දේශයට ඩොලර් ඉපැයු ගාල්ලේ මහින්ද උබේසිරි

121

ගාල්ලේ ඩී. උබේසිරි 1960 වර්ෂය වනවිට හික්කඩුව ගල්මල් උයනේ (Coral Garden Hotel) ස්වර්ණාභරණ නම් වෙළෙඳ ව්‍යාපාරය දේශීය සංචාරකයන් සඳහා ආරම්භ කරන ලදී. ගාල්ලේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයෙහි මනා නිපුණත්වයක් තිබූ ධර්මසේන උබේසිරි මහතා සැබැවින්ම දැකුම්කළු කා සමගත් කුළුපගකම් පෑ, ගුණයහපත් කමින් පරිපූර්ණ වූ සැබෑම ප්‍රතාපත් සත්පුරුෂයෙක් විය. ඔහුගේ කර්මාන්ත, කොයි කාටත් දකින්නට ලැබිණි. ඔහුගේ දකුණු අත හා සමානව උදව්වට සහායට මෙන්ම වාසනාවට හේතු වූයේ එතුමාගේ සිය බිරිඳ වූ චන්ද්‍රා උබේසිරි මැතිනියයි.

ඔවුන් අසෝක උබේසිරි වැඩිමහල් දියණියත්, රංජිත් උබේසිරි පුත්‍රරත්නය ලෙසත්, ඊට පසු මහින්ද උබේසිරි තෙවන පුත්‍රයා ලෙසත්, සතර වැනියා ලෙස කුමුදු සහ අනුර සහ තිස්ස උබේසිරි ආදි වශයෙන් මෙලෙවට දායාද කළ අගනා වටිනා දරු පරපුරකි.

ඉන් තුන්වැනියා වූ මහින්ද ගාල්ලේ ප්‍රධාන ජනප්‍රිය පාසලක් වූ මහින්ද විද්‍යාලයෙන් මූලික ඉගෙනුම ලැබූ අතර ගාල්ලේ කළුවැල්ලේ ගෙදර සිට පාසල් ගමන් ගියේ බක්කි කරත්තයෙනි. ඉතා ප්‍රියජනක සිද්ධි දාමයකට මුල පිරූ මෙම ගමනේදී දඟකාරකම්, හිතුවක්කාරකම් සහ සෙල්ලක්කාරකම් බොහෝය.

කෙළිලොල් සමය ඉක්මවන මෙවැනි සමයකදී එනම් 1969 දී දකුණු පළාතේ විදේශීය සංචාරක ප්‍රවර්ධනයක් ඇතිවිය. එනම් බෙන්තොට සංචාරක නිකේතනය කේන්ද්‍රස්ථානකරමින් තවත් බොහෝ හෝටල් පද්ධතීන් බිහිවීමත් සමගය. ඒ සමගම තව තවත් තරු හෝටල් බිහිවීම දක්වා මෙය විහිදිණි. මේවා දකුණු ලකේ දීප්තිමත් තරු කැට බවට පත්විය.

මේ වකවානුව වන විට ගාල්ලේ ඩී. උබේසිරි මහතාගේ හික්කඩුවේ ආරම්භ කළ විදේශීය සංචාරක ස්වර්ණාභරණ වෙළඳ ව්‍යාපාරය සීඝ්‍ර දියුණුවකට පාවෙමින් තිබිණ. ඒ සමගම ලංකාවේ පළමු වතාවට 1972 වර්ෂයේදී රාජ්‍ය මැණික් සංස්ථාව එවකට රජය විසින් ආරම්භ කරන්නට යෙදුණි. මේ වනවිට ඩී. උබේසිරි සහ සමාගම හික්කඩුව ගල්මල් උයනේත් ඩී. උබේසිරි සහ සමාගම බෙන්තොට බීච් හෝටල් සංකීර්ණයෙහි සහ බෙන්තොට මොරගල්ල උබේසිරි සහ සමාගම යන ආයතනවල පූර්ණ පරිපාලන කටයුතු මෙහෙයවනු ලැබූවේ මහින්ද උබේසිරි තරුණ මහතා විසිනි. නව යොවුන් වියේ සිටි ඔහු රත්නපුර ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක වාසනාව හිමිකරගත් සරණපාවා ගැනීමටත් ඉන් අනතුරුව ඔහුට ජීවිතයේ තවත් වැදගත්ම පැත්තකට නැඹුරුවීමේ අවස්ථාවක්ද හිමිවූයේ තම උපතින්ම ලත් වාසානා බලමහිමයෙනි.

එනම් 1966 වර්ෂයේදී දකුණු ලකේ දෙස් විදෙස්වල ජනප්‍රියතාවයට වගේම ඓතිහාසික වැදගත් වූ සහ ලෝක උරුමයක් ලෙස නම් ලැබූ ඕලන්ද බලකොටුව තුළ පිහිටි සුවිසල් මැඳුරක් මිලදී ගැනීමට, ගාල්ල කොටුවේ රෑම්පොට් වීදියේ පිහිටි එම සුප්‍රසිද්ධ ගොඩනැගිල්ල ”රැම්පොට් හෝටලය” සහ උබේසිරි මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරය පුළුල් ලෙස ප්‍රදර්ශනාගාර මට්ටමේ ව්‍යාපාරයක් බවට පත්කරමින් සිය ආදරණීය පියතුමා ගෙනෙන ලද ඉහත සඳහන් ව්‍යාපාරය නව නම්මකට හැරවීමටත් රැම්පොට් හෝටලයේ නිර්මාණත්වය ලබා ගැනීමේ ගෞරවයත් මහින්ද උබේසිරි මහතාට හැකියාව ලැබුණේ වාසනාවේ බලමහිමයෙන් වගේම උපතින්ම ගෙනෙන ලද සිය දක්ෂතා නිසාය. මෙහිදී ඔහුට පූර්ණකාලීන සහයෝගය ලැබුණේ දකුණත හා සමානව සිටි තමාගේ එකම සහෝදර අනුර උබේසිරිගෙනි.

මහින්ද මහතා ඉදිරියට මැණික් ගල් සහ දේශීය ස්වර්ණාභරණ නිපැයුම් මුදලට විකිණීමට පැමිණියේ ලංකාවේ නන් දෙසිනි. බේරුවල, කළුතර, රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, පැල්මඩුල්ල වගේම මීටියාගොඩ, ගාල්ල, අම්බලන්ගොඩ, මාතර, කැකුණදුර ආදී ප්‍රදේශවලින් එන වෙළෙඳ ප්‍රජාව සිංහල, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ඉස්ලාම් ආදි මොන අයෙක් වුවද ඔවුන් සියලු දෙනා මිතුරන් ලෙස පිළිගැනීම සිදුවීමත්, අවංක භාවය නිසාත් දිගින් දිගටම මෙම පැමිණීම සිදුවූවා සේම, බොරු නොකීම, තම ඉදිරියට එන අය රැවටීම හෝ ගැරහීම නොදැක්වීම මහින්ද විෂයෙහි තිබූ සුවිශේෂ ගුණාංගයන්ය. ඊට අමතරව මෙවැනි දුර බැහැර වගේම විවිධ ජාතීන් පැමිණීමේ තවත් ප්‍රසිද්ධ රහසක් විය. එනම් තම ඉදිරියට පැමිණි සියලු දෙනාගේ මිලදී ගැනීම් කළේ අත්පිට මුදලටය.

මේවා මෙසේ තිබියදී වවිධ මට්ටමේ ස්වභාවික විපත් ආපදාවලට මේ ආයතනය ද මුහුණ දුන් කරුණු අතර සිටින අතර 2022 ජූනි මස මහින්ද උබේසිරි හදිසියේ වියෝවිය.

මෙතුමාගේ ජීවිත කාලයේදී ව්‍යාපාරික කටයුතු මගින් මහත් වූ පවුල් සාමාජික පිරිසකට සෙත සැලසුවා සේ ඊට අමතරව පන්සල්, කෝවිල්, පල්ලි, අනාථ මඩම් සහ පිහිටු විය යුත්තන්ට පිහිට වීම ද මහත් සේ කළ සමාජ සේවා පිංකම් අතර වෙති.

එසේ නම් වර්ෂ පූර්ණ මෙම වකවානුවේදී ඔහු ස්මරණය කරමින් තම ආදරණීය බිරිඳ, දූදරුවන් සහ සහෝදර ආදීන් එම සත් ව්‍යාපාරවල යෙදීම නිතැතින්ම සිදු කරනු ලබන්නේය.

ජී. හේවගේ පියතුංග

advertistmentadvertistment
advertistmentadvertistment