ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට ලක්ෂ 160ක් තෑගි

252

සිරාජ් දෙනවා කිව්වට දුන්නේ නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩාංගණ භාරකරු ගොඩ්ෆ්‍රි දබ්‍රේරා

ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කැපවී කටයුතු කළ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දෙන බවට පොරොන්දු වූ ත්‍යාග මුදල් පසුගියදා තමන්ට හිමි වුවද මොහොමඩ් සිරාජ් විසින් ලබා දෙන බවට කී ත්‍යාග මුදල් මෙතෙක් හිමි නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩාංගණ භාරකරු ගොඩ්ෆ්‍රි දබ්‍රේරා මහතා ‘දිවයින’ට පැවසීය.

පසුගිය සැප්තැම්බර් මස පැවති එම තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ ඉන්දියාවේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් එම තරගයෙන් අනතුරුව කියා සිටියේ තරගයේ වීරයා සම්මානය සඳහා තමන්ට ලැබුණු මුදල ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය වෙත පිරිනමන බවයි.

එහෙත් ඩොලර් පන්දහසක් වූ එම මුදල තවමත් තම කාර්ය මණ්ඩලයට හිමි නොවූ බව ගොඩ්ෆ්‍රි මහතා සඳහන් කළේය.

සිරාජ විසින් එම තරගයේදී ලකුණු 21 කට කඩුලු හයක් දවා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 කට සීමා වූයේය.

ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට ලක්ෂ 160ක් තෑගි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය පොරොන්දු වූ පරිදි පිරිනමන ලද ත්‍යාග මුදල සේවකයන් අතර බෙදා දුන් බවද කොළඹ ක්‍රීඩාංගණවල සේවය කළ ඇතැම් සේවකයන් සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමි වූ බවද ගොඩ්ෆ්‍රි මහතා කීය.

“අපිට ලක්ෂ එකසිය හැටක පමණ මුදලක් ලැබුණා. ඒවා එක එක සේවකයන්ට එක එක විදිහට බෙදී ගියා. ඔවුන් වැඩ කළ දින ගණන අනුව එය වෙනස් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩ කළ සමහර සේවකයන්ට ලක්ෂයක මුදලකුත් ලැබුණා. නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ වැඩ කළ සේවකයෙක්ට ලැබෙන උපරිම මුදල 75000 යි. කොහොම හරි රුපියල් 20000 සිට 100000 දක්වා තෑගි මුදල් සේවකයන්ට ලැබුණා. හැබැයි මම සත පහක්වත් ගත්තේ නැහැ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයේ 138 දෙනකුට අදාළ මුදල් ත්‍යාග ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයේ 115 දෙනකුට අද (08 වැනිදා) එම ත්‍යාග මුදල් ලබාදීමට නියමිත වේ.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව අදාළ කාර්යය මණ්ඩල සාමාජිකයන් අතර බෙදී යන මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න වන අතර මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයන්ට හිමි වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment