මහින්දානන්දට නලින්ට ඇති අල්ලස් නඩුව අස්කර ගන්නේ නෑ  

426

අල්ලස් කොමිසම උසාවියට දන්වයි

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් රුවන්ජිත් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (25 දා) පස්වරුවේ කොළඹ දෙවන ස්ථිර විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කර ඉදිරියට පවත්වාගෙන යෑමට අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාවේ කොමසාරිස්වරුන් උපදෙස් ලබාදී ඇතැයි ද එම කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය ඊයේ (25 දා) විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නාය.

අල්ලස් කොමිෂන් සභාව කළ එම දැනුම්දීම අනුව නඩුවේ සාක්‍ෂි විභාගය ලබන මැයි මස 10 දා ආරම්භ කිරීමට අමල් රණරාජා, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.

පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ දාම් හා කැරම් කී‍්‍රඩා උපකරණ තොගයක් 2015 ජනාධිපතිවරණ සමයේදී වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි 05කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු අධි චෝදනා 06 ක් යටතේ එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment