැටියටද නම් කරන ලදි. රට බංකොළොත් වූ ආකාරය සෙවීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇසීම හා සමාන විය හැක.

රටේ ආර්ථිකයේ කඩාවැටීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවති රජයන් වෙත පමණක් පැටවීමට මෙම ලියුම්කරුගේ උත්සහය නොවන අතර, අධික ණය බර දරාගත නොහැකි ආකාරයට ප්‍රසාරණයට 2015 බැඳුම්කර මගඩිය දායක වූ වග සඳහන් කළ හැක. වර්තමානයේ දරාගත නොහැකි ප්‍රමාණයේ ණය බර ප්‍රතිව්‍යුහගත කිරීමේ වගකීමද පැවරී ඇත්තේද ජනාධිපති පදවිය සහ මුදල් අමාත්‍යාංශය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාම වීම දෛවයේ සරදමකි. මෝඩකම නීතිය ඉදිරියේ අපරාධයක් නොවීමට ඉඩ ඇත.

ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් තම සේවාදායකයන් සහ සේවාවන්ට අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙසට තීරණ ගැනීම සහ අවාසිදායක තත්ත්වයන් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන් මත පැටවීම හෙළාදැකිය යුතුය. පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමේ (stakeholder consultation) පරිචය ශ්‍රී ලාංකේයන් අපේක්ෂාකරන නව පරිපාලන පද්ධතියේ අනිවාර්ය සංඝටකයක් කරගත යුතුව ඇත. නිතරම මිටි තැනින් වතුර ගලායෑම දැන් සම්මුතියක්ව ඇත. ලාභාංශ පුද්ගලිකකරණයටත් අලාභ සමාජගත කරවමින් අත සෝදාගැනීම වැළැක්විය යුතුවේ.

“හැට නව ලක්ෂයේ තීණ්දුව ගැන නැවත නැවත සිතා බලන්න. ධම්මික පැණිය, කාබණික පොහොර භාවිතය, චීන අසූචි පොහොර ආනයනය කිරීම, චීනයේ නිශ්පාදිත කොවිඩ් එන්නත භාවිතා නොකිරීම වැනි අනුවණකම් අතරට අර්ථසාධක අරමුදලට කරන අසාධාරණය ඉදිරියේදී අර්ථසාධක ප්‍රතිලාභීන්ට අත්විඳීමට සිදුවන බව ඉඳුරාම කිව හැක. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර මගඩියේ අලාභය අර්ථසාධක අරමුදලට වසර 30ක් ගියත් උපයාගත නොහැකි බව 2019 ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම – ඵල දරන ගසටම ගල් ගැසීම

ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල ආසියාවේ විශාලම එකකි. දැනට එහි වත්කම – සියලුම සාමාජිකයන්ගේ ඉතුරුම්වල එකතුව රුපියල් බිලියන 3800 කි. (ට්‍රිලියන 3.8) එසේම අරමුදලේ තවත් එක් විශේෂත්වයක් ඇත, මාස්පතා අඛණ්ඩව සේවක සාමාජිකයන් සහ සිය හාම්පුතුන් සිය දායක මුදල් ප්‍රේෂණය කරන නිසා ද්‍රවශීලතා අර්බුද පැන නොනගී.

2022 සේවක අර්ථසාධක අරමුදල රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 42 ප්‍රවීණ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂඥයකු සහ ලිපි රචකයකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කරන පරිදි රජයට බදු ගෙවන විශාලතම ආයතනය සේවක අර්ථසාධක අරමුදලයි. පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර අභිබවමින් අර්ථසාධක අරමුදල රජයට ආදාම් උපයා දෙයි. 2021 රජය ඉදිරිපත් කළ අයවැයෙන් ගජමිතුරු ව්‍යාපාර කල්ලිවලට ලබා දුන් බදු සහන ප්‍රමාණය බිලියන 900 ක් පමණ විය. එහි ප්‍රතිවිපාක ඔබ සැම අප සියලු දෙනාම දැන් අත්විඳින්නෙමු. එසේ සහන ලත් ව්‍යාපාර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යායාම්වලට බරපැණ නොදරන අතර අහිංසක කම්කරුවන්ගේ අර්ථසාධකය මේ සියලුම දෙනාගේ බර කරට ගැනීමට බල කිරීම යුක්තිසහගත නොවේ.

ගෝලීය විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල්වල විශාලත්වය ඇමෙරිකාවේ කොර්නල් සරසවියේ මහාචාර්ය රෝස්මරී බට් මහත්මිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කළ දේශනයකදී සඳහන් කළ පරිදි ඇමෙරිකාවේ සමස්ත විශ්‍රාම අරමුදල්වල වටිනාකම, ඇ. ඩො. ට්‍රිලියන 16 ක් වන විට, යුරෝපයේ සියලු විශ්‍රාම අරමුදල්වල වත්කම ඇ.ඩො. ට්‍රිලියන 30 ඉක්මවයි. ලොව පුරා ආයෝජනවලට නියමිත වත්කම්වලින් 60% විශ්‍රාම අරමුදල් වේ. මෙම අරමුදල් බොහෝමයක් ආර්ථික අවපාතයන් හමුවේ අවදානම් රාශියකට මුහුණ පා ඇත. මෙය වැඩිවෙන වැඩිහිට ජනතාවගේ සමාජ සුභසාධනයට දැඩි බලපෑමක් එල්ල කරයි.

බ්‍රසීලයේ තැපැල් සේවකයන්ගේ Postilia විශ්‍රාම අරමුදලට සිදුවූ අකරතැබ්බය

බ්‍රසීලයේ තැපැල් සේවකයන්ගේ ස්වෙච්ඡාවෙන් සිය වැඩකරන කාලයේදී විශ්‍රාම දිවිය ශක්තිමත් කරගැනීමට විශ්‍රාම අරමුදලක් පිහිටුවා එයට දායක වූහ. එම අරමුදලේ වත්කම් කළමනාකරණය ඇමෙරිකානු Bank of New York Mellon (BNY Mellon) බැංකුවේ බ්‍රසීලයේ ලියාපදිංචි අනුබද්ධ සමාගමකට භාරදී තිබුණි. එම සමාගමේ ප්‍රධාන විධායකයා ඇතුළු කළමනාකරුවන් අරමුදලේ ආයෝජන වංචාසහගත ලෙස කිසිම වටිනාකමක් නැති දේපළ වල යෙදවීම නිසා ඇ. ඩො. මිලියන 2.8 වත්කම් සුන්වී 2007/8 මූල්‍ය අර්බුදයට මැදිවී අන්ත්‍රස්දාන වීය. Postilia විශ්‍රාම අරමුදල බ්‍රසීලයේ අධිකරණය හමුවේ නඩු පවරා මූල්‍ය අපරාධයට සම්බන්ධ සියලු වත්කම් කළමනාකරුවන්ට දඬුවම් ලබා දුන්හ. නමුත් ඔවුන්ට අහිමි වූ අරමුදල් ප්‍රමාණය නොලැබීමෙන් සාමාජිකයන් 88000 2026 සිට විශ්‍රාම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදාවී අරමුදල බංකොළොත් වීමට නියමිතය.

බ්‍රසීලයේ තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති සහ වෙනත් සිවිල් සංවිධාන පසුගිය අගෝස්තු මස 31 වැනි දින නිව්යෝර්ක් නුවර BNY බැංකුවේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරමින් එකී බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු සහ දුර්වලතාවයන් හේතුවෙන් Postilia විශ්‍රාම අරමුදලට සිදුවූ පාඩුව ප්‍රතිපූර්ණ කරන ලෙස බල කර සිටියහ. ඔවුන්ගේ ඉල්ලීමට සානුකම්පිත අවධානයක් ලැබේද යන්න අවිනිශ්චිතය. ප්‍රථිපලය අසරණ තැපැල් සේවකයන්ගේ විශ්‍රාම දිවිය ගතකිරීමට ඉතිරි කළ මුදල නැතිවීමය. මෙකී ඉරණම ශ්‍රී ලාංකේය අර්ථසාධකයට අත්විය හැක.

ඉහත සඳහන් සිදුවීම ගෙනහැර පෑවේ විශ්‍රාම අරමුදල් බුන්වත් වීම සිදුවන කාල පරාසය පෙන්වා දීමට මෙන්ම, අර්ථසාධක අරමුදල්වල සාමාජිකයන්ගේ නිසි අවධානයට සහ අධීක්ෂණයට භාජන නොවන සියලු අරමුදල්වලට අත්විය හැකි ඉරණම කුමක් විය හැකිදැයි පැහැදිලි කරවීම සඳහාය. ප්‍රබල ඵලදායී අධීක්ෂණයන් සහ අවදානම් සාක්ෂරතා අධ්‍යනයන්ට භාජනය නොවන දීර්ඝකාලීන විශ්‍රාම අරමුදල් ආයෝජන බැංකුකරුවන් සිය කෙටිකාලීන වාසි සඳහා පිරමීඩ ආයෝජන ක්‍රමවේදයන් සේ භාවිතා කිරීමට පසුබට නොවෙති. Postilia අරමුදලේ අවිධිමත් ආයෝජනවල සමස්ත පාඩුව සහ බංකොළොත් වීමට ගතවූ කාලපරාසය (2008-2026) අවුරුදු 16කි. දශක තුනක කල්පිරීමේ බැඳුම්කර නිකුතුවේ අවධානම අර්ථසාධක අරමුදලේ රැකවල් කරු ලෙස කටයුතු කළ මහ බැංකුව ක්‍රියා කර තිබේද? මෙම ප්‍රශ්නය අරමුදලේ සියලු පාර්ශ්වකරුවන් සැලකිල්ලට ගතයුතුව ඇත.

පුළුල් වන වයස්ගත ජනගහනයේ සමාජ ආරක්ෂණ අභියෝග

ගෝලීය වයස්ගත ජනගහන ප්‍රවණතා පිළිබඳ නවතම අනාවැකිය හෙළි කරන්නේ, 2020 දී වයස අවුරුදු 65 ට ළඟා වන පිරිමියකු තවත් අවුරුදු 19 ක් ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ගැහැනියෙක් තවත් අවුරුදු 22 ක් ජීවත් වනු ඇති බවයි. මෙම ප්‍රවණතාව වෛද්‍ය විද්‍යාවේ සහ සෞඛ්‍ය පහසුකම්වල දියුණුව නිසා සිදුවුවද, ශ්‍රී ලාංකේය මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය අනාගතයේ දී පුළුල් වන වයස්ගත ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සූදානම් ද? නොඑසේනම් නිරෝගී දිවි පෙවෙතක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් උපයා සපයා ගැනීමට විශ්‍රාමිකයන්ට හිමි මාර්ග ආරක්ෂා කළයුතු නොවේද?

අනාගතය සඳහා සමාජ ආරක්ෂණ පද්ධති සුරක්ෂිත කිරීම

ටී. බී. ඉලංගරත්න, සී. පී. ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන වැනි ප්‍රගතිශීලී සමාජ සවිඥානික දේශපාලනඥයන් සහ අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ MEP රජයේ නායකත්වය යටතේ 1958 දී සේවක අර්ථසාධක අරමුදල (EPF‍) හඳුන්වා දුන්නේ සේවා යෝජකයන් සහ සේවකයන් අතර දායකත්වය බෙදා හදා ගැනීමේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙසය.

තවද, 1980 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ බුද්ධිමත් උපදේශකත්වය මත සේවක භාරකාර අරමුදල හඳුන්වා දීමත් සමඟ මෙම පද්ධති තවදුරටත් ශක්තිමත් විය. මෙම සියලු අරමුදල් නිර්මාණය කරන ලද්දේ වැඩකරන ජනතාව සිය ජීවිතයේ උත්පාදක කාලය තුළ ජාතිය ගොඩනැගීමට දායක වන සේවක සේවිකාවන්ගේ විශ්‍රාමික ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ය. දැන් සිදුවන්නේ, අරමුදල කළමනාකරණය කරන අය මූලික අරමුණුවලින් බැහැර වී පවතින රජයේ වියදම් සහ සම්පත් ඒකරාශී කිරීමටත් එම කාර්යය සම්බන්ධීකරණය කරන සෙසු පාර්ශ්වකරුවන්ට සුපිරි ලාභ උපයා ගැනීමේ මාර්ග හෙළි පෙහෙළි කරවන පිරමීඩ ක්‍රමයක් බවට පත්කර ගැනීමය.

EPF/ETF සඳහා සමාජීය වශයෙන් වගවෙන ආයෝජන විකල්ප මොනවාද?

මෙම රචනය සමාජයේ දිගුකාලීන අර්ථසාධක වත්කම් සහ ප්‍රතිලාභ මූර්ථ ආර්ථිකයේ වර්ධනයක් ජනනය කිරීමේ ආයෝජණ වෙනුවට කෙටිකාලීණ මූල්‍ය ප්‍රතිලාභ බෙදා හැරීමේ අරමුණු සඳහා සම්පත් අවභාවිතා කරන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විචක්ෂණභාවය ප්‍රශ්න කළේය.

හාම්පුතුන් සහ සේවකයන් යන දෙඅංශයෙන්ම අරමුදල් දායක කරමින් විශ්‍රාමිකයන් ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඇරඹූ අර්ථසාධකය රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආයෝජනයන්වල යෙදීම වෙනුවට පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ බලයේ සිටි අය විසින් විශාල අරමුදල් සංචිතය අපයෝජනය කිරීමය.

මෙම ලේඛකයාගේ අදහස වන්නේ මෙම සියලු අරමුදල් කළමනාකරණය භාරකාර මණ්ඩලයක් (Board of Trustees) යටතේ තිබිය යුතු බවය. මෙය වර්තමානයේ මහා බැංකුව විසින් කරගෙන යනු ලබන රැකවල්කරුවකුගේ (custodian) කාර්ය අභිබවා ඊට වඩා කාර්යක්ෂම සහ ඵලදායි වගකීම් සහ වගවීම්වලට නතු කරවීමකි. සේවා යෝජකයන්, සේවකයන් සහ රජයේ නියාමන ආයතන නියෝජනය කරන පුද්ගලයන් භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙසට දායක සේවක හය සේව්‍ය සාමාජිකයන් විසින් තෝරා පත්කර ගත යුතුව ඇත.

අර්ථසාධක අරමුදල් ආයෝජනවලින් 90% ක්ම රජයේ ණය සුරැකුම්පත්වල රඳවා ඇත්තේ ඒවා අවදානම් රහිත යැයි උපකල්පනය කරමිනි. ස්වෛරීය බැඳුම්කරවල අවධානයේ තරම කුමක්ද යන්න දැන් අපට පැහැදිලිය. මෙම වසර මුලදී බිඳවැටුණු ඇමෙරිකාවේ Silicon Valley Bank iy Signature Bank දෙකම සිය තැන්පතුවලින් වැඩි කොටසක් ඇමෙරිකානු ස්වෛරීය බැඳුම්කරවල ආයෝජනය කර පොලී අනුපාත විචල්‍ය වීම හේතුවෙන් බංකොළොත් විය.

නව තාක්ෂණයේ විකාශයත් සමග විශ්‍රාම යෑමට අපේක්ෂා කරන විශාල සේවක සංචිතයකට දිගු කාලයක් වැඩ කිරීමට සිදුවිය හැකිය. නව තාක්ෂණයට අනුගත වෙමින් ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ජීවිත කාලය පුරාම වැඩ කිරීමට වැඩි දෙනකුට අත්වෙන ඉරණමක් වනු ඇත. තාක්ෂණය නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය මෙහෙයවන කාරක බලවේගය පත්වනු ඇත. අර්ථසාධක අරමුදල් ශ්‍රම බළකායේ නිපුණතා සහ හැකියාවන් වැඩිදියුණු කිරීමට අදාළ පුහුණු ආයතන ඇරඹීමට සහ නඩත්තු කිරීමටද ආයෝජනය කළ යුතුවේ. සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා පොදු නිවාස යෝජනා ක්‍රම ගොඩනැඟීමටත් ඒවා මිලට ගැනීමට ණය පහසුකම් සැපයීමටත් ආයෝජනය කළ යුතුය.

ආසියාවේ ක්‍රියාත්මත සාර්ථක අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් මොනවාද?

මැලේසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් සේවක සේව්‍ය නියෝජිතයන්ගේ භාරකාරීත්වය සාර්ථකව පරිපාලනය වේ. සිංගප්පූරුවේ සේවක අර්ථසාධක මුදල රට වැසියන්ගේ නිවාස අවශ්‍යතාවයන් පිරිමසා ලීමට තට්ටු නිවාස ඉදිකිරීමට ආයෝජනයන් කරන අතර සාමාජිකයන්ගේ සෞඛ්‍ය සේවාවන් සපයා දීමට රක්ෂණ ආවරණයන්ද සපයයි. AustralianSuper විශ්‍රාම වැටුප් අරමුදලද තවත් ඒක් ආදර්ශමත් ක්‍රමවේදයකි. ඔස්ට්‍රේලියානු සුපර් යනු ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනය සහ ඔස්ට්‍රේලියානු කර්මාන්ත කවුන්සිලය විසින් හවුල් භරකාරත්වයක් යටතේ කළමනාකරණය කරන තවත් ආසියාවේ පවතින ශක්තිමත් අරමුදලකි. වසර 38ක් සාර්ථකව ක්‍රියාත්මක වන අරමුදල සාමාජිකයන් මිලියන 3 කගේ ඉතුරුම් වත්කම් ඔ. ඩො. බිලියන 300 කළමනාකරණය කරයි.

මග නිවැරදි නම් ගමන වරදීමට හේතුවක් නැත

කම්කරුවන්ගේ යහපත නියෝජනය කරන වෘත්තීය සමිති සහ කර්මාන්ත මණ්ඩල, හාම්පුතුන්ගේ සම්මේලන හවුල්ව තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා අර්ථසාධක අරමුදල් ආයෝජන යොදවා බහුතර සමාජ ප්‍රජාවේ දිගුකාලීන සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා දැන්වත් ඉදිරිපත් විය යුතුය.

ජයශ්‍රී ප්‍රියලාල්

advertistmentadvertistment
advertistmentadvertistment