ප්‍රශ්න පත්‍රය පිට කළ සර් උත්තර පත්‍ර පරීක්‍ෂාවටත් ගිහින්

1213

තවත් සේවකයෙක් දැලේ

ලකුණු දීමේ ක්‍රමය හදන්නත් හවුල් වෙලා

උසස් පෙළ කෘෂිවිද්‍යා II ප්‍රශ්න පත්‍රය පිට කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ගුරුවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාවට සහ පිළිතුරු පත්‍රවලට ලකුණු දීමේ ක්‍රමවේදය සකස් කිරීමට මෙන්ම අතිරේක විභාග පරීක්‍ෂක ලෙස ද කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.

52 හැවිරිදි එම ගුරුවරයා ගුරු වෘත්තියට පැමිණ වසර 20ක් වන බවත් ඉන් වසර 15ක පමණ සිට උත්තර පත්‍ර පරීක්‍ෂාවට සහභාගිවී ඇති බව හෙළිවූ බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ‘දිවයින’ට පැවසීය. එපමණක් නොව, ඔහු පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීමටද එක්වූ අයකු බවද සමරකෝන් මහතා කීය.

මෙම ගුරුවරයා විසින් කෘෂිවිද්‍යා II ප්‍රශ්න පත්‍රය ඔහු උගන්වන පාසලේ දරුවන්ට ලබාදී නැති බවත් සිය උපකාරක පන්තිවලට සහභාගිවූ සිසුන්ට වට්ස්ඇප් මගින් ලබාදී ඇති බවත් ඒ මහතා කීය. ප්‍රශ්න පත්‍රය පිටකළ ගුරුවරයාට එම ප්‍රශ්න පත්‍රය ලබාදුන් ගුරුවරියක සම්බන්ධයෙන් ප්‍රකාශ වන බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන වැඩිදුර විමර්ශනයේදී තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය.

සැකකාර ගුරුවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සහ දෙවැනි කොටස නැවත පත්වනවා ද යන්න තීරණය කරන බවත් මේ වනවිට කෘෂිවිද්‍යා II ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 01 වැනිදා පැවැත්විය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් පමණක් සිදුකළ බවත් සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කෘෂිකර්ම විද්‍යා විෂයයේ දෙවන ප්‍රශ්න පත්‍රය පිටතට යැවීමේ සිද්ධියට සම්බන්ධ බව කියන අම්පාර විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ තවත් සේවකයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment