තනිකම හොඳයි යුගදිවියට වඩා මට

3893

කොළඹ යුගයේ ප්‍රවීණ කවියකු තම අත්දැකීම් පාඨකයාට ඉදිරිපත් කළ අයුරුයි ඒ. කවියා තනිකම හොඳ නිසා විවාහ නොවී සිටියේ ද? නොඑසේ නම් විවාහ විමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගිය පසු වයසට යෑම නිසා තනිකඩව සිටින්නට සිදුවූවාද යන්න දන්නේ ඔහු පමණි.

ඔරුව පෙරළුණු පසු “පෙරළුණු පිට හොඳයි” කියන්නා සේ, වසර ගණනාවක් විවාහ වීමට යත්න දරා ප්‍රේමයෙන් පරාජිතව විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වෛරයෙන් මෙසේ කියා සිත සනසා ගන්නා අය ද සිටිති. එසේම නිරතුරුවම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති අප්‍රසන්න බව හෝ විවාහය වැනි භාරදූර කටයුත්තකට අත තැබීමට ඇති හුඹස් බිය නිසා තනිකඩව සිටින අය ද වෙති. තවත් කොටසක් තම ඥාතීන්, හිතවතුන් ගතකරන්නාවූ අනේක විධ දුක් කරදර සහිත පවුල් ජීවිතය ගැන කලකිරීම නිසා ද තනිකඩව සිටිති.

මේ අතර ආධ්‍යාත්මික වශයෙන් සිත දියුණු කරගත් මහණදම් පුරන යතිවරුන් ද විවාහයක් ගැන සිතන්නේ නැත.

ලේඛකයකු, අධ්‍යාපනඥයකු මෙන්ම දාර්ශනිකයකු වූ ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතාගේ දේශනයකට සහභාගි වීමට වරෙක මට ද අවස්ථාව ලැබිණ. දේශනය අවසානයේදී එක්තරා මහතකු විසින් අදිකාරම් මහතාගෙන් මෙසේ ඇසීය.

“මෙතරම් බුද්ධිමතකු වෙලත් ඔබතුමා විවාහයක් නොවුණේ ඇයි?”

අදිකාරම් මහතාගේ ක්ෂණික පිළිතුරු වූයේ, “බුද්ධිමතකු වූ ඔබතුමා විවාහ වුණේ ඇයි?” යන්නයි.

එම දෙබස් එතැනින්ම කෙළවර වූයේ දේශනයට සහභාගි වූ අයගේ සිනහ හඬ මැද්දේය.

මෙලොව ජනිත වන්නා වූ සියලුමදෙනා විවාහ විය යුත්තේ ද නැත. විවාහ නොවිය යුත්තේ ද නැත.

යම් පුද්ගලයකු විවාහ වෙනවා ද තනිකඩව සිටිනවා ද, විවාහ දෙක තුනක් කරගන්නවා ද, වැන්දඹු වෙනවා ද, කෙටිකලකින් දික්කසාද වෙනවා ද යන්න මේ සියල්ලම තමාගේ ජන්ම පත්‍රයේ සටහන් වී ඇති බැව්, බොහෝදෙනෙක් නොදනිති.

ඒ පිළිබඳ සරල විග්‍රහයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජන්මියකුගේ විවාහය පිළිබඳ කාරකත්වය දරනු ලබන්නේ සිකුරු ග්‍රහයා ය, ජන්ම පත්‍රයේ 7 වැන්න විවාහයට අදාළ භාවයයි. මීට අමතරව 2 වැන්න (7 වැන්නෙන් 8 වැන්න) හා 11 වැන්න ද විවාහය කෙරෙහි බලපාන භාවයන්ය. එසේම ඔබේ ජන්ම පත්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයා ද, 7 වැන්නේ සිටින්නා වූ ග්‍රහයින් ද, ඊටත් අමතරව 7 වැන්න දකින ග්‍රහයින් ද, එම ග්‍රහයින් සිටින්නා වූ නැකැත් ද විවාහය කෙරෙහි බලපෑම් ඇති කරන බව කිව යුතුය.

පළමුව ඔබේ ජන්ම පත්‍රය අනුව ඔබේ ලග්නයට අනුරූප වන 7 වැන්න හා 7 වැන්න අධිපති ග්‍රහයා මෙසේ හඳුනා ගනිමු.

තනිකම හොඳයි යුගදිවියට වඩා මට

ඔබේ ජන්ම පත්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයා, සිටින රාශිය අනුව, ලබන දෘෂ්ටි අනුව සිටින්නා වූ තත්ත්වය අනුව (උච්ච නීචාදි වශයෙන්) හා 7 අධිපති සමග යෝග වී ඇති ග්‍රහයන් අනුව, ඔබේ යුගදිවිය පිළිබඳ බොහෝ දෑ කල් ඇතිව දැනගත හැක.

යුගදිවිය වාසනාවන්ත වීමට ඉහත කරුණු බෙහෙවින් සුබවාදීව තිබිය යුතු අතර මෙහි විෂමතාවන් යුගදිවිය කණපිට පෙරළීමට සමත් වනු ඇත.

ජන්ම පත්‍රයේ 7 වැන්න අධිපතිට යහපත් ස්ථාන වශයෙන් 1,2,4,5,7,9,10 සැලකිය හැක. 7 වැන්න අධිපති මෙම ස්ථානයක සුබ දෘෂ්ටි ලැබ සුබ සංයෝග සමග බලවත්ව (උච්ච, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර ආදී වශයෙන්) සිටී නම් වාසනාවන්ත

යුගදිවියකට මඟ පෑදේ. එසේම 7 අධිපති සිටින්නා වූ ස්ථානය අනුව තම විවාහය සිදුවනුයේ කිනම් ආකාරයෙන් ද යන වග පිළිබඳව ද ඉඟියක් ලබාගත හැක. 9 වැන්න අධිපති 22 වන දෙර්කාණාධිපති නොවී බාධක ග්‍රහයා ද නොවී නම් වඩාත් සුබදායකය. විවාහ වන කාලයේ සුබ ග්‍රහයකුගේ (සිකුරු, ගුරු, සඳු, බුධ වැනි) දශාවක් ලබා තිබීම ද යහපත් විවාහයකට මඟ පෑදීමකි.

7 වැන්න අධිපති ඉහත දැක්වූ ස්ථානයක හැර එනම් 3, 6, 8, 11, 12 යන ස්ථානවලින් එකක සිටී නම් විවාහ වුව ද බොහෝ විට යුගදිවියේ අමිහිරි අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෙසේ වනුයේ සුබ දෘෂ්ටි සුබ සංයෝග නොමැතිව හා 7 අධිපති දුබලව සිටී නම් පමණක් බව ද සිහිකටයුතුය. එම ස්ථානවල 7 වැන්න අධිපති බලවත්ව සිටිය ද එතරම් යහපත් යුගදිවියකට හිමිකම් කීමට ඇති වාසනාව මඳ බව ද කිව යුතුය.

ඉහත කී ස්ථානවල සිටින 7 අධිපතිට පාප දෘෂ්ටි, පාප සංයෝග ආදියෙන් පීඩා විදින්නට සිදුවුවහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇත. 7 වැන්න පාප කර්තරි වීම ද යහපත් විවාහ දිවියකට සුදුසු නොවේ.

7 වැන්නේ ස්ථාපිත ග්‍රහයා ගැන ද සැලකිලිමත්වීම සුදුසුය. 6, 8, 12 අධිපතීන් 7 වැන්නේ ස්ථාපිත වීම, 7 වැන්න 6, 8, 12 අධිපතීන්ගේ දෘෂ්ටියට නතුවීම 7 වැන්නේ පාපීන් (කු, ශ, රා, කේ, වැනි) ස්ථාපිතවීම සුබයකු වුව ද 22 දෙර්කාණාධිපති 7 වැන්නේ ස්ථාපිතවීම හා 7 වැන්න දැකීම, 7 වැන්න පීඩාවීමට හේතු වනු ඇත. එසේ වූ විට ප්‍රතිඵලය වනුයේ යුගදිවියේ සුබ සිහින බොඳවීමයි.

ගුරු කෙතරම් සුබයකු වුව ද 7 වැන්නේ ස්ථාපිත වූ විට යුගදිවියෙන් බලාපොරොත්තු වන්නා වූ ලෞකික සුවයට යම් තරමක බාධා පැමිණේ. ජන්මියා කෙටිකලකින්ම ආධ්‍යාත්මික සුවයට නැඹුරු වනු ඇත. එවැනි අයට ගුරු 7 වැන්නේ සිටින අයකුගේ ජන්ම පත්‍ර ඉතා ගැළපේ. ශනි හෙවත් සෙනසුරු 7 වැන්නේ සිටින විට විවාහය පමා කරනු විනා විවාහය බිඳ දමන්නේ නැත. විවාහ ජීවිතය කටුක විය හැක.

කුජ 7 වැන්න අධිපති නොවී 7 වැන්නේ ස්ථාපිත වීම විශේෂයෙන්ම යුගදිවියට ඉතා අසුබය. භෞම දෝෂ ඇතිකරනු ලබන කුජ පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතුව ඇත. කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල භෞම දෝෂ ඇතිකරනු ලබන හෙයින් විශේෂයෙන් අසුබදායකය. එවැනි ජන්ම පත්‍රවලට එසේම කුජ දෝෂ ඇති ජන්ම පත්‍ර හොඳින් ගැළපේ.

මේ අයුරින් ඔබේ 7 වැන්න සියුම්ව පරීක්ෂා කළහොත් යුගදිවිය පිළිබඳ බොහෝ දෑ අධ්‍යයනය කළ හැක.

අපගේ සංස්කෘතිය අනුව විවාහයක් සිදුවිය යුත්තේ එක්වරක් පමණි. එහෙත් සමහර ආගම් හා දර්ශනවලට අනුව බහු විවාහ අනුමත කර ඇත.

කරුණු මෙසේ වුව ද සමහර ජන්ම පත්‍රවල බහු විවාහ යෝග, එනම් බහු විවාහ පිළිබඳ ඉඟි කිරීමක් දක්නට ඇත.

බහු විවාහ කිහිප ආකාරයකින් සිදුවිය හැක.

● බිරිඳ හෝ සැමියා මියයෑමෙන්

● බිරිඳ හෝ සැමියා සිටියදීම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් තවත් අයකු හා දීග කෑමෙන්

● බිරිඳගේ හෝ සැමියාගේ යම් යම් දුර්වලතා නිසා අනිකා දැනුවත්වම තවත් අයකු හා දීග කෑමෙන්.

ජන්ම පත්‍ර තියුණු විග්‍රහයකට ලක්කිරීමෙන් බහු විවාහ, දික්කසාද, වැන්දඹු ආදී යෝග පිළිබඳ ඉහත කී අයුරු තොරතුරු සොයාගත හැක. කෙසේ වෙතත් බහු විවාහ මෙරට සමාජයේ අසම්මතයක් ලෙස පිළිගැනේ. පුරාණයේ පැවැති එකගෙයි කෑම ද බහු විවාහයකි.

ජන්ම පත්‍රයක සුලබව දැකිය හැකි බහු විවාහ යෝග කිහියක් මෙසේය. එසේ වුව ද පහත සඳහන් ග්‍රහ පිහිටීම් තිබූ පමණින් අදාළ ජන්මියා බහු විවාහ සඳහා යොමු වන්නේ යැයි නීතියක් හෝ රීතියක් නැත. වෙනත් ප්‍රබල ග්‍රහයෝග ඇත්නම් ඉහත කී අසුබවාදී තත්ත්වයන් මගහැරී යනු ඇත.

  • සෑම ග්‍රහයෙක්ම කිසියම් නැකතක හා නැකැත් පාදයක ස්ථාපිතව සිටී. ඒ අනුව විවාහ කාරක සිකුරු හා 7 වැන්න අධිපති ස්ථාපිතව ඇති නැකතේ අදාළ ග්‍රහයා සිටින්නා වූ පාද ගණනයට අනුව ආදර සම්බන්ධතා ගොඩනැඟේ. මීට 7 වැන්නේ ස්ථාපිතව ඇති ග්‍රහයා සිටින්නා වූ නැකතේ පාද ගණනත් වලංගුය.
  • 11 වැන්න අධිපතිගේ හා 7 වැන්න අධිපතිගේ පරිවර්තනය බහු විවාහයකට අතවනන්නේය. 11 වැන්න යමක් වැඩි කරන රාශියයි. 7 හා 11 අධිපතීන් යෝගවීම ද එසේමයි.
  • 7 වැන්න අධිපති ගුරු වී කුජ සමග පරිවර්තනය ද බහු විවාහයකට හිමිකම් කියනු ඇත.
  • බලවත් සඳු සිකුරු යෝගය ද රසකාමී යෝගයක් වන අතර, විශේෂයෙන් 7 වැන්නේ මෙම යෝගය යෙදුණු විට බහු විවාහයකට ළංවනු ඇත.
  • ලග්නාධිපති 6 වැන්නේ ස්ථාපිත වන අතර එම ග්‍රහයා සිටින්නා වූ නැකතේ පළමු පාදය ඉක්මවා ගොස් ඇත්නම් බහු විවාහයක ඉඟියකි.
  • කුජ සිකුරු යෝගය 5 වැන්නේ හෝ 7 වැන්නේ යෙදී ඇත්නම් එය ද බහු විවාහයක පෙරනිමිත්තකි.
  • දෙවැන්නේ පාපීන් දෙදෙනකු සිටින අතර සිකුරු ද පාප දෘෂ්ටි ලබයි නම් බහු භාර්යා සේවනයට රුචිකමක් දක්වයි.

මේ ලිපිය කියැවීමෙන් ඔබේ යුගදිවියේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වී නම් සැබැවින්ම ඔබ වාසනාවන්තය. කරුණු තේරුම් ගෙන සතුටින් යුගදිවිය ඉදිරියට ගෙනයෑම ඔබ සැමගේ වගකීමයි.

අවිවාහක යෝග, වැන්දඹු යෝග දික්කසාද යෝග, පිළිබඳ කෙටි විවරණයක් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

ජ්‍යොතිර්වේදී
යසපාල දික්මාදුගොඩ
72, බැද්දගාන උතුර, පිටකෝට්ටේ, කෝට්ටේ
දු.ක.0716336633

advertistmentadvertistment
advertistmentadvertistment