මිල කළ නොහැකි මත්ද්‍රව්‍ය සමග කෝටිපතියෝ දෙදෙනෙක් දැලේ

3684

අලුත්ම මත්ද්‍රව්‍යයක් අසුවුණේ පළමු වතාවට
සෙල්ලම් බඩුවල ඔතලා තිබිලා

මිල කළ නොහැකි ලංකාවට ආවේණික අලුත්ම (4MMC) මත්ද්‍රව්‍ය තොගයක් සමග කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ ගෝලයකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (05 වැනිදා) සමත් විය.

ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව මොරටුව තෙමහල් සුවිසල් නිවසක් වටලා සෝදිසි කිරීමේදී මෙම අලුත්ම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ සෙල්ලම්බඩුවල බහා තිබියදීය. එහිදී එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයෙක් (03දා) එම ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම නිවසේ සෙල්ලම්බඩුවලට ඇතුල් කරන මෙම අලුත්ම මත්ද්‍රව්‍ය මාලදිවයිනට යවා ඇතැයි හෙළිවූ බව එම ඒකකය කියයි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය මාලදිවයින වෙත යැවීමට උදව් කරන තවත් කෝටිපති ව්‍යාපාරිකයකු (03දා) අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට එම ඒකකය සමත් විය.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය රැගෙන යමින් උදව් කරන පුද්ගලයෙක් දෙහිවල, ඇන්ඩර්සන් පාරේදී කොටුකර ගන්නා ලදී.

මෙම අලුත්ම මත්ද්‍රව්‍ය ලංකාවෙන් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බවද එම ඒකකය පවසයි.

සුපිරි ධනකුවේරයන් භාවිත කරන මත්ද්‍රව්‍යයක් බවට සැලකෙන මේවා මිලෙන් ඉතා අධික බවද පැවසේ.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, පොලිස් සැරයන් බටුවත්ත (1445) ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment