මහාචාර්ය සරච්චන්ද්‍රගේ ගෙදර දී මහාචාර්යවරයකු කරපිට නැඟි මහාචාර්යවරයා

149

මහාචාර්ය ජේ. බී. ‘ගුරුතරුව’ට එක්වෙමින් කියයි

ජේ. බී. යන්න ජන බස් දිසානායක ලෙස ඇතැම්හු වහරති. එතරම් මැ එතුමෝ අපේ ජන බස, වාග් විද්‍යාව සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන අද ලංකාවේ සිටින ඉහළම විද්වතෙකි. මා දන්නා හැටියට දිගම නම ඇති මහාචාර්යවරයා ද ජේ. බී ය. රාජපක්‍ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක එතුමාගේ සම්පූර්ණ නමය. සාහිත්‍ය සූරි සම්මානයෙන් ද පුද ලද මේ විද්වතා වාග් විද්‍යාව පිළිබඳ උපාධි දෙන ඇමෙරිකා හා බි්‍රතාන්‍ය ක්‍රම ද්වයෙහිම උගත් ඒ පිළිබඳ ශාස්ත්‍ර ඥානය ලත් එකම ලාංකික විද්වතා ය.

දැන් ජේ. බී සර් ගැන කතා කළා ඇති ය. මගේ අරමුණ එතුමාට නැණ නුවණ දුන් ගුරුතරු ගැන කතා කිරීමය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එතුමාගේ ගුරුවරයෙකි. ඊටත් අමතරව කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකුව සිට පසුව කැලණිය කුලපති ධුරයට පත් එස්. එල්. කැකුළාවල ඔහුගේ සිත්ගත් තවත් ගුරුවරයෙකි. ඔහුගේ රසාලිප්ත මතකය ඔස්සේ අපි දැන් සැරිසරමු.

4 වැනි පන්තියේ අත්දැකුම

මහාචාර්ය සරච්චන්ද්‍රගේ ගෙදර දී මහාචාර්යවරයකු කරපිට නැඟි මහාචාර්යවරයා

‘මගේ පාසල කොළඹ ආනන්ද විදුහල. පාසල් සංස්කෘතියත් අපට අමතක වෙන්නේ නැහැ. ජී. ඩබ්ලිව්. රාජපක්‍ෂ සර් හා තවත් ගුරුවරුන් අපට හිටියා. ඒත් මගේ භාෂා ශාස්ත්‍ර දියුණුවට මුලින්ම බලපාන්නේ 4 වැනි පන්තියේ දී අපට සිංහල උගැන්වූ එස්. ඒ. කැකළාවල ගුරුතුමා. එතුමා බොහොම සිත් ගන්නා විදියට ඉවසීමෙන් දරුවනට උගැන්වුවා. ගුරුවරයා කෙරෙහි ආදරයක් ලැදියාවක් ඇතිවන විදියට උගන්වන නිසා ඒ විෂයය කෙරෙහිත් අපේ ආදරය වැඩුණා. අක්‍ෂර වින්‍යාසය හොඳින් බැලුවා. කොමාවක්, පෙරළි කොමාවක්වත් වරද්දන්න දුන්නේ නෑ. දරුවන්ට උගන්වන්නට මහා මෙහෙයක් ගත් ගුරුතුමෙක්.

පසුකාලීනව එතුමා කැලණිය සරසවියේ සංස්කෘතික අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකුව ඉඳලා එම සරසවියෙම කුලපති බවටත් පත්වුණා.

මුදු මොළොක් ඉගැන්වුම ඉවසීම, දයාව, උගන්වන රටාව මේ හැම දේම සිත් ගන්නා ස්වරූපයක් තිබුණු නිසා අපිත් සර්ට ආදරෙයි. ආචාර්ය කොටගම වාචිස්සර හාමුදුරුවොත් අපේ සිත් ගත් ගුරුවරයෙක්. දැඩි ගති තිබුණත් උගන්වන දේ මුදු මොළොක්ව අපේ සිත්වල තැන්පත් කළා මේ ගුරුවරු.

සිංහල දරුවෝ සඟරාව

1956 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආනන්ද විද්‍යාලයේ සිංහල සඟරාවට කතුවැකිය ලියන්නට මා මෙහෙයවූයේ කැකුළාවල ගුරුතුමායි. මා එහි කතුවරයා ලෙසත් වැඩකළේ මේ ගුරුවරයාගේ උපදෙස් මතයි. පිරිසිදු බුදුදහම එකඟ නැති සමහර ජනප්‍රිය කාරණා පසුපස බෞද්ධයන් හඹා යෑමේ අනිටු විපාක කියාදෙන විවේචන කරන ලිපි මෙහි පළවුණා. කතුවැකියත් ඒ විදියටම විවේචනාත්මකයි. එය විදුහල තුළත් විශාල කීර්තියක් ලැබුවා.

‘මනමේ’ හිත සලිත කළා

1956 මේ රටේ විශාල වෙනස්කම් කළ වසරක්. මාත් ගෞරව උපාධියක් හදාරන්න පේරාදෙණිය සරසවිය යන්නේ 1957 දී. 1956 දී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී බලපානවා. ඒ දෙවැනි දර්ශනය. මුළු නාට්‍ය ලෝකයම වෙනස් කළ අපූර්ව අත්දැකීමක් දෙන මේ නාට්‍ය හා එහි සිංහල බස හරිම චමත්කාරජනකයි. මා ඉන් වශී වෙලා හිටියා.

නැඟපන් ඩෙස්ක් එක උඩට

1957 පේරාදෙණියට ගියාම අවසන් වසර සිසුන් ආවා අපටත් ‘නවක වධය’ දෙන්න. මාවත් අල්ලා ගත්තා. ‘නැඟපන් මේ ඩෙස්ක් එක උඩට’ එකෙක් විධාන කළා. මං නැංගා මේසය උඩට. කියපන් සිදුන්වක්. දන්නෙ නෑ කියන්න බෑ. දන්නා විදියට කියපන්. ඊළඟ විධානය ලැබුණා.

මා කීවා පටලමින් ‘මනමේ’ ගීයක්.
‘ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ”
පූෂ්පයෙන් වන සුන්දරවේ ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මේ ලතා…………

මම ගීතය කියා අවසන් වෙද්දී අවසන් වසර සිසුවෝ එකිනෙකා මුහුණ බලා ගත්තා

ෆස්ට් ක්ලාස් වැඩක්

මූ, නම් ෆස්ට් ක්ලාස් එකක් අරන් මෙහෙන් යන්නේ…. එහෙම කියලා ඔවුන් මා නිදහස් කරලා එතැනින් ඇරියා. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කොළඹ දී දැකලා ඒ ආස්වාදයෙන් මේ ගීය ගායනා කළත්, රට පුරා මේ නාට්‍ය දුවන්න සූදානම් වෙමින් සිටි කාලයක නවක සිසුවෙක් මේ ගීතය කටපාඩමින් කීම ඔවුනට පුදුමයක්. සරච්චන්ද්‍ර මහත්මයා මද්දල වයමින් එහි සංගීත කණ්ඩායමේ වාඩිවී සිටි ඒ රූපයත් සිතේ නඟාගෙන මා එහි චමත්කාරය වින්දේ. ඒ 1956 නොවැම්බර් 01 දා. මට දිනයත් අදටත් මතකයි.

තවත් කෙනෙක් ඇවිත්

මා පේරාදෙණියට ආපු දිනවල කලින් මහාචාර්ය සරච්චන්ද්‍ර දැක තිබුණු නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතා කුඩා ශරීරයක් තිබුණු පොඩි කෙනෙක්. ඒත් මහා වැඩ කළ යුග පුරුෂයෙක්. එතුමා අපට පළමුවැනි දින ‘ලෙක්චර්’ එකට එන දවසෙ හරි වැඩක් වුණා.

දැන් ඔක්කොම නවක සිසුවන් බලා ඉන්නවා. සරච්චන්ද්‍ර මැතිතුමා එන්නට කලින් වෙනත් කෙනෙක් ආවා. සාහිත්‍යය හා භාෂා ශාස්ත්‍ර ගැන එතුමා බරපතළ කාරණා ගොඩක් කියමින් දැන් දේශනයේ. එකපාරට ම මහාචාර්යතුමා ශාලාවට එනවා පෙනුණා. මං නම් ඉතිං අහුවුණේ නෑ. දැන් ළමයින් හිතන්නෙ දෙසුම පවත්වන්නේ සරච්චන්ද්‍ර කියලයි. ‘සර් එනවා දැකලා අර පුද්ගලයා ඉක්මනට ශාලාවෙන් එළියට ගියා. මම නම් කලින් එතුමාව දැක තිබෙන නිසා සටහන් ලියුවේවත් නෑ.

සරල ඉගැන්වුම්

සරච්චන්ද්‍ර සර් ඇවිත් දෙසුම පටන් ගත්තා. හරිම ප්‍රියශීලියි. අහන්න ආසයි. අප දන්නා දේවල් ඇසුරින් නොදන්න දේට ගෙන යෑමයි එතුමා සරලව පැහැදිලි කිරීම් ඇසුරින් කළේ.

අධ්‍යක්‍ෂවරයෙක් නළුවන්ගෙන් දෙයක් එළියට අරගෙන ඒක ඔපමට්ටම් කරනවා වගේ සිසුවන්ගෙන් දෙයක් අරන් ඒක ඔපමට්ටම් කරලා නිවැරදි දේ මතුකර පෙන්වීමයි එතුමා කළේ. සිසුවන්ගෙන් ප්‍රශ්නත් අහපු වෙලාවන් තියෙනවා.

සටහන් දෙන්නේ නෑ

කවරදාවත් ‘සටහන්’ දෙන්නේ නෑ. ඒවා සිත් කා වදින විදියට අපේ හිතේ තැන්පත් කරනවා. සටහන් අවශ්‍ය වෙන්නේම නෑ. අදත් මතකයි. අපූර්ව වස්තු නිර්මාණය ප්‍රතිභාවයි කියලා තියෙනවනෙ. සර්, පොඩි එකා වගේ මොනව ද? මේ අපූර්ව- අපූර්ව කියන්නෙ කියලා මගෙනුත් අහනවා. සිසුවන් ගෙනුත් අහනවා. ඒ ඉගැන්වුම් රටාව කදිමයි. ජාතක කතාවේ නිරූපිත මනමේ කුමරිය මනමේ කුමරා මරන්න වැද්දට කඩුව දෙනවනේ. ඒත් සර්ගේ ‘මනමේ’ නාට්‍යයේ නිරූපිත කුමරිය එහෙම කඩුව දෙන්නෙ නෑ. ඇය වික්ෂිප්තව යන පමාවේ වැදි රජු කඩුව ගන්නවා. ඒ විදියට කානිතාව ගැන මානුෂීයව බලලා එතුමා ‘මනමේ’ කතාව ලියන්නෙ. මේ ගැනත් වරක් ප්‍රශ්න කාළාම “මා කළේ ඒ ජාතික කතාව කලාත්මක ලෙස කීමයි” කියලා එතුමා පිළිතුරු දුන්නා.

කොහොමත් එතුමා ඉතාම මානුෂීය ගුණාංග පිරි කෙනෙක්. කාන්තාවන් කෙරෙහිත් එතුමා ඒ ගුණාංගයෙන්ම බැලුවා.

පේරාදෙණිය ගුරුකුලය

පේරාදෙණිය ගුරුකුලය කීවට ඒකෙ මුලින්ම හිටියේ සරච්චන්ද්‍ර මහත්මයයි. සිරි ගුණසිංහ මහත්මයයි. පේරාදෙණිය නාට්‍ය රට පුරා ජනප්‍රිය වෙද්දී සර්ගේ නාට්‍යවල රඟපාන්න බොහෝ සිසුවන් ද ආශා කළා. ලයනල් ප්‍රනාන්දු තමයි මුල්ම ‘මනමේ’ නළුවන් අතර අද දිවිමත්ව ඉන්නෙ.

ළමයින් ඔක්කොම එක් රැස් කරලා එතුමා පුහුණුවීම් කළා. මාත් ගිහින් ඉන්නවා. සර්ට හිතට අල්ලන පෙනුම ඇති දරුවෙක් දැක්කාම ගීයක් කියන්න කියලා එතුමා ආරාධනා කරනවා.

ඉතින්! කොල්ලො ශ්‍රැතිය වරද්ද වරද්දා ගීයක් ගායනා කළාට සර් කියන්නෙ ‘ඔව්, ඔය විදියටත් ඒ සින්දුව කියන්න පුළුවන්’ කියලයි.

ඒ වචනවල කැටිවෙච්ච අපූරු සදය උපහාසයක් තිබුණා. හැබැයි රසවත් ලෙස එහෙම කීවා මිසක් හිත රිදෙන්න කාටවත් කතා කරන්නෙ නෑ.

අමාරුදේව

අමරදේව මාස්ටර් තමයි එතුමාගේ නාට්‍යවල ගී ඛණ්ඩවල තනු දමන්නෙ. මාස්ටර්ට වැඩ වැඩි නිසා වැඩකට අල්ලගන්න අමාරුයි. ඒ නිසා සර් කියන්නෙ ‘එයා අමරදේව නොවේ අමාරුදේව’ කියලයි. සිසුන්ට මේවා ඇහුවාම හිනා.

විමල විජේසූරිය කේ. එන්. ඕ. ධර්මදාස, සුචරිත ගම්ලත්, මම අපි සර්ගේ මේ සදය උපහාස කතා අහන්න ආසා සිසුවෝ. සර් දේශනවලට එනකොට පොත් මිටි ගණන් අරන් එන්නෙ නෑ. අරන් එන්නෙ පොඩි නෝට් බුක් එකක්. කතා කරන කොට ඒ මතක ගබඩාවට බොහෝ කරුණු එනවා. බොහොම රසවත් දේ කිය කියා සරල විදියට බරපතළ දේ කියා දෙනවා. අර ‘නෝට්’ බුක් එක වුණත් බලන්නෙ නැති තරම්.

අලුත් ගෙදර ජරමරේ

සර්, සංඝමිත්තා හෝල් එකේ ඉඳන් ඔගස්ටා හිල් එකේ අලුත් නිවාසයකට ආපු වෙලාවෙ සිසුවන් හැටියට අපිත් උදව් කළා. ඒ නිල නිවාසේ විදුලි බුබුළුවත් තිබුණෙ නෑ. ඒවා පවා සවි කරගන්නට සිදුවෙලා තිබුණේ අපට.

සර්ගෙන් අසා බැලුවාම එහි ඉනිමඟක් වත් හොයාගන්න නෑ. ඒ බිත්ති හරි උසයි. දැන් විදුලි බුබුළුත් සවිකර ගන්නම වෙනවානේ.

පසුව අපට සිංහල උගැන්වූ පී. බී. මීගස්කුඹුර මහාචාර්යතුමා කීවා ජේ. බී. කරන්න දෙයක් නෑ. මගේ කරපිට නැඟලාවත් මේ විදුලි බුබුළු සවිකරමු කියලා. කරන්නම දෙයක් නැති තැන එතුමාගේ නිහතමානිකමටත් ගරුකරලා මං එතුමාගේ කරමත නැඟලා මහාචාර්යතුමාගේ ගෙදර විදුලි බුබුළු එකින් එක සවි කළා.

(අද බලනකොට ඔක්කොම මහාචාර්යවරු) ජේ. බී. හිනැහෙයි. එතුමා මේ ගැන කීවේ තම ගුරුවරුන්ගේ නිහතමානීකම ද අගය කරමිනි.

ඩොකර්ටර්ගේ පේරාදෙණිය ගුරුකුලය හා මාර්ටින් වික්‍රමසිංහයන් අතර සිදුවූ මහා වාද ගැන ඔබ මොකද? කියන්නේ මම හදිසියේ ඇසුවෙමි.

මාර්ටින් වික්‍රමසිංහ ගෙන් වර්ණනා

මං ඔය එකකටවත් සම්බන්ධ නෑ. අපි පොඩි අයනෙ. මාර්ටින් වික්‍රමසිංහයන් මා ඉතා අගය කළ ලේඛකයෙක්. එතුමා නිවැරදිව සිංහල ලියනවා. එතුමගේ ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය පොතෙන් මා සිංහල බස කෙරෙහි කටයුතු කරන ආකාරය ගැන වර්ණනාවක් ද ලියා තිබෙනවා.

සරච්චන්ද්‍ර සර් හරිම සංවේදීයි. එතුමා හැමදේම බැලුවෙ මානුෂීය දෘෂ්ටියෙන්. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍ය ලැබූ ජනප්‍රියතාව නිසාම ආනන්දයේ ගුරුවරු හා කැකුළාවල මහත්මයයි, මට කීවා එවැනි නාට්‍යයක් ලියන්න කියලා. මං කොච්චර බෑ කීවත් කැකුළාවල මහත්මයා මට කීවා සරච්චන්ද්‍ර ලියනවා වගේ නාට්‍යධර්මී ශෛලියෙන් මොනවා හරි කරන්න කියලා. මං රාවණා ගීත නාටකය ලීවෙ ඒ අනුව. ඒ ගැන පුවත්පත්වල විචාරත් දෙක තුනක් ගියා. ඊට පස්සෙ තමයි මං පේරාදෙණියන්නෙ. අරුණාචලම් හෝල් එක ළඟ දී අර නවක වධයට මුහුණදෙන අවස්ථාවෙන් මා බේරුණෙත් සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ ගීයක් කියලා. සර් මේ ගැන දැන හිටියා ද කියා මා දන්නේ නෑ. ඒත් කලාවේ හැම අංශයකම යාවත්කාලීන වන ගතිය එතුමාට කවදත් තිබුණා.

සර්ට අපට උගන්වන්න ලැබුණු විෂය කාව්‍ය ශාස්ත්‍ර හා සෞන්දර්යාත්මක අධ්‍යයන විෂයය. ඉවසීම, කැපවීම, නිවැරදිව සිතීම කරුණු අධ්‍යයන කිරීම, ඒවා ගැළපීම, හොඳින් කළමනාකරණය කර ලිවීම, අභ්‍යාසය මේ හැම දේම ඉතාම සියුම් ඉවකින් අපට කාන්දු කළේ සරච්චන්ද්‍ර ගුරුතුමා. සතතාභ්‍යාසය, මනුත්පත්තිය, ප්‍රතිභාව කියන ගුණාංගයන් ගෙන් පිරුණු මහා යුග පුරුෂයෙක් මගේ ගුරුතුමා.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment