ප්‍රංශයේදී ඇල්ලූ ‘කුඩු අංජු’ ගෙන්වනවා

629

ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට පාතාල කල්ලි නායකයකු වන සිංහාර අමල් සම්පත් ද සිල්වා හෙවත් ‘කුඩු අංජු’ නමැත්තා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

කුඩු අංජු මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර ප්‍රංශ රජය සහ එරට පොලිසිය සමඟ ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා 2018 වර්ෂයේදී වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන කීපයකට මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ‘කුඩු අංජු’ නමැත්තා වෙත චෝදනා එල්ල වී තිබේ.

මෙම පාතාල නායකයා අපරාධ වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලැබුවේ ප්‍රංශයේ සැඟවී සිටිමිනි.

මොහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබූ අතර ප්‍රංශ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ එම රතු වරෙන්තුව මත ය.

සිය බිරිඳ සමඟ කුඩු අංජු ප්‍රංශයේ පදිංචිව සිට ඇති අතර අනියම් සම්බන්ධයක් මුල්කරගෙන මොවුන් අතර ආරවුලක් ඇතිවී ඇත. එහිදී කුඩු අංජු සිය බිරිඳට පහර දී ඇති අතර පසුව ඇය ප්‍රංශ පොලිසිය වෙත ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.

එහිදී කුඩු අංජු නමැත්තා ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර ඇති බව පසුව හෙළි විය. ඒ අනුව කුඩු අංජු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රංශ පොලිසිය මගින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබිණි.

මෙම පුද්ගලයා මෙරට අපරාධ ගණනාවකට අවශ්‍යව සිටින සැකකරුවකු බැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු කරන තුරු අත්අඩංගුවේ තබාගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රංශ පොලිසියට දැනුම්දී ඇත.

මෙම පාතාල නායකයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන නීතිමය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඔහු රැගෙන ඒම සඳහා පොලිස් කණ්ඩායමක් ප්‍රංශයට යැවීමට ද සාකච්ඡා කරගෙන යන බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment