බස්නාහිරට දකුණට අරක්ගත් – පාතාලය වනසන මෙහෙයුම් අරඹයි

480

පාතාල රාජධානි 43ක්: කල්ලි 32ක්

අහිංසක මිනිස් ජීවිත විනාශ කරමින් ජනතාව භීතියට පත් කරගෙන සිටින පාතාල කණ්ඩායම් 32 කට අයත් අපරාධකරුවන් විනාශ කිරීම සඳහා යොදවා ඇති විශේෂ පොලිස් ප්‍රහාරක බළඇණි 20 දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් අද (19 දා) සිට සිය මෙහෙයුම් ආරම්භ කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ තරුණ දක්ෂ නිලධාරීන්ගෙන් සැදුම්ලත් බළඇණි 20ක් සූදානම් කර ඇත.

මෙම ප්‍රහාරක බළඇණි හඳුනාගත් පාතාල අපරාධකාරයන්ගේ රාජධානිවලට කඩාවැදී එම අපරාධකාරයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

මෙම පාතාල කල්ලි ක්‍රියාත්මක වන පොලිස් බලප්‍රදේශ 43ක් මේ වනවිට හඳුනාගෙන සිටින අතර අද සිට එම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විශේෂ ප්‍රහාරක බළඇණි සිය මෙහෙයුම් ආරම්භ කරයි.

මේ වනවිට හඳුනාගෙන ඇති සක්‍රීය පාතාල කල්ලි 32ක් ක්‍රියාත්මක වන බව, පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිටින කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු, සමන් කොල්ලා, පොඩිලැසී, කොස්ගොඩ සුජී, ඌරගහ ඉන්දික, ඌරගහ මයිකල්, මිදිගම රුවන්, හරක්කටා, මිදිගම චූටි, මධුශාන් ආබෲ නමැති පාතාල මැරයන් මෙහෙයවන පාතාල කල්ලි මේ වනවිට හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන පාතාල නායකයන් වන ගණේමුල්ලේ සංජීව, වැල්ලෙ සුරංග, වැල්ලෙ සාරංග, රත්මලානේ අංජු, ඩුබායි නිපුන, හීනටියන මහේෂ්, කංජිපානි ඉම්රාන්, පූකුඩුකන්නා, සෙල්ලිගෙ පුත්‍රයා, රිමෝෂන්, චුට්ටා, අතුරුගිරියේ ලැඩියා, කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් ක්‍රියාත්මක වන ප්‍රදේශ ද සොයාගෙන ඇත.

මෙම පාතාල මැරයන් ක්‍රියාත්මක වන ප්‍රදේශ පුරා පාතාලය විනාශ කිරීමේ ප්‍රහාරක ඒකක සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment