කොවිඩ් අස්සේ මතුවූ මනුස්සකම

456

කොරෝනාවෙන් අසරණ වූයේ මිනිසුන් පමණක්ම නොවේ. සතා සිව්පාවන් පවා හිත් පිත් නැති වෛරසයක් නිසා පීඩා විඳිමින් සිටියි. මිනිසුන් එකිනෙකා දුරස් කළ කොරෝනාවට මිනිසත්කම් පරාජය කරන්නට තවමත් හැකියාව ලැබී නැත. එකිනෙකා වෙනුවෙන් උදව් උපකාර කරන, කැප කිරීම් කරන මිනිසුන්ව දිවයින පුවත්පත හරහා නිරන්තරයෙන් අගය කරන්නේ සැබෑවටම ඔවුන් සමාජයේ ගෞරවයට පාත‍්‍ර විය යුතු නිසාය.

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක සතියක කාලයක් නිරාහාරව සිරවී සිටි සුරතල් සතුන් රැසකට නිකිණි පෝදා ජීවත් වීමට වාසනාව උදා කර දුන් සොඳුරු සිතැත්තියක් පිළිබඳව තොරතුරු අපට වාර්තා විය. මෙම සතුන් හදාවඩා ගත් කාන්තාවන් දෙදෙනාට කෝවිඞ් ආසාදනය වීම නිසා නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ. නමුත් ඔවුන් රෝහල්ගත වන විට තම සුරතලූන්ගේ වගකීම කිසිවකුට පවරා තිඹුණේ නැත. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇතැම් විට ඔවුන්ට සුරතලූන් පිළිබඳව අමතක වූවා විය හැකිය. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන එක් කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවටද තොරතුරු වාර්තා විය.

කොවිඩ් අස්සේ මතුවූ මනුස්සකම

කෙසේ වෙතත් මත්තේගොඩ නිවාස සංකීර්ණයේ වර්ග අඩි 350ක් පමණ කුඩා නිවසක් තුළ සුනඛයන් දාහතක්, බළලූන් විසිදෙනකු සහ ඉබ්බෙකු සතියක් තිස්සේ නිරාහාරව සිටි බව කිසිවකුගේ අවධානයට හසු වී නැත.

සතුන් නිරාහාරව නිවසක් තුළ සිරවී විලාප නඟන හඬ ඇසුන කිසියම් පුද්ගලයකු ඒ බව සත්වවේදිනියක වන මනෝජා වීරක්කොඩි මහත්මියට පවසා තිබේ. ලද තොරතුරට අනුව ඇය පසුගිය 22 දා අදාළ නිවෙස සමීපයට ගොස් විමසීමක් කර ඇතත් නිවෙසට ඇතුල් වීමට නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාවන්ගේ ඥාතියකුට දැනුම් දී තිබේ. සතුන්ට ආහාරපාන ලබා දී සත්කාර කිරීමට ඇය අවසර ඉල්ලා තිබුණත් ඥාතීන්ගෙන් අවසර නොලැඹීම නිසා ඒ සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කිරීමටද සිදු වූ බව මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.

සතුන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණෙන් වීරක්කොඩි මහත්මිය කළ පැමිණිල්ලට අනුව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ඥාතීන් සමඟ දුරකථනයෙන් කතා කර ඒ පිළිබඳව කරුණු විමසීය. අනතුරුව අදාළ නිවසේ යතුර ගෙන්වාගෙන පොලිසිය මැදිහත් වී දොරගුළු විවෘත කොට සිරවී සිටි සතුන් නිදහස් කර ගැනුණි.

කොවිඩ් අස්සේ මතුවූ මනුස්සකම

ඒ අවස්ථාව වන විට නිවස තුළ සුනඛයන් දාහතක්, බළලූන් විස්සක්, එක් ඉබ්බෙකු සිටි අතර බළලූන් දෙදෙනකු මියගොස් සිටි බවද සත්වවේදීනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.

‘‘මේ සතුන් සිටි ස්ථානය අපිරිසිදු තත්ත්වයේ තිබුණේ. පැමිණි පිරිසගේද සහයෝගය ඇතිව එම ස්ථානය සම්පූර්ණයෙන්ම සෝදා පිරිසුදු කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබා දී සත්කාර කිරීමට කටයුතු කළා. රෝගී කාන්තාවන් දෙදෙනා සුව වී නිවසට පැමිණෙන තුරුම දිනපතා නිවෙස පිරිසුදු කොට සතුන්ට ආහාරපාන ලබා දීමට ඥාතීන්ගේ කැමැත්ත ලබා ගත්තා. ඒ වගේම ඒ සඳහා පොලිසිය අවසර ලබා දුන්නා.” ලෙසින් අනෝජා මහත්මිය පවසයි.

මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න, අර්ජුන වික‍්‍රමසිංහ, සූ. විජේකුලසූරිය, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අසංක ශ‍්‍රීනාත් ඇතුළු පිරිසක් මනෝජා මහත්මියට සහය දැක්වූ බවද ඇය කෘතවේදීව සිහිපත් කළාය.

‘‘මෙම සතුන් ඇති කිරීමට නිවාස සංවර්ධන අධිකාරියෙන් නීත්‍යානුකූලව අවසර ලබාගෙන නෑ. ඒ වුණත් කාලයක් තිස්සේ මේ කාන්තාවන් දෙදෙනා සතුන් ඇති කරලා තියනවා. සතුන් හදා වඩා ගැනීම ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීම නරක දෙයක් නෙමෙයි. නමුත් මෙවැනි අවස්ථාවකදී තමන්ගේ සුරතලූන්ගේ වගකීම ඥාතියකුට හෝ අසල්වාසියකුට පැවරීම අත්‍යවශ්‍යම කාරණාවක්. මනෝජා මහත්මියට මේ තොරතුරු නොලැබුණා නම් සතුන් තිස් හත් දෙනෙක් බඩගින්නේ මියයන්න පවා තිබුණා. ඒ නිසා සුරතල් සතුන් ඇති කිරීමේ දී වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි” ලෙස හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අසංක ශ‍්‍රීනාත් මහතා පවසයි.

මිනිසුන් වෙනුවෙන් මෙන්ම සොබාදහම වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙලා ඉටුකළ මනෝජා වීරක්කොඩි, මෙරට කීර්තිමත් චිත‍්‍ර හා මූර්ති ශිල්පියකු මෙන්ම සංදේශය, සිකුරු තරුව, ගෝඞ් කිං ගම්පෙරළිය වැනි සිනමා නිර්මාණ රැසක කලා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ දිවංගත කලාමාන්‍ය ආරියවංශ වීරක්කොඩි මහතාගේ දියණියයි. ඇගේ එක් සොහොයුරෙකු වන ප‍්‍රසන්න වීරක්කොඩි මහතා ද මෙරට ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු මෙන්ම පරිසරවේදියකු ලෙස ප‍්‍රකටය.

පරිසරයට සතුන්ට ආදරය කරන මෙම අපූරු ගැහැනිය සුරතල් සතුන් තිස් හත් දෙනකුගේ ජීවිත බේරාගනිමින් ඔවුන්ට ආදරණීය මවක් වන්නේ සොබාදහමටත් සත්ත්ව සංහතියටත් සමස්ත මානව වර්ගයාටත් කොන්දේසි විරහිතව කරුණාව දයාව ආදරය පැතිරවිය යුතු බවට වන පණිවිඩය යළි යළිත් සිහිපත් කරමිනි.

නිවැසියන්ගේ සෙනෙහස නොළැබ කුසගින්නේ වේදනාවෙන් විලාප දුන් සුරතලූන්ට මේ ආදරණීය කාන්තාවකගේ කරුණාවන්තකම නිසා යළිත් ජීවත් වීමට අවස්ථාව උදා විය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment