අදානි  සල්ලි හොල්ලයි  – එන්ඩීටීවී කොටස් ගැළවෙයි

728

පෙබරවාරි මාසයේදී ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට අදානි සෙසු ඉන්දීය ප්‍රකෝටිපතියකු වන මුකේෂ් අම්බානි අභිබවා ගියේය.

ජුලි මාසයේදී ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරීම සඳහා විවිධ සමාජ සත්කාර සඳහා අදානි රුපියල් බිලියන 600 ක පරිත්‍යාගයක් ද කළේය. ඔහු සල්ලි උල්පතකි. ඒ උල්පත  පාදා ගැනීමට උපකාරවූ මෝදි  අගමැතිට උපකාර කිරීමට මේ ව්‍යාපාරිකයා කිසිවිටක  පසුබට වන්නේ ඇත.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ එවක සභාපතිවරයා  පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් සිදුකළේ ය. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සිදුකර දිනක් ගතවීමට ද මත්තෙන් සභාපතිවරයා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනුණි.

අදානි  සල්ලි හොල්ලයි  - එන්ඩීටීවී කොටස් ගැළවෙයි

අදානි සමාගම ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගතව සිටින්නේ මන්නාරම සහ පූනරීන්හි  මෙගාවොට් 500ක සුළංබල ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ය. වික්‍රමසිංහ රජය යටතේ මේවා ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී ඇත. එසේම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග ගිවිසුම් අත්සන් කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා ය. අගමැති මෝදි සමග ගෞතම් අදානිගේ සබඳතා ඇරඹුණේ 2001 වසරේ දී ය. නරේන්ද්‍ර මෝදි ගුජරාටයේ මහ ඇමැතිව සිටිය දී, මුන්ද්‍රා වරායේ කළමනාකරණ කොන්ත්‍රාත්තුව අදානිට ලැබුණි. ඔහු බලශක්ති ක්ෂේත්‍රය තුළ ද ශක්තිමත් පදනමක් නිර්මාණයකර ගත්තේ ය. මෙය නරේන්ද්‍ර මෝදිගේ කාර්මික උපායමාර්ගය කෙරෙහි අදානි දැක්වූ විශ්වාසය වෙනුවෙන් සිදුකළ ප්‍රති උපකාරයක් විය. 2014 දී

අගමැතිධුරයට පත්වීමෙන් පසු නරේන්ද්‍ර මෝදි අහමදාබාද් සිට නවදිල්ලිය බලා පියාසර කළේ පුද්ගලික ගුවන් යානයකිනි. මෙම යානය මත අදානි එන්ටර්ප්‍රයිසස්හි නිල ලාංඡනය කැපී පෙනෙන ලෙස සලකුණු කර තිබුණේ ය. මෝදි දිල්ලියට පැමිණ තිබුණේ අදානිගේ ගුවන්යානයකින් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. විපක්ෂය චෝදනා කළේ මෙය මෝදි සහ අදානි අතර පැවැති මිත්‍රත්වය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් බවයි. 2008 දී අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ වටිනාකම ඇ.ඩො. බිලියන අටක් වූ අතර, 2021 වන විට එය ඇ.ඩො. බිලියන 78 දක්වා ඉහළ ගොස් තිබුණි. අදානිගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 140ක් වන අතර ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ 04 වැනියා වේ.

අදානි ගැන අද අපි අවධානය යොමු කරන්නේ ලංකාවේ සිදු කෙරෙන ආයෝජන ගැන කතා කරන්න නම් නොවේ. මෝදී අගමැතිට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නවදිල්ලි රූපවාහිනි සේවය නොහොත් එන්ඩීටීවී රූපවාහිනියේ කොටස් අත්පත්කර ගැනීම පිළිබඳවය. ඉන්දීය විපක්ෂය පවසන්නේ වත්මන් ආණ්ඩුවේ නායකයා සමඟ ධනපතියාගේ සමීප සබඳතාව සලකා බැලීමේදී මේ ගනුදෙනුව තැතිගන්වනසුළු බවයි. අදානි සමාගම විසින් පසුගිය අඟහරුවාදා දිනයේ එන්ඩීටීවී කොටස් 29.2% ක වක්‍ර ලෙසින් අත්පත් කර ගැනීම නිවේදනය කරන ලද අතර විවෘත වෙළෙඳපොළෙන් තවත් කොටස් 26% ක් මිලදී ගැනීමට සූදානම් බව නිවේදනය කෙරිණි. අදානි සමාගම රුපියල් බිලියන 1.14කට (ඩොලර් මිලියන 14.3) මේ ගනුදෙනුව වෙනුවෙන් වැය කර ඇති අතර ඉතිරි කොටස් 26% ක් මිලදී ගැනීමට රුපියල් බිලියන 4.93 කට වැය කිරීමට සූදානම් බවත් මාධ්‍ය මගින් වාර්තාකර තිබිණි. කෙසේ නමුත් එන්ඩීටීවී සමාගම පැවසුවේ එහි නිර්මාතෘවරුන් සහ වත්මන් හිමිකරුවන් වන ප්‍රනෝයි රෝයි සහ රාධිකා රෝයි මේ ගනුදෙනුව ගැන දැනුවත් නැති බවයි. එසේම මෙම කොටස් විකිණීම සඳහා කැමැත්ත ලබා දී නොමැති බවයි. ඩොලර් මිලියන 329 ක් පමණ වටිනා එන්ඩීටීවී හි කොටසක අගය මේ වසරේ 250% ට වඩා ඉහළ ගොස් ඇත. එහි කොටසක මිල රුපියල් 407.6 (5.1) හි අගයක් ගනී. ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් සමූහ ව්‍යාපාරයට එන්ඩීටීවී මිලදී ගැනීම සඳහා ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. අදානිට අයත් සමාගමක් විසින් විශ්ව ප්‍රධාන් සමාගම මිලදී ගෙන ඇති අතර ඒ සමාගමට මෙම රූපවාහිනි සේවයේ කොටස් 29% අයිති වේ. විශ්ව ප්‍රධාන් සමාගම රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි අයත් සමාගමකට 2009 -2010 කාලයේ රුපියල් කෝටි 403ක ණයක් ලබා දී ඇති අතර එය නොගෙවීම නිසා මේ යුවල විසින් තම රූපවාහිනි සේවයේ කොටස් 29% පවරා ඇත.

අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, අදානි සමූහයට අයත් ඒඑම්ජී මීඩියා නෙට්වර්ක් සමාගම පැවසුවේ, මෙම පවරා ගැනීම “නව යුගයේ මාධ්‍යකරණයකට දොරටු විවර කිරීම සඳහා වූ තම සමූහ ව්‍යාපාරයට ඇති ඉලක්කයේ වැදගත් සන්ධිස්ථානයක්” වනු ඇති බවයි. එහි ප්‍රධාන විධායක සංජේ පුගාලියා පවසන්නේ “ඉන්දියානු පුරවැසියන්, පාරිභෝගිකයන් සහ ඉන්දියාව ගැන උනන්දුවක් දක්වන අය තොරතුරු සහ දැනුමෙන් සවිබල ගැන්වීමේ දැක්මකින් යුතුව කටයුතු කරන්නට ඒඑම්ජී මිඩියා නෙට්වර්ක් සමාගම උත්සාහ කරනවා” යනුවෙනි. “ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ එන්ඩීටීවී සතු ප්‍රමුඛ ස්ථානය සහ භූගෝලීය වශයෙන් එහි ශක්තිමත් සහ විවිධාංගීකෘත සේවාව නිසා අපගේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සුදුසු විකාශන සහ ඩිජිටල් වේදිකාව එයයි,” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් එන්ඩීටීවී සමාගම පැවසුවේ අදානිගේ අභිප්‍රාය පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ අඟහරුවාදා දිනයේම බවයි. “අපේ රූපවාහිනිය සිය මෙහෙයුම්වල හදවත – එහි මාධ්‍යවේදය කිසිවිටෙක අගතිගාමී කරගෙන නැත. අපි මාධ්‍යකරණය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින්නෙමු,” යනුවෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එන්ඩීටීවී සමාගම සතුව ජාතික නාලිකා තුනක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් පවතී. අදානි සමාගම එන්ඩීටීවී කොටස් මිලදී ගැනීමෙන් පසුව එහි විධායක කර්තෘ රවිෂ් කුමාර් ඉල්ලා අසුවූ බවට කට කතා පැතිරෙන්නට විය. රවිෂ් කුමාර් මෝදී ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක් වන අතර ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදියෙකි. තමා ඉල්ලා අස්වූ බවට පැතිරෙන කට කතාවලට ප්‍රතිචාර වශයෙන් ඔහු මෙලෙස ට්විටර් සටහනක් තබා තිබිණි. “ගරු මිනිසුනේ, මගේ ඉල්ලා අස්වීම කටකතාවක් පමණි, මන්ද අගමැති නරේන්ද්‍ර මෝදි මට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට එකඟ වී ඇති අතර ආක්ෂේ කුමාර් අඹ රැගෙන ගේට්ටුව අසල මා එනතුරු බලා සිටී” යනුවෙනි. මෙය බෙහෙවින් ජනප්‍රිය වූ ට්විටර් පණිවුඩයක් විය.

පුද්ගලික න්‍යාය පත්‍රවලින් පිරුණු ඉන්දීය රූපවාහිනී ප්‍රවෘත්ති ක්ෂේත්‍රයක් තුළ එන්ඩීටීවී සිය අපක්ෂපාතී ස්ථාවරය තබා ගෙන ඇති බව රහසක් නොවේ.

මාධ්‍යවේදීන් වන රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි විසින් 1988 දී ආරම්භ කරන ලද එන්ඩීටීවී ආයතනය, බොහෝ විට මෝදිගේ රජය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳව විවේචනාත්මකව කතා කරන මාධ්‍ය කණ්ඩායම් කිහිපයෙන් එකක් ලෙස සැලකේ. 2014 දී මෝදී බලයට පත් වීමෙන් පසුව, මුදල් විශුද්ධිකරණයේ සිට බදු පැහැර හැරීම දක්වා චෝදනා රැසකට මෙම රූපවාහිනි ආයතනය මුහුණ දී ඇත. ඉන්දීය විමර්ශන ආයතන එනම්, නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය, මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව එන්ඩීටීවී වෙත සහ එහි නිර්මාතෘවරුන්ට එරෙහිව නඩු කිහිපයක් පවරා ඇත. මේවායින් බොහොමයක් තවමත් විසඳී නොමැත. මෙම රූපවාහිනි සේවය ඉන්දීය කොන්ග්‍රසය සමඟ සුහදව කටයුතු කිරීම ගැන ද විවේචනයට ලක්ව ඇත.

නරේන්ද්‍ර මෝදී අගමැති ධුරයට පත් වූ දා සිට කිසිම මාධ්‍ය හමුවක් පවත්වා නැති අතර තෝරා ගත් මාධ්‍ය නාලිකා සඳහා ඉඳහිට සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති නමුත් කිසි දිනෙක එන්ඩීටීවී හි පෙනී සිටියේ නැත. කෙසේ නමුත් ඉන්දීය ව්‍යාපාරික මාධ්‍යවේදීන්ට අනුව නම් අදානි සමූහ ව්‍යාපාරය මෙම රූපවාහිනියේ බහුතර කොටස් අත්පත්කර  ගැනීමට ඇති හැකියාව වැඩිය. වෙනත් ව්‍යාපාර හා සම්බන්ධ සුළු කොටස් හිමියන් විසින් අදානිගේ ලන්සුව අනුව තම කොටස් විකුණා දැමුවහොත් රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි යුවලගේ හිමිකාරීත්වය ගිලිහී යනු ඇත. එවිට සිදුවන්නේ කුමක්ද? මෝදිට ඇති එන්ඩීටීවී හිසරදය නිමාවට පත්වීමයි. එය මාධ්‍ය නිදහසට තර්ජනයකි. මේ  ගනුදෙනුව ඉන්දීය දේශපාලන ලෝකය කලඹා තිබේ.

එන්ඩීටීවී අත්පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන අදානි සිය ව්‍යාපාරික අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් හොල්සිම් හි ඉන්දියාවේ ක්‍රියාත්මක සිමෙන්ති ව්‍යාපාරය පසුගිය මැයි මාසයේදී ඩොලර් බිලියන 10.5 කට අත්පත්කර ගත්තේ කොටස්  ගනුදෙනුවක් හරහාය. පෙබරවාරි මාසයේදී ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට අදානි සෙසු ඉන්දීය ප්‍රකෝටිපතියකු වන මුකේෂ් අම්බානි අභිබවා ගියේය. ජුලි මාසයේදී ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරීම සඳහා විවිධ සමාජ සත්කාර සඳහා අදානි රුපියල් බිලියන 600 ක පරිත්‍යාගයක් ද කළේය. ඔහු සල්ලි උල්පතකි. ඒ උල්පත පාදා ගැනීමට උපකාරවූ මෝදි අගමැතිට උපකාර කිරීමට මේ ව්‍යාපාරිකයා කිසිවිටක පසුබට වන්නේ ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment