විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන්ගේ සක්වල ශතකාභිමානය සපුරයි

66

කොවිඩ් 19 වෛරසය මෙරට තුළ දැවැන්ත ලෙස පැතිරී ගිය අවදියේදී මෙරට දරු පරපුරටත් පුරවැසි පරපුරටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය. කොවිඩ් 19 වෛරසයේ පැතිරයාමත් ඒ තුළින් මතුවූ ආර්ථික ගැටලු‍ හරි හැටි කළමනාකරණය කර ගැනීමට එවක රජය කටයුතු නොකිරීම නිසා ඇති වූ ආර්ථික අර්බුදයත් බංකොලොත්භාවයත් නිසා රට තුළ විශාල වශයෙන් ඖෂධ හිඟයක් පවා ඇති විය. රෝගී වූ ගිලන් වූ ජනතාවට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීම නිසා අසරණ වූ වාර අනන්ත අප්‍රමාණ විය.

මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවත් විපක්ෂයේ සෙසු පක්ෂත් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ලෙස තවදුරටත් මේ තත්ත්වය දෙස බලා සිටිය නොහැකි නිසා ආණ්ඩු බලයක්, අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය හෝ රාජ්‍ය අමාත්‍ය වැනි වරප්‍රසාද වරදාන නොමැතිව වුව ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුය යන පරාර්ථකාමී හැඟීම පෙරටු කර ගෙන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පෙරට පැමිණියේය. තමන්ගේ පක්ෂයට විවිධ දානපතීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන අරමුදල් උපයෝගී කරගෙන රටේ පුරවැසි පරපුර සහ 41 ලක්ෂයක් වූ දරු පරපුර වෙනුවෙන් සේවාවක් කිරීමේ අරමුණින් නව වැඩසටහන් ත්‍රිත්වයක් දියත් කළේය. ඒ වැඩසටහන් ත්‍රිත්වය වන්නේ,

01- සක්වල බස් රථ වැඩසටහන

02- සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන

03- හුස්ම වැඩසටහන

විවිධ දේශපාලන පක්ෂවලට විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන අරමුදල් තමන්ගේ සුඛ විහරණය, සැපය වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් ගොඩනැගිලිවලට, විදේශ රටවල නිවාසවලට, රථ වාහනවලට ආයෝජනය කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් වඩාත් විනිවිදභාවයෙන් හා පාර්දෘෂ්‍යභාවයෙන් යුක්තව මෙම වැඩසටහන් සඳහා ආයෝජනය කළේය. මේ වන විට එම වැඩසටහන් මඟින් රටේ ජනතාවට ආයෝජනය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 6603කි.

  • සක්වල බස් රථ වැඩසටහන බස් රථ 80 රුපියල් ලක්ෂ 3892
  • සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන පාසල් 100 රුපියල් ලක්ෂ 992
  • හුස්ම වැඩසටහන රෝහල් 56 රුපියල් ලක්ෂ 1719

ජනපති පවා උදව් ඉල්ලූ විපක්ෂයෙන් හුස්මක්

මෙම වැඩසටහන් ත්‍රිත්වයෙන් පළමුවෙන්ම ක්‍රියාත්මක වූයේ විපක්ෂයෙන් හුස්මක් නම් රටේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සහ වෛද්‍ය උපකරණ හිඟය සඳහා පිළියම් සෙවීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වූ වැඩසටහනයි. ඒ වන විට කොවිඩ් 19 වෛරසය රට පුරා පැතිර ගොස් ඇති අවස්ථාවේ ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමේ අරමුණ පෙරදැරිව 2020 අප්‍රේල් 25 වැනි දින රුපියල් විසිහත් ලක්ෂ පනස්දහසක් (2,750,000) වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් නැගෙනහිර කොළඹ පිහිටි මුල්ලේරියා රෝහලටත් එදිනම හෝමාගම මූලික රෝහලට ලක්ෂ 34ක් වටිනා මල්ටි පැරා මොනිටර්ස් 4ක් ද පරිත්‍යාග කළේය. ඉන් නොනැවතී මාලිගාවත්ත වකුගඩු රෝහල, රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල, තලංගම, නවගමුව, පොල්ගස්ඕවිට වෑතර, බුත්තල, කතරගම, පානම, අකරගම ආදී ප්‍රාදේශීය රෝහල් සඳහා මෙන්ම කරාපිටිය, කුලියාපිටිය, කුරුණැගල, යාපනය ආදී ශික්ෂණ රෝහල් සඳහා ද මේ යටතේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය. මෙම වැඩසටහනේ සාර්ථකත්වය දුටු එවක අග්‍රාමාත්‍ය මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 18 වැනි දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට ලබාගත නොහැකි ඖෂධ ලබාගැනීමට හුස්ම වැඩසටහන තුළින් උදව් උපකාර කර දෙන ලෙසයි. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 2022 ජූලි 06 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් 15,600,000 වටිනා Recombinant Streptokinase නම් එන්නත ලබාදීමට කටයුතු කළේය. මේ වැඩසටහන සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 1719කට ආසන්න මුදලක් වැය කර තිබේ.

රටේ දියුණුව කෙරෙහි බලපාන අනෙකුත් සාධකය වන්නේ දැනුමෙන් සුපෝෂිත දරු පරපුරක් සිටීමයි. නව ලොවට ගැලපෙන දැනුමෙන්, තාක්ෂණයෙන්, කුසලතාවයෙන් හා නිපුණතාවෙන් හෙබි සුහුරු දරු පරපුරක් නිර්මාණය කිරීමෙන් රට පත්ව ඇති බංකොලොත්භාවයට පිළියම් සෙවිය හැකිය යන විශ්වාසය පෙර දැරිව සක්වල බස්රථ වැඩසටහන සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන ආරම්භ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන්ගේ සක්වල ශතකාභිමානය සපුරයි

සෑම වසරකම දිවයින පුරා විසිරී ඇති පාසල් සිසුන්ගේ විෂය බාහිර හා සමගාමී ක්‍රියාකාරකම්, අධ්‍යාපන චාරිකා, සමස්ත ලංකා තරග ආදිය සඳහා වෙනත් පාසල් වෙත සහ අගනුවර වෙත ළඟා වීමට වාර්ෂිකව අතිවිශාල මුදලක් එකතු කරනු ලැබේ. සමහර පාසල් එවැනි අත්‍යාවශ්‍ය ගමන් සඳහා පෞද්ගලික බස් රථ සේවා ලබාගැනීමට රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වාර්ෂිකව වැය කර තිබේ. මෙම මුදල් එකතු කරනු ලබන්නේ අහිංසක දූදරුවන්ගේ දෙමාපියන්ගෙන් බැවින් තවදුරටත් එම බර දෙමාපියන්ට ලබාදීම අවම කිරීම සඳහා මෙම සක්වල බස් රථ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. හම්බන්තොට දෙබරවැව ජාතික පාසලෙන් ආරම්භ වූ සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් අදාළ පාසල වෙත පරිත්‍යාග කළ අතර මේ වන විට දිවයින පුරා පාසල් 80කට එවැනි බස් රථ 80ක් ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක මුදලක් වැය කර තිබේ.

පසුගිය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වූ කාලයේ මෙරට පාසල් දරුවන් මාර්ගගත ඉගැන්වීම් සිදුකිරීම සඳහා නිසි තාක්ෂණයක් නොමැති වීම නිසා ගස්, ගල්, පර්වත, කඳු මුදුන් පවා තරණය කළ අයුරු මාධ්‍ය මඟින් දැකගත හැකි විය. එකම දුරකථනයෙන් දරුවන් පස්-හය දෙනකු පවා අධ්‍යාපනය ලැබූ අයුරු දැකගත හැකි විය. සමහර පාසල්වල පරිගණකයක් හෝ නොමැති වීම නිසා ගුරුවරුන් පවා දැඩි අපහසුතාවට ලක් විය. මෙවැනි තත්ත්වයක් තුළ රටේ පාසල් 10126ම සිටින 41 ලක්ෂයකට ආසන්න පාසල් දූදරුවන් නව තාක්ෂණයෙන් සවිබල ගන්වා සුහුරු සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කරගෙන සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන 2021 දෙසැම්බර් 30 වැනි දින සිට ක්‍රියාත්මක වූ අතර මෙහි මංගල වැඩසටහන තණමල්විල් බෝදාගම මහ විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදු විය.

සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය, සුහුරු පුරවැසියා, සුහුරු රට සහ සුහුරු ගෝලීය පුරවැසියා යන ඉලක්කය කරා යන මේ ගමනේදී 2024 පෙබරවාරි 16 වැනි සිකුරාදා දින වන විට සුහුරු පන්ති කාමර 100 ඉලක්කය සම්පූර්ණ වේ. මෙම සුහුරු පන්ති කාමරයක් සඳහා නවීන තාක්ෂණයෙන් යුත් අංගසම්පූර්ණ නව පරිගණක 5ක්, ලේසර් මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණක මේස සහ පුටු, අන්තර්ජාල පහසුකම්, අඟල් 54ක ස්මාර්ට් බෝඩ් එකක්, ඉංග්‍රීසි ශබ්දකෝෂ මෙන්ම ඇතැම් පාසල්වල තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදුකරන ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමද සිදු කෙරේ.

මෙම වැඩසටහන් ත්‍රිත්වයම ක්‍රියාත්මක වන්නේ පාරදෘෂ්‍ය හා වඩාත් විනිවිදභාවයෙන් යුක්තව වන අතර අදාළ දානපතියන් සහ ව්‍යාපාරිකයන් විසින් සෘජුවම අදාළ මුදල්, භාණ්ඩ ලබාදෙන ආයතන වෙත යොමු කර අදාළ භාණ්ඩය සෘජුවම පාසල් වෙත යොමු කරන නිසා කිසිදු මුදල් වංචාවක් සිදු නොවීමද මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂී ලක්ෂණයකි. මෙකී විනිවිදභාවය නිසාම දානපතියන් රාශියක් ස්ව කැමැත්තෙන්ම මෙකී භාණඩ සහ උපකරණ ලබාදීමට කටයුතු කිරීම තුළ මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

76 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ විපක්ෂයක් විසින් පළමු වරට ජනතාව වෙනුවෙන් මේ තරම් විශාල සේවාවක් ඉටු කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාස ගත වේ. සුරංගනා කතාවලට, බොළඳ කතාවලට සීමා නොවී ප්‍රායෝගිකවම සේවය කර පෙන්වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. එම නිසා හුස්ම සහ සක්වල යන වැඩසටහන් තවත් කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් අප ප්‍රාර්ථනා කර සිටිමු.

ගිෂාන් විජේසුන්දර

advertistmentadvertistment
advertistmentadvertistment