මතින් රට වැනසෙනකොට විශෝධනයට ඇබ්බැහි බෙහෙත්

324

මත්ලෝලීන්ට ඖෂධ ලබාදීම අලුත් මත්ද්‍රව්‍යයක් හඳුන්වාදීමක් වගෙයි…
මෙතඩොන් වැනි ඖෂධ මත්ලෝලීන්ට ලබාදීම අති භායනකයි…
විය යුත්තේ මත්ලෝලීන්ට ඖෂධ ලබාදීම නෙමෙයි මත්ද්‍රව්‍ය ව්‍යසනයට විසඳුම් සෙවීමයි…
මතට ඇබ්බැහි දරුවන්ට බෙහෙත් කරන්න ඕනෙ කයට නෙමෙයි මනසට…

ගත සීතල වන තරමේ මත්ද්‍රව්‍ය ගැන කතා ඇසේ. බහුදින ධීවර බෝට්ටුවල සඟවාගෙන මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය තොගපිටින් අත්අඩංගුවට පත් වේ. ඒ අතරින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් සොයා ගැනේ. රට පුරා පාසල් ළමයි සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් අත්අඩංගුවට ගැනේ. මුළු රටම අයිස් ගඟුලක් බවට පත් වෙමින්, අනාගතය මත්ද්‍රව්‍යයෙන් බත් වන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ. එවැනි අවාසනාවන්ත පසුබිමක මතට ඇබ්බැහිවන පාසල් ළමයි පුනරුත්ථාපනය කිරීමට අලුත් විශෝධන මධ්‍යස්ථාන ආරම්භ කෙරේ. ඒ අල්ලපනල්ලේ විශෝධනය අරඹයා අමුතු කතාවක් කන වැකිණි. ඒ මත්ලෝලීන්ට මෝපීන් අඩංගු ඖෂධයක් ලබාදීමට සාකච්ඡා කිරීමය. ඒ කතාව අපට කීවේ මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්, මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝය.

“වැටෙන අයිස් වැස්ස කෘතීම නිර්මාණය වූවක් බව අපට හැඟෙනවා. මේ දිනවල කථිකාවට බඳුන්වන ඇතැම් සාකච්ඡා, ජාත්‍යන්තරයෙන් එන යෝජනා ගැන ඇසෙනවිට අයිස් වැස්සෙ යථාර්ථය පැහැදිලි කරගැනීමට අසීරු නෑ. ආසන්නතම උදාහරණය පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ විශෝධනය වන මත්ලෝලීන්ට මෝපීන් අඩංගු ඖෂධ ලබාදීමට සාකච්ඡා කිරීම. තදබල වේදනා සමනය කිරීමට ලබාදෙන එවැනි ඖෂධ මත්ලෝලීන්ට ලබාදීම බරපතළ සමාජ ව්‍යසනයක ආරම්භයක්. මතට ඇබ්බැහි දරුවන්ට බෙහෙත් කරන්න ඕනෙ කයට නෙමෙයි මනසට. මෙවැනි ඖෂධ ලබාදීම නිසා මේ අසරණ දරුවන්ගේ ශරීර අවයව දුර්වල වී බරපතළ රෝගීන් බවට පත් වෙන්න පුළුවන්…”

“විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ගේ මෝලයේ එක තැනක තමයි විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය ඇති වෙන්නෙ. ලබාදීමට උත්සාහ කරන බෙහෙත් ක්‍රියාකාරී වෙන්නෙත් එම ස්ථානයේම තමයි. එම ඖෂධය ලබාදීමෙන් මත්ද්‍රව්‍ය ශරීරගත නොවීම නිසා දැනෙන වේදනාව යම් කාලයකට සමනය වෙන්න පුළුවන්. ඒත් සික් එක සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත්වෙන්නෙ නෑ. රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් නොලැබෙන බව දැන, දැනත් මෙවැනි ඖෂධ ලබාදීමට යෑම බරපතළ ගැටලුවක්…”

“රජයේ වගකීම විය යුත්තේ මත්ලෝලීන්ට බෙහෙත් ලබාදීමට සැලසුම් සකස් කිරීම නෙමෙයි. මෙරට වෙළාගත් මත්ද්‍රව්‍ය පිළලයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කිරීමයි. මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීමට යෝජනා රාශියක් අපි, රජයට ඉදිරිපත් කළා. එම යෝජනාවලට අවධානය යොමුකරන බවක් පෙන්න නෑ. ඒත් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙකක් සන්තකයේ තබාගත් පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළ හැකිව තිබුණු නීතිය සංශෝධනය කරමින් මිලි ග්‍රෑම් පහක් සන්තකයේ තබාගැනීමට පුළුවන් තත්ත්වයට පත් කර තියෙනවා. නීති ලිහිල් කර, රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වෙනකොට ඖෂධ හඳුන්වා දෙනවා. මේ දෙබිඩි පිළිවෙත අපිට නම් මහා පේහේළිකාවක්…” රට පුරා ඇදහැළෙන අනෝරා අයිස් වැස්ස යට කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ මුවින් ගිලිහෙන ඒ වචන කන වැකෙන විට මුළු ගතම හිරිවැටිණි. මොහොතක් තුෂ්ණිම්භූතව සිටි මම විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්ප්‍රිය මහතාට දුරකථනයෙන් කතා කර මත්ලෝලීන්ට ලබාදීමට යන ඖෂධය ගැන සහ එහි අතුරු ඵල විමසා සිටියෙමි.

මතින් රට වැනසෙනකොට විශෝධනයට ඇබ්බැහි බෙහෙත්

“ශ්‍රී ලංකා මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මත්ලෝලීන්ට ඖෂධ ප්‍රතිකාර ලබාදීම ගැන සාකච්ඡා කළා. දැනටත් සාකච්ඡා කරමින් පවතිනවා. මත දෙකක් තියෙනවා. එකක් මත්ලෝලීන්ව ප්‍රකෘති තත්ත්වයට පත් කරගැනීම සඳහා මෙතඩොන් වැනි ඖෂධ ලබාදීම සුදුසුයි කියන වෛද්‍යවරු ඉන්නවා. ලංකාව වැනි රටක මත්ලෝලීන්ට ඖෂධ ප්‍රතිකාර ලබාදීම අලුත් මත්ද්‍රව්‍යයක හඳුන්වාදීමක් විය හැකි බව පවසන වෛද්‍යවරු කණ්ඩායමකුත් ඉන්නවා. මගේ මතයත් මෙරට මත්ලෝලීන්ට ඖෂධ ලබාදීම අනවශ්‍ය දෙයක් බවයි. ඒකට සාධනීය හේතු තියෙනවා…”

“ඕස්ටේලියාව, එංගලන්තය වැනි දියුණු සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවල හෙරොයින් මත්ද්‍රව්‍ය ලෝලීන්ට මෙතඩොන් වැනි ඖෂධ ලබාදෙනවා. එම ඖෂධ ලබාදීම සිදුකරනුයේ සුවිශේෂී ක්‍රමවේදයන්ට අනුව. ඒ රටවල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් විශේෂීත වෛද්‍ය සායන පැවැත්වෙනවා. අදාළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ලෝලීන් එම සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෑ. විශේෂයෙන්ම හෙරොයින් එන්නත් කර ගන්නා මත්ලෝලීන් එම සායනවල ලියාපදිංචිය අනිවාර්යයි. හෙරොයින් එන්නත්
කරගැනීමේදී ඒඩ්ස්, හැපටයිටීස් බී, සී වැනි බරපතළ රෝග බෝවීමේ ප්‍රවණතාවය, විෂබීජ ශරීරගත වී හෘද වස්තුවේ කපාටවලට හානි සිදුවීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. එවැනි සෞඛ්‍ය ගැටලු සහ මත්ලෝලීන්ට මුහුණපෑමට සිදුවන සමාජ, ආර්ථීක ගැටලු අවම කර සාමාන්‍ය දිවිපෙවෙතක් පවත්වාගෙන යෑම සඳහා හෙරොයින් වෙනුවට ආදේශකයන් හැටියට මෙතඩොන් වැනි ඖෂධ වර්ග සායනික වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. ඒත් මත්ලෝලීන්ගේ ස්වකැමැත්ත මත එම ඖෂධ ලබාගැනීමට අවසර නෑ. ඖෂධහල්වලින් බෙහෙත් නිකුත්කරනුයේ එරට රජයේ අවසරලත්, මත්ද්‍රව්‍ය ලෝලීන්ට ප්‍රතිකාර ලබාදෙන විශේෂ සායනවලට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ ලිඛිත නිර්දේශය මත පමණි. ඒ වගේම ඒ රටවල මත්ලෝලීන්ට මෙතඩොන් වැනි ඖෂධ ලබාගැනීමට ප්‍රාදේශීය මට්ටමේ විශේෂිත ඖෂධහල් නම් කර තිබෙනවා. එම ඖෂධ නිකුත්කිරීමට වේලාවන් ප්‍රසිද්ධ කර තිබෙනවා. අදාළ වේලාවට බෙහෙත් ලබාගෙන ඖෂධ හලේදීම පාවිච්චි කරන ලෙසට නීති පනවලා තියෙනවා. නවාතැන්පළට ගිහින් පාවිච්චි කිරීම, සති ගානකට ඖෂධ ලබාගැනීමට අවසර ලබා දී නෑ. අවභෝජනය නැතිකරමින් උදේ සවස ඖෂධහල්වලින්ම මෙතඩොන් වැනි ඖෂධ ලබාගන්නා ක්‍රමයට තමයි නීති සම්පාදනය කර තියෙන්නෙ. ඒ වගේම ලෝකය පුරා සායනික පරීක්‍ෂණ තුළින් තහවුරු වී ඇති ආකාරයට මෙතඩොන් ඖෂධ ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත්තේ හෙරොයින් එන්නත් කරගන්නා පුද්ගලයන්ට පමණයි…”

“අපේ රටේ එවැනි විශේෂීත ක්‍රමවේදයන් නෑ. ඕනෑම කෙනෙක්ට ඖෂධ හලකට ගිහින් බෙහෙත් මිලදී ගන්න පුළුවන්. ස්වකැමැත්ත මත බෙහෙත් වට්ටෝරු ලියාගැනීමට හොර වෛද්‍යවරු රට පුරා විසිරි සිටිනවා. ඇතැම් මත්ලෝලීන් වෛද්‍යවරුන්ගේ සීල් කපාගෙන, බෙහෙත් තුණ්ඩු ලියාගෙන ගිහින් ඖෂධහල්වලින් බෙහෙත් මිලදී ගන්නවා. එවැනි ගැටලු නිසා මෙරට මත්ලෝලීන්ට මෙතඩොන් වැනි ඖෂධ ලබාදීම වඳුරන්ට දැලිපිහිය ලබාදීමක් වගෙයි. ඒ වගේම මෙරට මත්ලෝලීන්ගෙන් සියයට අනූහයක් පමණ එන්නත් පාවිච්චි කරන්නෙ නෑ. මත්ද්‍රව්‍ය එන්නත්කරණයට ඇබ්බැහි වූ සියයට හතරක් වැනි පිරිසක් සිටින ලංකාව වැනි රටක මත්ලෝලීන්ට මෙතඩොන් වැනි ඖෂධ ලබාදීම සාර්ථක විසඳුමක් නෙමෙයි. ඒ වගේම අපේ රටේ අළෙවි වෙන්නෙ පියෝ හෙරොයින් නෙමෙයි. උපරිම ලාභ අරමුණු කොටගෙන විවිධ විෂ කෙමිකල් එකතු වූ විකෘති හෙරොයින් මත්ද්‍රව්‍යයක්. ගංජා, ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යවලටත් විෂ කෙමිකල් එකතු කරනවා. එවැනි විකෘති වූ මත්ද්‍රව්‍ය භාවිතාවක් ඇති, ඖෂධ ලබාදීමට නිශ්චිත ක්‍රමවේදයන් නැති මෙරට මත්ලෝලීන්ට මෙතඩොන් වැනි බෙහෙත් ලබාදීමෙන් පවතින තත්ත්වය තවත් බරපතළ තත්ත්වට පත්වීමට ඉඩ තිබෙනවා…” විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්ප්‍රිය මහතාගේ කතාවට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ද අඩු වැඩි එකතු කළේය. නම සඳහන් කිරීමෙන් වැළකී එම වෛද්‍යවරයාගේ අදහස් පමණක් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

මතින් රට වැනසෙනකොට විශෝධනයට ඇබ්බැහි බෙහෙත්

“මෝපීන් වගේ ඖෂධ පාවිච්චි කරන්නේ වේදනා නාශක විදිහට. පිළිකා, අස්ථි බිඳුණු රෝගීන් වැනි බරපතළ රෝගීන්ගේ තදබල වේදනා සමනය කිරීමට. වේදනා නාශක ඖෂධයක් විදිහට රෝගීයකුට මෝපීන් ලබාදෙන්නෙ බරපතළම අවස්ථාවක පමණයි. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයකුගේ අවසරය නොමැතිව එම ඖෂධය රෝගියකුට ලබාදෙන්නෙත් නෑ. මෝපීන් වැඩි වුණොත් රෝගියකුගේ හුස්ම ගැනීම නතර වෙන්න පුළුවන්. මෝපීන් මාත්‍රාව වැඩි වුණොත් පුංචි දරුවො මරණයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෝපීන් අඩංගු මෙතඩොන් වැනි ඖෂධ දීර්ඝ කාලීනව පාවිච්චි කරන විට එයට ඇබ්බැහි වෙනවා. ඒ තුළින් මෝළයේ සියුම් ස්නායුවලට සිදුවන බලපෑම වැඩියි. සරලව කියනවා නම් මේ ඖෂධත් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයට සමානයි. වෛද්‍ය නිර්දේශ මත මාත්‍රාවට පාවිච්චි කළොත් ඖෂධ්‍යක්. හිතු මතේ ගත්තොත් මත්ද්‍රව්‍යයක්. එවැනි භායානක ඖෂධ සාමාන්‍ය මත්ලෝලීන්ට ලබාදීමට සාකච්ඡා කිරීම බරපතළ ගැටලුවක්…”

“මත්ලෝලීන් විශෝධනය කිරීමේ කටයුත්තේදී සික් එක නැති කිරීමට මෙතඩොන් වැනි ඖෂධ ලබාදීම අත්‍යවශ්‍ය නොවේ. ඒත මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඇති වන විවිධ ශාරීරික අපහසුතා සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාදීමේ ගැටලුවක් නෑ. විශේෂයෙන්ම මත්ලෝලීන්ට නින්ද යෑමේ අපහසුතා බඩඑළිය යෑම, වමනය වැනි රෝග තත්ත්වයන්ට ඖෂධ ලබාදෙනවා. කෑම අරුචියට ඖෂධ ප්‍රතිකාර ලබාදෙනවා. ඒ සාමාන්‍ය රෝග තත්ත්වයන්. මත්ලෝලීන් විශෝධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම. ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට අසීරුයි වගේම පළමු වරට මත්ද්‍රව්‍ය නතර කිරීමටත් අසීරුයි. ඒ නිසා මත්ද්‍රව්‍ය නතර කිරීමේදී පළමු සතිය අධික වේදනාකාරී. ඒත් දෙවැනි සතියේ සිට ක්‍රමයෙන් වේදනාකාරී බව අඩු වී අලුත් ජවයක් ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. එම කාලය තුළදී කණ්ඩායම් සාකච්ඡාවලට යොමුකර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච ආකාරය ඔවුන්ගේ මුවින් නිතර, නිතර කියවන්න සලස්වන්න ඕනෑ. ඒ වගේම එම කාලය තුළ ධාර්මිෂ්ඨ දිවිපෙවෙතක් ගත කිරීමට ඔවුන්ව හුරු කළා නම්, ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන යහමඟට යොමු වෙනවා. ඒ ළමයි නැවත සමාජගත කිරීම නිවැරැදිව කළොත් ජීවිතයම කළඑළි වෙනවා. අදාළ බලධාරීන් සහ නිලධාරීන් විසඳුම් සොයන්න ඕනෙ මත්ලෝලීන්ට මෙතඩොන් වැනි ඇබ්බැහි විය හැකි ඖෂධ ප්‍රතිකාර ලබාදීමට නෙමෙයි. මේ රටට පිළිකාවක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට. ඒත් වෙන්නෙ ‘යන්නෙ කොහේද මල්ලෙ පොල්’ කියනවා වගේ වැඩක්…” කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාගේ කතාව ද පැහැදිලිය.

ගංජා, අබිං, මර්ජුවානා වැනි මත්ද්‍රව්‍යවලින් ආරම්භ වූ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට සමාජයට බද්ධ වී බොහෝ කාලයකි. එදා සිට යටි ධරාවක් වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ ව්‍යාප්තිය වේගයෙන් විකාශනය වූ බවද සැබෑය. විවිධ මානයන් ඔස්සේ විකාශනය වෙමින්, විවිධ සමාජ ධරාවන් ඔස්සේ ඉදිරියට ගමන් කළ මත්ද්‍රව්‍යවලට විවිධ සමාජ පන්තීන් ඇබ්බැහි වූ බව ද සැබෑය. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්, මත්ද්‍රව්‍ය විරෝධය කාලයකට මතු වී නැවත යට යෑම ද සමාජයට හුරුය. සමාජය විනාශ කරන මත්ද්‍රව්‍ය අනතුර ගැන මෙරට ජනතාවගේ හදවත්වලට පැල්පැදියම් වී ද බොහෝ කාලයකි. මත්ද්‍රව්‍ය විරෝධය කරපින්නාගත් රාජ්‍ය නොවන, රජයේ විවිධ කණ්ඩායම් ඩොලර් උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන සිටින බවද සැබෑය. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල විශෝධනය වන දරුවන්ට මෝපීන් අඩංගු ඖෂධ ලබාදීමට සාකච්ඡා කිරීමත් එම කොන්ත්‍රාත් මාෆියාවේ එක් දිගුවක් විය හැකිය. කෘතිම අයිස් වැස්සෙ එක් පැතිකඩක නිරාවණය ද විය හැකිය.

එමෙන්ම මේ වනවිට මුළු රටේ ම සියලු සමාජ ස්ථරයන්ට මත්ද්‍රව්‍ය ඇතුළු වී අවසානය. ඇදහිය නොහැකි පුද්ගලයන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් සිටිති. රටේ පාසල් පද්ධතිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරයන්ගේ තෝතැන්නක් බවට පත් වී හමාරය. පාසල් තුළ මත වැපිරීමට මත් ජාවාරම්කාරයො විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටිති. පාසල්හි සුළු සේවකයන්, ආරක්‍ෂක නිලධාරීන් සහ පාසල් ආපනශාලා හරහා ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මතට පොළඹවා ගැනීම් සිදු කරති. ඉතාම පහසුවෙන් ළමයින් අතරට මත්ද්‍රව්‍යව ගෙන යෑමට හැකි එකම ස්ථානය පාසලේ ‘කැන්ටිම’ බව ද සැබෑය. ඒ ‘කැන්ටිමේ’ විකුණන ඕනෑම මළජරාවක් ළමයි රසකර කන නිසාය. මේ වන විට මෙරට පාසල් ආපනශාලා බොහෝමයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයට නතුවී අවසාන බව ද වාර්තා වේ. පාසලේ විදුහල්පතිගේ සාක්කුවෙන්, විදුහල්පතිනියගේ තණපට තුළින් අයිස් පැකට් සොයාගැනීමට පෙර මේ මහා අනතුර ගැන මීටත් වඩා පුළුල් සමාජ කථිකාවක් නිර්මාණය කළ යුතය. එසේ නොවෙන්න මුළුමහත් සමාජයම වෙලාගෙන තිබෙන මත්ද්‍රව්‍ය අනතුරට දැනෙන විසඳුමක් සෙවීමට නොහැකිය. එමෙන්ම නීතිය වල්වැදුණු, විනයක් නැති රටක මත්ලෝලීන්ට මෙතඩොන් වැනි ඖෂධ ලබාදීම ගෙල සිඳගැනීමට තියුණු ආයුධයක් අතට ලබාදීමක් වැනිය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment