ඓතිහාසික උරුමය සුරැකීමේ සංවිධානය පුරාවස්තු රකින්න දිවිහිමියෙන් කැපවෙනවා

235

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විරාජ් සූරිය බණ්ඩාර හත්ගම්පල

ඓතිහාසික  උරුමය සුරැකීමේ සංවිධානයේ සම්මාන ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකාවේ සෑම පුරාවස්තුවක්ම රකින්න කොන්දේසි විරහිතව හා දිවි හිමියෙන් මැදිහත්වීමට ඓතිහාසික උරුමය සුරකීමේ සංවිධානය කැපවන්නේ යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සහ ඓතිහාසික උරුමය  සුරැකීමේ සංවිධානයේ න්‍යායාචාර්ය විරාජ් සූරිය බණ්ඩාර  හත්ගම්පල මහතා පැවසීය.

ඓතිහාසික උරුමය සුරැකීමේ සංවිධානය පුරාවස්තු රකින්න දිවිහිමියෙන් කැපවෙනවා

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මැදිහත් වෙන විට ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමට තම සංවිධානය කටයුතු කළ බව පැවසූ ඒ මහතා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ මොහොතේදී එහි ඇති පුරාවස්තු රැකගැනීමට මැදිහත් වීමට ද සිය සංවිධානය පෙරට ආවේ යැයි ද සඳහන් කළේය. එසේ මැදිහත් වූයේ අරගලයට විරුද්ධව නොව පුරාවස්තු රැකගැනීමේ පරමාර්ථයෙන් පමණක් යැයි ද ඔහු කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඓතිහාසික උරුමය සුරකීමේ සංවිධානයේ දෙවැනි සංවත්සරය හා ගෞරව නාම සම්මාන ප්‍රදානෝත්සවය පෙරේදා (27 වැනිදා) අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරයේදී පැවැති අවස්ථාවේ දීය.

කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක මල්වානේ පඤ්ඤාසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විජේරත්න වරකාගොඩ, නිශ්ශංක දිද්දෙණිය, අමරසිරි පීරිස්, රැජිණි සෙල්වනායගම්, ප්‍රේමරත්න ධර්මසිරි (හීන්බබා ධර්මසිරි), රවිබන්දු විද්‍යාපති, නේමාලි බුදවත්ත, චන්දන වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ ඇතුළු කලාශිල්පීන් මෙන්ම සංස්කෘතිකමය, ආගමික හා සමාජීය සේවාවන් කළ සමන්ති අහුබුදු මහත්මිය ඇතුළු පිරිසක් ද තවත් විවිධ නිර්ණායකයන් ඔස්සේ තෝරාගත් පිරිස් ද ඇතුළුව 125දෙනෙක් සම්මාන ලැබූහ.

කථිකාචාර්ය හත්ගම්පල මහතා මෙහිදී සඳහන් කළේ ඊළඟ වසරේ දී නව නිපැයුම් කරන පිරිස් වෙනුවෙන් වැඩිවශයෙන් සම්මාන ප්‍රදානය කරන බවයි.

ඓතිහාසික උරුමය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අනුරුද්ධ සඳරුවන් මුතුගම මහතා උත්සවයේ අරමුණු පැහැදිලි කරමින් කතාවක් කළේය.

කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් අතින් සම්මාන ගත් කලාකරුවන් පිරිසක්.කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විරාජ් සූරිය බණ්ඩාර හත්ගම්පල මහතා සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අසේල ධර්මරත්න මහතා ද ඡායාරූපවල සිටිති.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment