යුරෝපයේ දරුණුම අපරාධ කල්ලියේ 207 කට ඉතාලි උසාවියකින් වසර 2200 ක සිර දඬුවම්

288

යුරෝපයේ සිටින දරුණුම යැයි සම්මත අපරාධ සංවිධානයක් වන ‘නිඩ්රැන්ගෙටා’ සංවිධානයේ සාමාජිකයන් 207 දෙනකු කප්පම් ගැනීමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම දක්වා චෝදනා රැසකට වරදකරුවන් කරමින් ඉතාලි අධිකරණයක් මගින් පෙරේදා (20දා) වසර 2200කට අධික සිරදඬුවම් නියම කර තිබේ.

මෙසේ දීර්ඝ සිර දඬුවමක් නියම වූ පිරිස අතර 70 හැවිරිදි වියෙහි පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද සිටින අතර ඔහු මෙම අපරාධ සංවිධානයේ කටයුතු සම්බන්ධීකරණය කර ඇති බව අනාවරණය වී තිබේ.

ඉතාලි අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වසර දෙකයි මාස නවයක් මුළුල්ලේ විභාග කරන ලද නඩුවක තීන්දුව වශයෙන් මෙසේ මෙම අපරාධ සංවිධානයේ සාමාජිකයන් හට දැඩි සිරදඬුවම් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙම සංවිධානයේ සාමාජිකයන් 322 දෙනකු ඔවුන් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් වසර 5000කට ආසන්න සිර දඬුවම් ලබා දෙන ලෙස පැමිණිල්ලේ නීතිඥයන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ය.

ඉතාලියේ දුප්පතුන් වැඩි වශයෙන් වාසය කරන කැලබි්‍රයන් ප්‍රදේශයේ ලැමේසියා ටර්මේ නගරයේ ආරක්ෂිත බංකරයක පවත්වාගෙන ගිය අධිකරණ ශාලාවක පවත්වා ඇති මෙම නඩු විභාගයේ අවසන් තීන්දුව දැක බලා ගැනීමට නීතිවේදීන් හා මාධ්‍යවේදීන් සිය ගණනක් අධිකරණ ශාලාව වෙත පැමිණ සිට ඇත. මෙසේ සිරදඬුවම් ලැබූ පිරිස නියෝජනය කරන නිඩ්රැන්ගෙටා සංවිධානයේ කටයුතු මේ වන විට රටවල් 40කට පමණ ව්‍යාප්ත වී ඇති බව ද අනාවරණය වී තිබේ. මෙම නඩු විභාගය අවසානයේ පැමිණිල්ල විසින් චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි 16 දෙනකු ඇතුළු චුදිතයන් 131 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය විසින් පියවර ගෙන තිබේ. මෙම චූදිතයන්ට සිරදඬුවම්වලට එරෙහිව දෙවරක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණය විසින් නිවේදනය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment