දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

388

ගල් කණු ඩෝසර්වලින් ගලවා ගොඩ ගහලා…
පුරා විද්‍යා බිමේත් වගාවන්…
පුරා විද්‍යා රක්ෂිතය නිසි ලෙස වෙන් කර නැහැ කැණීම් කටයුතු නතර වෙලා ගොඩක් කල්….
සමහර ගල් කණු, පුරා වස්තු ගෙවල්වලටත් අරන් ගිහින්…

නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහදියෙන් පෝෂණය වූ පුරවරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක් අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්වට වන වදුළට යටවෙමින් තිබේ. ඒවා මිනිසුන්ගේ නොපනත්කම් හමුවේ ඩෝසර් තල පහරට හසුව අවසානය කරා ළංවෙමින් සිටිති. එම වසර දහස් ගණනක ඉතිහාසය දිනපතාම වාගේ අකාමකා දමා නැගෙනහිර අලුත් ඉතිහාසයක් ලියවෙමින් තිබේ. ඒ අනුව තව වසර කිහිපයක් ගතවුණ කල ඉපැරණි බොදු උරුමය යටපත්ව ඒ මත ඉදිවන පල්ලි කෝවිල් නැගෙනහිර පුරාම දක්නට ලැබෙනු ඇත.

මඩකලපු දිස්ත්‍රික්කයේ කරදියන්ආරු පොලිස් බල කොට්ඨාසයේ එසේ නැතිනම් චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්කුඩාවේලි නම් ප්‍රදේශයක් ඇත. එම ප්‍රදේශයේ චෙංකලඩි මහඔය මාර්ගයට යාබදව අප මේ කියනා එකල දසතටම ධර්මය බෙදූ මහා සඟරුවනගේ පා පියුමෙන් පූජනීයත්වයට පත් ඉපැරණි රජමහා විහාර සංකීර්ණය පිහිටා තිබේ. සද්ධාතිස්ස රජ දවස ඉදි වුණා යැයි සිතන මෙම පුදබිමෙහි කෙතරම් විනාශ කර තිබුණද අදටද ඉතිරිව ඇති මහා නටබුන් කන්දරාව අතීත හෙළරජ දරුවන්ගේ සහ කලාකරුවන්ගේ දස්කම් වලින් ගොඩ නැගුන ශ්‍රී විභූතියේ අභිමානය පිළිබඳව ඕනෑවටත් වඩා සාක්ෂි දරනවා ඇත.

නැඟෙනහිර උරුමය සුරකින්නට අභීතව හඬ නගන මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට මෙම ඉපැරණී පුදබිම පිළිබඳ 2008 වසරෙදි තොරතුරක් ලැබී තිබුණි. ඒ සැණින් ක්‍රියාත්මක වූ උන්වහන්සේ එතැනට වැඩමකළ විට දුටු දෙයින් දැඩිසේ කම්පාවට පත් වන්නට වූහ. එදා සිට මේ දක්වාම මෙම ඉපැරණි පුද බිම රැක ගැනීම සඳහා උන් වහන්සේ අරගල කරන්නට වූහ. අවසානයේදි මෙය රකින්නට ගිය කල පුරාවිද්‍යාවත් උන්වහන්සේ සමගින් ඔරොප්පු වන්නට විය. උන්වහන්සේත් සමග එකතුව මෙම පුදබිම රැකගන්නවා වෙනුවට උන්වහන්සේ රාජකාරියට බාධා කරා යැයි පවසමින් අධිකරණයේ නඩු පවරමින් පුරාවිද්‍යා බලධාරීන් පුරාවිද්‍යා සංහාරකරුවන් සුරතල් කරන්නට වූහ.

දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

මීට වසර කිහිපයකට පෙර මෙම පුදබිමට අප පා තැබූ විට තත්ත්වය මෙලස තිබුණි. ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඇත්තේ විශාල බෝධීන් වහන්සේ නමකි. ඒ පාමුල විශාල ගඩොල් කැබලි වලින් දිස්වූයේ එම ස්ථානයේ අතීතයේ සහ මීට වසර ගණනකට පෙර නිමකර තිබූ ගොඩනැගිලිවල කඩාබිඳ දැමූ සුන්බුන්ය. එය පසුකර තවත් අඩි කිහිපයක් ගිය විට අපි දුටු දෙයින් මවිතයට පත්වූහ. ඒ එක තැනකට ගොඩකර අති ගල්කණු විශාල ප්‍රමාණයක් අප දුටු නිසාය. මෙම ඉඩම කුමන හෝ ආකාරයෙන් අත්පත් කරගෙන තිබෙන පුරාවස්තු වනසන්නෝ මෙම ගල්කණු ඩෝසර් යොදා උගුල්ලා එක් තැනකට ගොඩ කර අපුරුවට මහා ඉතිහාසයක් යට කොට සීසා වී වපුරා ඇත.

සිරි පතුල් ගල්, සඳකඩපහණක්, ගල් කණු, කොරවක්ගල්, ඉපැරණි ශෛලමය කැසිකිළි පද්ධති ඇතුළු විවිධ ආකාරයේ පුරා වස්තූන් රැසක් ඒ අතරවිය. සුමනරතන හිමියෝ කටුකම්බි ගසා සකස් කළ දෙවටක් දිගේ අප කැඳවාගෙන යති. අපි එවර දුටු දෙයින් විස්මයට පත් වුණෙමු. ඒ ගරා වැටී තිබෙන එම දාගැබ මැදින් කණු සිටුවා කටුකම්බි ගැසූ වැටකි. පවුරු බිම දමා පෙරළා තිබුණි. ඒ මදිවට දාගැබ මුදුනින්ද වැට ගසා වගා කරද්දි පුරාවිද්‍යාව නීතිය දෙපරැන්දේ ගහගෙන දොයියාගෙන සිටින අයුරු අප එදා දුටුවෙමු.

මෙම විහාර භූමිය පුරාම ඩෝසර් කර වී වගා කර තිබුන අතර ඒ සෑම ස්ථානයකම ඉපරණි ගඩොල් ඇතුළු විවිධ පුරා වස්තුන් විසිරී තිබුණි. ඒත් කිසිවෙකුට වගේ වගක් නැත. නමුත් පුරාවිද්‍යාවේ බොහොමයක් නිලධාරීන්ට අධෝ මුඛයේ කැක්කුම හැදෙන්නේ විනාශ කරන්නන් සමග නොව රකින්නට එන සංඝයා වහන්සේ ඇතුළු පිරිසත් සමගය.

දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

නමුත් අද වන විට ඇත්තේද එවැනිම තත්ත්වයකි. එම ස්ථානයේ තිබෙන ඉපැරණී දාගැබේ සංරක්ෂණ කටයුතු ලත් තැනම ලොප්වී තිබේ. එදා මෙම දාගැබ වෙන් වන්නට ගසා තිබූ කටු කම්බි වැට පමණක් ගැලවි ඇත. එම ස්ථානයේ පුරා වස්තු රකින්නට පුරා විද්‍යා පුංචි කාර්යාලයක් ඉදි කර සේවකයෙකු රඳවා තිබේ. නමුත් කනගාටුවට කරුණ නම් තවමත් මෙම මිල කළ නොහැකි මාහැඟි වටිනාකමකින් යුක්ත පුද බිමේ පුරාවට සිසා වී වැපිරීම සිදු කර තිබීමය.

පුරා විද්‍යා ස්මාරකයක සිට යාර 400ක් පුරා විද්‍යාවට අයිති බව පැවසේ. මෙම පුදබිම හාත්පස ඇති විවිධ පුරාවිද්‍යා නටබුන් දෙස බැලීමේදී අක්කර 10කට අධික භූමි භාගයක් කරා පැතිර ඇතැයි පෙනේ. නමුත් ඒවා පුරාවිද්‍යා රක්ෂිතයට අයිති නැත. අක්කර කාලක්වත් නැති තරමේ කුඩා භූමි ප්‍රමාණයක් මායිම් දමා බෝර්ඩ් ලෑලි දමා තිබේ. නමුත් අප මීට පෙර අවස්ථාවලදී පවා එම ස්ථානයට යනවිටත් ඒම සීමාව තුළත් වී වපුරා තිබිණි. නමුත් කරුමය නම් ගල් කණු උගුල්ලා වසර සිය දහස් ගණනක ඉපැරණි උරුමයන් විනාශ කළ එවුන් හට නීතිය ක්‍රියාත්මක නොවී තිබීමය.

දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

විශේෂයෙන්ම මෙම පුද බිම ඇතුළු මඩකලපුවේ ඉපැරණි පුද බිම් විනාශ කර දැමීමට අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් කිහිප දෙනෙක් පෙරමුණ ගෙන සිටිති. දේශපාලන බලය වෙනුවෙන් අහිංසක දමිළ ජනයා උසි ගන්වමින් මෙම ඉපැරණි පුද බිම් විනාශ කර වෙනත් ඉතිහාසයක් ලියා ඊළමට පාර කැපීම ඔවුන්ගේ අභිලාෂය තිබේ. ඒ සමගම ඇතැම් මුස්ලිම් අන්තවාදීන්ද නැඟෙනහිර පළාතේ පුරා වස්තුන් විනාශ කර දැමීමට දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් සිටිති.

කවදත් නැඟෙනහිර උරුමයන් රකින්නට නිරන්තරයෙන් හඬ නගන නැගෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

මේ වන විට නැඟෙනහිර පළාත පුරා පුරාවිද්‍යා උරුමයන් දිනෙන් දින විනාශ වෙමින් තිබෙනවා. ඒවා රැක ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. අද පුරා විද්‍යාවේ ගොඩක් නිලධාරීන් නරි වාගේ ජාතියක් බවට පත්වෙලා. වෙලාවකට මේ අය හූ කියනවා. වෙලාවකට මිදි කනවා. සමහරු කියනවා මිදි ඇඹුලයි කියලා. තවත් සමහරු කියනවා මිදි පැණි රහයි කියලා. සමහරු ප්‍රයිඩ් රයිස් කනවා. සමහරු බුරියානි කනවා. සමහරු වටලප්පන් කනවා. නමුත් ගොඩක් දෙනෙක් තමන්ට පැවරුණු වගකීම වග වීමෙන් ඉෂ්ට කරන්නෙ නැහැ. පුරාවිද්‍යා ඇමැතිගේ සිට පහළ දක්වා පුරාවිද්‍යා උරුමයන් රකින්නට නිසි පූර්වාදර්ශයක් දෙන්නේ නැහැ. අපේ පෞඪත්වය, අභිමානය, යශෝරාවය රකින්නට සැබෑ ලෙසම කටයුතු කරන්නේ නැහැ. වරදාන, වරප්‍රසාද, දොල පිදේනි හමුවේ මහා පරාක්‍රමබාහු රජු වුණත් වළ දාන්න නිලධාරීන් කැමැත්තෙන් ඉන්නේ.

නැගෙනහිර බොදු උරුමය රකින්නට, සිංහල ජනතාව රකින්නට දිවිහිමියෙන් කටයුතු කරන අම්පිටියේ සුමනරතන හිමි වැනි අපේ හාමුදුරුවරුන් වහන්සේ මේවා රකින්න යද්දි මාර්ග බාධක දාලා පොලිසි අරන් ගිහින් බාධා කරනවා. උසාවි අරන් යනවා. නමුත් මේවා විනාශ කරන සුවච කීකරු ගෝල බාලයන්ට ඕන දෙයක් කරන්න ඉඩ දෙනවා.

මේ ආකාරයට මෙම ස්ථානයේ පමණක් නොව නැගෙනහිර පළාත තුළම ඇති තත්ත්වය වන්නේ පුරා වස්තු විනාශ කිරීමයි. අක්කරපත්තුව මොට්ටයාගල මේ ආකාරයට ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර දැම්මා. වට අඩි හාර පන්සියයකින් යුත් තිරුක්කෝවිල් දාගැබ නිධන් ගැනීම සඳහා ඩෝසරයකින් දෙපළු කරා. සාගම දාගැබද මේ ආකාරයෙන් නිධන් හොරුන් විසින් විනාශ කරා. මේවා මේ ආකාරයෙන් මුළුමනින්ම විනාශ කර දැමුවද පුරාවිද්‍යාවට වගේ වගක් නැහැ. හැබැයි ගැටලුවක්ව ඇත්තේ පැරණි පුදබිමක විහාරස්ථානයක සිටින හිමි නමක් පොල් වළක්වත් අවසර නොගෙන කැපුවොත්. පුරා වස්තු රැකගන්න කියා නිලධාරීන්ගෙන් දිගින් දිටම ඉල්ලා සිටියහොත්, පන්සලක් හදාගෙන මෙම උරුමයන් රැකගැනීමට කටයුතු කරන්නට ගියහොත් පොලිසියට පමණක් නොව උසාවියට පවා පුරාවිද්‍යා නිලධාරීන් දුව යනවා යැයි ගම්පහ නාරද හිමිපාණන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදි.

දිනක් පුරාවිද්‍යාව භාර ඇමැතිව සිටි විදුර වික්‍රමනායක ඇමැතිවරයා මඩකලපුව කුසලානගල පුරාවිද්‍යා ස්ථානය බලන්නට යන වෙලෙහි අම්පිටියේ සුමනරතන හිමියන් සමග මා ඇතුළු තවත් මාධ්‍යවේදින් කිහිප දෙනකුම එම ස්ථානයේ සිටියේ මෙම ස්ථානය පුරාවිද්‍යා නිලධාරීන් නිසි පරිදි රකින්නේ නැති නිසා ඇමැතිවරයාට කරුණු පෙන්වා දීමටය.

සුමනරතන හිමියන් ඇමැතිවරයාගේ වාහනය නවතා බොහොම අමාරුවෙන් වාහනයෙන් බස්සා ගත්තද පාර අසලම තිබූ මෙම පුදබිමට පා නොතබා මෙම පුදබිම විනාශ කරන්නට දී බලා ඉන්නා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන්ම වචන දෙක තුනක් අසා සැප රියට ගොඩවී සැණෙකින් පිටත්ව යන්නට විය. අපි පත්තරකරුවන් ලෙසින් කිලෝමීටර් දෙසීයකට ආසන්න දුරක් යතුරුපැදියෙන් ගොස් මෙම පුදබිම රැකගැනීමට උත්සාහ කරද්දි ඇමැතිවරයා කළේ ඒ ගැන ඇහක් ඇර නොබලා පිටව යෑමය. එවන් ඇමැතිවරුන් සිටින කල මෙවන් උරුමයන් හට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණ බව අපට ඒ මොහොතේ සිතුණි.

නැඟෙනහිර සිංහල ගම්බිම් රකිමින් උරුමය සුරකින්නට නිරන්තරයෙන් කටයුතු කරන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

මෙම පන්කුඩාවේලි පුදබිම දිනෙන් දිනම විනාශ වෙලා යනවා. අක්කර ගණනාවක් පුරා පැතිර තියෙන පුරා වස්තු ඩෝසර් කරලා වී වපුරනවා. ගල් කණු, කොරවක්ගල්, සඳකඩපහණ වැනි ඉපැරණි පුරා වස්තු ගලවලා ගොඩ ගහලා එක එක්කනොට අවශ්‍ය විදිහට හිතු මනාපෙට පුරා වස්තු විනාශ කරනවා. මෙම පුද බිම පුරා විද්‍යා එකෙන් රකින්නෙ නැති වුණාම මේවා රැකගන්න කියලා පුරා විද්‍යාවට කියන්න ගියාම ඒ අය රාජකාරියට බාධා කරා කියලා මට නඩු 03ක් දාලා තියෙනවා. දැන් මේවා රකින්න එන අයට මෙම පුදබිමට ඇතු`ඵ වෙන්න බැහැ. හැබැයි මෙම පුරාවිද්‍යා භූමියේ ගල් කණු පුරා වස්තු විනාශ කරන අයට කිසි ගැටලුවක් නැහැ.

මම මේ වන විට මඩකලපුවේ සිංහල ගම්මාන හදලා එදා වේල කන්න නැති සිංහල ජනයා වෙනුවෙන් ගොවිපළවල් හදලා, වැව් හදලා, ගෙවල් හදලා දීලා මේවා රැකගන්න කටයුතු කරනවා. එහෙම කරද්දි පට්ටිපොල ප්‍රාදේශීය ලේකම්වරිය නිසි පරිදි රාජකාරි කරන්නේ නැතිව මම රාජකාරියට බාධා කරා කියමින් මට විරුද්ධව දිගින් දිගටම නඩු දානවා. මට මේ වනවිට අධිකරණවල නඩු සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එරාවුර් සහ චෙන්කලඩි අධිකරණවල දමිළ විනිසුරුවන් සිටියත් ගොඩක් වෙලාවට හාමුදුරුවන්ට දානේ වලඳන්න ඕන නේද කියමින් උදේම නඩු අහලා ඉවර කරනවා. නමුත් අනෙක් උසාවිවලට උදේ ගියාම හැන්දෑවේ තුන හතර වෙනකම් ඉන්න වෙනවා. කන්න තියා තේ එකක්වක් නැතිව. තේකක් බොන්න ගියොත් ඒ වෙලවට නඩුව කථා කරොත් හිටියේ නැති වුණොත් වරෙන්තු කරනවා. ඒ නිසා ඒ වැනි ගැටලු රැසක් භික්ෂුවක් ලෙස මඩකලපුව සිංහල ජනයා ආරක්ෂා කරන්න අපේ උරුමයන් ආරක්ෂා කරන්න ගොස් අධිකරණයට ගියාම මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා.

මම මේ වෙද්දි ගොවිපොළවල් හදලා බලධාරීන් කිසිවෙක් ඇහැක් ඇරලා බලන්නේ නැති අහිංසක සිංහල ජනයා වෙනුවෙන් ඔවුන්ගේ බඩගින්න නිවාගන්න දිවා රෑ නැතිව කටයුතු කරනවා. ඒ අතරේ අන්තවාදීන් දිගින් දිගටම පුරාවස්තු විනාශ කරද්දි පුරාවිද්‍යා නිලධාරීන් ඒවා විනාශ කරන එවුන් අල්ලනවා වෙනුවට අපිට විරුද්ධව තමයි උසාවි යන්නේ.

මේ වෙනකොට සිංහල ජනයා මඩකලපුවෙන් පන්නා දමන්න බොහෝ අන්තවාදී රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනවා. අපේ උරුමයන් විනාශ කරන්න අන්තවාදී පුද්ගලයන් සමග එකතු වෙලා ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනවා. ඒ අතර ඒ සියලු ගැහැට බිඳගෙන මා අහිංසක සිංහල ජනයා රැක ගැනීමට දිවි පරදුවට තියලා දිවා රෑ නොබලා කටයුතු කරනවා. මේ අමාරු කාලේ අසරණ ජනයාට වගාවක් කරන්න විදිහක් නැහැ. මඩකලපුව පැත්තෙන් හරක් දහස් ගණනක් ඇවිත් වගා විනාශ කරනවා. එවන් තත්ත්වයක් යටතේ කෙවිලියාමඩුව ජනයා වේලක් හරි කුසගින්දර නිවාගන්න, පොඩි දරුවෙකුට පාසල් යන්න පොතක් අරන් දෙන්න හරි පුළුවන් සහායක් දෙන්න පුළුවන් නම් මේ අවස්ථාවේ බොහොම පිනක්.

කරදියන්ආරු පුදබිම වනසා වගා කරනා අය අත්අඩංගුවට ගත යුතුයි. නිසි පරිදි මැනලා පුද බිමෙහි මුළු ඉඩමෙම ඇති පුරා වස්තු ආරක්ෂා කර ගත යුතුයි. මේවා විනාශ වෙන්න ඇරලා බලන් ඉන්න පුරාවිද්‍යාවට පුළුවන් වුණාට අපිට බැහැ. පුරා විද්‍යාවට මේවා රකින්න බැහැ කියලා නැගෙනහිරට, උතුරට එන ඕන අයෙකුට පේනවා. එම නිසා දැන්වත් අපිට මෙම ස්ථානයේ පන්සලක් හදන්න අවසර දෙන්න. වසර දහස් ගණනක් වටිනා උරුමයන් අපි රැකලා දෙන්නම්.

දාගැබ් වනසා අලුතින් ලියන්න හදන කරදියන් ආරු ඉතිහාසය

කොළඹ ඉඳන් මේ වෙනකම් නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් රැකගන්න විවිධ සංවිධාන, කාරක සභා වැනි දේ තිබුණත් මේ දක්වා නැඟෙනහිර පුරාවිද්‍යා උරුමයන් රකින්නට වෙහෙසන මගෙන් කිසිවෙක් කිසිදු තොරතුරක් අරන් නැහැ. මගෙන් ප්‍රකාශයක් ගන්න කොළඹට කැඳවලත් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මගෙන් ප්‍රකාශයක් ගන්න කියා මා ඉල්ලීමක් කරත් අඩුම තරමේ ඒකටවත් මගෙන් ප්‍රකාශයක් ගත්තේ නැහැ. යනුවෙන් අම්පිටියේ සුමනරතන හිමියන් අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

දෙමළ හෝ මුස්ලිම් ජනයා වෙසෙන පැත්තක පුරාවස්තු සහමුලින්ම ඩෝසර් කළද පුරාවිද්‍යාවට ඒ ගැන කිසිදු වගක් නැත. වැරදි කරුවන් පෙනි පෙනී සිටියද ගැටලුවක් නැත. අසරණ සිංහල මනුස්සයෙක් යම් පුරා වස්තුවකට හානි කළහොත් පුරාවිද්‍යා ලොක්කන්ගේ ආසනය ශක්‍රයාගේ පඬුපුල් අසුන සේ රත්වන්නේය. එම නිසා නහුතෙට තදවී ලොකු දඩයක් දෙන්නේය. එසේ නැතිනම් මාස ගණනක් සිරගේකට ගාල් කරන්නේය. අතීතයේ රජවරු වෙහෙර විහාර, ආරම, ලෙන් තනවා මහා සඟරුවනට පූජා කරන ලදි. එවන් පුදබිමක අද භික්ෂූන් වහන්සේ නමකට වැඩ වසන්න පුරා විද්‍යාවෙන් ඉඩ දෙනු නොලැබේ.

මෙම කරදියන්ආරු පුදබිම විනාශ කරන්නට ඉඩ දුන්නේ කවුද? මේවට ඔප්පු තිරප්පු දුන් නිලධාරියා කවුද? මේ ආකාරයෙන් කිසිම තැනක තිබෙන පුරා වස්තුවලට හානි කරන්නට ඉඩ දිය හැකිද? නොහැකිනම් ඒ අය අත්අඩංගුවට ගැනීමට නොහැකිද? පුළුවන්නම් මෙම පුදබිම විනාශ කළ පිරිසට නීතියේ රැහැනට කොටුකර දඬුවම් ලබා දෙන්න යැයි අප පුරාවිද්‍යාවට කියන්නෙමු. ඒ අභියෝගය ඉටු කරනවාදැයි අපි විමසිල්ලෙන් පසු වන්නෙමු. අපේ පුරාවිද්‍යාවට කොන්දක් තිබෙන බව පෙන්නීමට අප අභියෝග කරන්නෙමු.

අපි පුනා පුනා කියන ආකාරයට වසර දහස් ගණනක් පැරණි උරුමයන් විනාශව ගියාට අදාළ බොහෝ නිලධාරීන් හට කිසිදු ගැටලුවක් නොමැත. අතීතයේ මහා හෙළ රජ දරුවන් නැවත මෙම සමයේ ඉපදුනොත් සිදුව තිබුණ අපරාධය දැක ඔවුන්ගේ හදවත් වේදනාවෙන් පිච්චී යනු ඇත. පුරාවිද්‍යා උරුමයන් වනසන්නට ඉඩදී බලන් ඉන්නා නරුම නිලධාරීන් උල සිටුවනු ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment