හරක් කටාගේ කොස්තාපල්ට රතු වරෙන්තු

643

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ ව්‍යර්ථ වූ සැලසුමට උපකාර කිරීමෙන් පසු රටින් පලා ගිය එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

රටින් පලායෑමෙන් පසු සැකකාර කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑම සඳහා සැකසූ සැලසුමට උපකාර කිරීම සම්බන්ධයෙන් මොහුට රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ ලබා දී ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමේ සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු මෙම කොස්තාපල්වරයා දකුණු මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් එතනින් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව හෙළි වී ඇත.

ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව මෙම සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමට සැකසූ සැලසුම සඳහා එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහාය වී ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment