සිසුවකුගේ කන පැලූ පොහොට්ටු හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

833

පාසල් සිසුවෙකුට පහරදී දින 08ක් පොලිසියෙන් සැඟව සිටි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටුවේ මන්ත්‍රී තරංග ජයසිංහ පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සැකකාර මන්ත්‍රීවරයා පල්ලෙවෙල පොලිසියට ඊයේ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි. පහරකෑමට ලක්ව ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ පාසල් සිසුවෙකි.

පසුගිය 11 වැනිදා පාසල නිම වී නිවෙස බලා යමින් සිටියදී සැකකාර මන්ත්‍රීවරයා විසින් සිසුවාට පහරදී තුවාල සිදුකර තිබිණි.

තුවාල ලැබූ පාසල් සිසුවා මීරිගම මූලික රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.

සිසුවාගේ කනට සහ හිස ප්‍රදේශයට අදාළ සැකකාර මන්ත්‍රීවරයා විසින් පහරදී තිබූ බවත් එම පහර දීමෙන් පාසල් සිසුවාගේ පාසල් නිල ඇඳුම පවා රුධිරයෙන් තෙත්ව තිබූ බවත් දරුවාගේ මව පවසා තිබිණි.

පහර කෑමට ලක්වූ සිසුවාගේ මව විසින් පල්ලෙවෙල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිසිය සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබූ නමුත් දින අටක් ගතවන තුරුත් පොලිසියට සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනක මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම් හලකදී පහර දීමක් සම්බන්ධව ද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවද පොලිසිය පවසයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment