‘මතට’ එරෙහි යුක්තියට පොලිසියේ කැපවීම විශිෂ්ටයි

61

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක

විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

රට සංවර්ධනය කරා ගෙන යෑමේදී මත්ද්‍රව්‍ය උවදුර පිටුදැක නීතිය හා සාමය තහවුරු කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළකළේ කොළඹ දකුණු කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා පසුගිය 19 දා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී සංවිධානය කළ උත්සවය අමතමිනි.

සාගල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රටක් සංවර්ධනය කිරීමට නම් එරටේ නීතිය හා සාමය ආරක්ෂා කර තහවුරු කළ යුතුයි. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට සිය කටයුතු කරගෙන යෑමට සුදුසු පරිසරයක් නිර්මාණය විය යුතුයි. අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමටත්, නීතිය හා සාමය කියන අංශ වැඩිදියුණු වීම අත්‍යවශ්‍යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම රටට ඉතා වැදගත්. රට නැවතත් ආර්ථිකමය වශයෙන් ඇද වැටීමට ඉඩදිය නොහැකියි. විපක්ෂය මොන තරම් විවේචන කළත්, රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තරයට අප රට කෙරෙහි විශ්වාසයක් ඇතිව තිබෙනවා. ඒ විශ්වාසය ගොඩනඟාගෙන රට ඉදිරියට ගෙන යෑමේ වැඩිපිළිවෙළට සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. ඒ වගේම රටක් දියුණු වීමේදී මත්ද්‍රව්‍ය උවදුරද මේ සමාජයෙන් බැහැර කළ යුතුයි. රට සංවර්ධනය කරා ගෙන යෑමේ විශාල කාර්යභාරයක් පැවරී තිබෙන තරුණ පරපුර මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වෙනවා. අද අප ඇස්පනාපිටම ඒ තත්ත්වය අත්දකිනවා. ඒ නිසා තමයි රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය උවදුර අපේ රටට පමණක් නොව ලෝකයටම තර්ජනයක් බැවින් එය නතර කළ යුතුයි. ඒ සඳහාද සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. රටේ මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ වැඩසටහන වෙනුවෙන් කැපවී සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මා ස්තුතිය පුදකර සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අණදෙන නිලධාරී – විශේෂ කාර්ය බළකාය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර යන මහත්වරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජික – සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment