තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් – ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා

57
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නුවර නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි


ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
තාක්‍ෂණික බෙදීමෙන් හා අවි භාවිතයෙන් - ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය වෙලා

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී 19දා ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි. උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය දෙදිනක් පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවසීය.

වසංගතයේ ආරම්භය, ණය අර්බුදය, දේශගුණික ව්‍යසන, නව ගෝලීය තරගකාරිත්වය සහ ලෝකයට, විශේෂයෙන් ගෝලීය දකුණට ඉන් අනතුරුව ඇති වූ විවිධාකර බලපෑම්වලින් පසුව පැවැත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙයයි. අද අප මෙහි හමුවන අවස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානුෂීය අර්බුදයක් දිග හැරෙමින් තිබෙනවා.

මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන් දැඩි දුක් වේදනා හා අහිමිවීම් වලට ලක්ව ඇති අතර එමගින් කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වයද අනතුරේ හෙළා තිබෙනවා.

මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවිධානය බොහෝ දුරට නිහඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහඬව සිටින්නේ කෙසේද?

එම ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා වගේම මියගිය අය අතර බහුතරයක් අහිංසක සිවිල් වැසියන් වෙනවා. නිශ්ශබ්දතාවයෙන් එකඟතාව ප්‍රකාශ වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව විසින් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළිගත යුතුයි. එමෙන්ම ගාසාහි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක්ද සිදු නොවිය යුතුයි. ඒවගේම වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාවද යෝජනා කර සිටිනවා.

යුරෝපයේ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය ශක්තිමත් වී තිබෙනවා. ආයුධ පාලනයට අදාළ අතීත ගිවිසුම් බිඳ වැටී තිබෙනවා.

හමුදා සඳහා කෙරෙන වියදම් ඉතිහාසය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බන්ධව යළිත් වරක් ප්‍රබල වශයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක් විය යුතුව තිබෙනවා. ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළාපයේ භූ-උපාය මාර්ගික තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර අභ්‍යවකාශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙනවා.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබඩාවන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සිටින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ සංවර්ධිත ලෝකය අතර පවත්නා අසමානතා උග්‍ර කර තිබෙනවා. මෙම සමුළුවේ තේමාව බවට පත්ව ඇති “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම”‍ අපගේ ලෝකයන් දෙක අතර පවතින අසමානතාවයන් විසඳීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරනවා.

එය සාර්ථක කරගැනීමට නම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් සඳහා දායක වන ශක්තිමත් සහ එක්සත් නොබැඳි සංවිධානයක් අවශ්‍ය බව අපට අත්දැකීම් මගින් පෙන්වා දෙනවා.

එසේ කිරීමට නම් අප අපවම ප්‍රතිනිර්මාණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ. එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල අත්කරගෙන සිටින වේගවත් ප්‍රගතිය හා ආර්ථික දියුණුව නිසා බව අප හඳුනාගත යුතුයි.

2050 වසර වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික දහය අතුරින් බහුතරයක් මෙම සංවිධානයට අයත් වනු ඇතියි. ගෝලීය කටයුතුවලදී නායකත්වය ගත හැකි රටවල් අප අතරින් මතුවෙමින් පවතින බවද දක්නට ලැබෙනවා. ඔවුන් නායකත්වය ලබාදීමට සූදානම් විය යුතුයි. එමෙන්ම, මහා බලවතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බලවතුන් අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා යුධමය වශයෙන් භූ-උපාය මාර්ගික තරගකාරී තත්ත්වයන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යභාරයක් තිබෙනවා. නොබැඳි ජාතීන්ගේ සංවිධානය ප්‍රතිනිර්මාණය කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment